brand logo

ජන ජීවිතයට විශාල බාධාවක් මතුව ඇති බදුල්ලේ ආරක්ෂිත වැට

15 November 2018

ජන ජීවිතයට විශාල බාධාවක් මතුව ඇති බදුල්ලේ ආරක්ෂිත වැට බදුල්ල මහ නගර සභාව විසින් බදුල්ල නගරයේ බසාර් වීදියේ සහ දකුණු පටු මාවතේ රජ වීදියෙන් පිවිසෙන මාර්ග දෙපස පදිකයින්ට ගමන් කිරීම සඳහා පසුගියදා ආරක්ෂිත වැටක් ඉදිකර තිබේ. මෙම ආරක්ෂිත වැට ඉදිකිරීම තුලින් ජන ජීවිතයට විශාල බාධාවක් මතුව ඇති බවට ජනතාව චෝදනා කර සිටී. ඔවුන් පෙන්වා දෙන්නේ තම ගමන් අවශ්‍යතාවයන් සඳහා අඩි දහයකින් පාර මාරුවීමට තිබියදී බොහෝ දුරක් යාමට සිදුවීම තමනට බාධාවක් බවයි. එමෙන්ම පදික වේදිකාව ඉතා පටු බැවින් ජනතාව ඒ තුලින් ගමන් කිරීම අපහසු බවද ඔවුන් පෙන්වා දෙනවා. තවද එම ගමන් මාර්ගයේ ස්ථාන කිහිපයක් අනාරක්ෂිත තත්වයේ තිබෙන බවත් ඒ තුලට කිහිප දෙනෙකු වැටී තුවාල සිදුවූ බවත් ඔවුන් පවසනවා. තම වෙළඳ ආයතනයට ගණුදෙනු කරුවන් පැමිණීම අඩු තත්වයක් උද්ගතව ඇති බවත් ඒ තුලින් තමන්ගේ ආර්ථික තත්වයන් පහත වැටී ඇති බවත් පදික වේදිකාව අසල ඇති වෙළඳ ආයතනවල හිමිකරුවන් පවසා සිටී. එමෙන්ම තම වෙළඳ ආයතනයට භාණ්ඩ බෑමේදී හා පැටවීමේදී විශාල ප‍්‍රශ්නයකට තමන් මුහුනදී සිටින බවද වෙළඳසැල් හිමිකරුවන් පෙන්වා දෙනවා. ජනතාව මෙන්ම වෙළඳසැල් හිමියන් ඉල්ලා සිටින්නේ මෙම පදික ආරක්ෂිත වැට යම් නිසි ක‍්‍රමවේදයකට අනුව ප‍්‍රමිතියකින් යුක්තව නිර්මාණය කර දෙන ලෙසයි. අප මේ සම්බන්ධයෙන් බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති ප‍්‍රියන්ත අමරසිරි මහතාගෙන් විමසීමක් සිදුකලා. බදුල්ල මහ නගර සීමාවේ රථ වාහන ක‍්‍රියාත්මක කිරීමේ බලතල තියෙන්නේ මහ නගර සභාවට. ඒක අපිට ආඥා පනතින් තියෙන බලතලයක්. හැබැයි මේ බලතල තිබූ පලියට අපි මේ මහජනතාවටත් රියදුරන්ටත් පීඩා වෙන විදිහට කටයුතු කරන්නේ නැහැ. පදිකයන් ආරක්ෂිත වැටෙන් රිංගන අවස්ථා එමටයි. ඒ තුලින් අනතුරු පවා සිදුවුනා. රථවාහන පොලීසියේ නිළධාරීන් රාජකාරියේ ඉන්නා විට පමණක් මගීන් නිසි මාර්ගවල ගමන් කරනවා. පොලීසියටත් ලොකු කාර්ය මණ්ඩලයක් නැහැ. ඒ මහත්වරුත් පුලූවන් උපරිමයෙන් කටයුතු කරනවා. අපි හැමවෙලමේ උත්සහ කරන්නේ මගී ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නයි. නමුත් ඔවුන් ඒවා පිළිපදින්නේ නැති වුනාම අපිට මේ වගේ දේවල් කරන්න සිදු වෙනවා. ඒ මගීන්ගේ යහපත උදෙසා පමණයි. උමං මාර්ග සහ ආලෝක සංඥා බදුල්ලේ ඇතිකලේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසායි. මෙම ආරක්ෂිත ගමන් මාර්ග ක‍්‍රියාත්මක කිරීම තුලින් වෙළඳ ප‍්‍රජාවට විශාල පහසුවක් වෙනවා. මගී ජනතාව ගමන් කරන්නේ වෙළඳසැල් ඉදිරිපිටින්. ඒතුලින් වෙළඳ ප‍්‍රජාව දෙස අවධානයක් ඇතිවෙනවා. එමගින් ඔවුනගේ ව්‍යාපාර වැඩිවේවි කියා අපි විශ්වාස කරනවා. රථවාහන පාලනය තිබෙන්නේ මහ නගර සභාවට නම් විධිමත්ව එය සිදුවිය යුතුයි. මේ සියල්ල කරන්නේ මහජනතාවගේත් රියදුරන්ගේත් ආරක්ෂාව සහ පිළිවෙල උදෙසා මිසක් කිසි කෙනෙක්ට හානි කරන්න නෙවෙයි. මේ පිළිබඳව සුළු කොටසක් ඉතා අන්තවාදීව මේ දෙස බලනවා. මම කියන්නේ ඒ අයටත් මෙය හුදෙක් පුද්ගලයෙක් ගැන නොසිතා පොදු ජනතාවගේ පැත්තෙන් බලන්න කියලයි. වෙනත් නගර සභා වගේම අපේ මහ නගර සභාවත් රථවාහන සැලැස්මට යටත් විය යුතුයි. අපිට විශේෂවූ කාර්යභාරයක්ති යෙනවා. අපි ඒවා ක‍්‍රියාත්මක කළ යුතුයි. මෙම ක‍්‍රියාදාමය ජනතාවගේ බලාපොරොත්තුවක්. අන්තවාදීව බලන අතලොස්සකට මෙහි අවශ්‍යතාවයක් නැතිව ඇති. නමුත් ජනතාවට මේ පිළිබඳව ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. අපි ඒවා ක‍්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා යනුවෙන් අදහස් දැක්වීය.
 

More News..