brand logo

ජන සංඛ්‍යාව මත ජංගම වෙළෙඳාමට අවසර

14 May 2021

  පවතින තත්ත්වය මත අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ජංගම වශයෙන් සපයන පාර්ශ්ව සඳහා නිකුත් කෙරෙන සංචරණ බලපත්‍ර සංඛ්‍යාව තීරණය කරනු ලබන්නේ ග්‍රාමසේවා වසමක සිටින ජනගහනය මත යැයි ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති එච්.එම්.එන්. දිනිප්‍රිය ‘අරුණ’ට ඊයේ (13 වැනිදා) පැවසීය. මෙම බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු වෙනුවෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මෙම දින තුනේ දී විවෘතව තැබෙන බවත් සභාපතිවරයා කීවේය. අයැදුම් කරන සියලු පාර්ශ්ව වෙත ඒ වෙනුවෙන් අවසර ලබාදිය නොහැකි බව ද ජනගහනය මත තීරණය කෙරෙන සංඛ්‍යාව අනුව ප්‍රථමයෙන් පැමිණෙන්නන්ට පමණක් බලපත්‍ර නිකුත් කෙරෙන බවත් ඒ මහතා කීවේය. මෙම ක්‍රමය යටතේ කොටසකට බලපත්‍ර හිමි නොවන නමුත් පවතින තත්ත්වය හමුවේ මෙම පියවර ගත යුතුම බවත් කී සභාපතිවරයා බලපත්‍ර අයැදුම් කරන එම පාර්ශ්වයන්ට ව්‍යාපාරයක් තිබේද? ඒ සඳහා බලපත්‍රයක් තිබේ ද යන්න සොයා බැලීමක් සිදුකෙරෙන බවත් සඳහන් කළේය. එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු, සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ මගින් සිදු කෙරෙන බවත් එම මධ්‍යස්ථානවල අවශ්‍යතාවන් සම්බන්ධයෙන් ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් නිරන්තර සොයාබැලීමක් සිදු කරන බවත් හෙතෙම කියයි. සංචරණ සීමා පනවා ඇති කාලසීමාවේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම සඳහා බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සකස් කර තිබීම අත්‍යවශ්‍ය බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පසුගිය 10 වැනිදා ලිඛිත දැනුම් දීමක් සිදු කර තිබුණි. චාමර පල්ලේගෙදර
 

More News..