brand logo

ජනාධිපති නියෝග නොතකා තේරීම් කාරක සභාවට බුද්ධි ලොක්කන් 24 දා සිට කැඳවයි

13 July 2019

ජනාධිපතිවරයාගේ නියෝග නොතකා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි, පොලිස් අපරාධ විමර්ශන අංශ ප්‍රධානි, පොලිස් අපරාධ අංශ අධ්‍යක්ෂවරයා සහ පොලිස් ත්‍රස්ත විමර්ශන අංශ ප්‍රධානි යන ඉහළම නිලධාරීන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැඳවීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන්ට මෙම 24, 25, 26 යන දිනවල සාක්ෂි ලබාදීම සඳහා පැමිණෙන්නැයි දැනුම් දී ඇත. 24 වැනි දින පෙරවරු 10.30ට රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතව තිබේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මින් පෙර කිසිදු ප්‍රසිද්ධ අවස්ථාවකදී නිරාවරණය වී නැති අතර ඔහු මෙබඳු සාක්ෂි විමසීමකට මුහුණ දෙන ප්‍රථම අවස්ථාවද මෙයයි. මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේදී ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිප දෙනකු එක්ව සාකච්ඡා කර ඇත්තේ බුද්ධි අංශ ඉහළ නිලධාරීන්ගෙන් සාක්ෂි විමසීමට පෙර කිසියම් ආකාරයකට හෝ ඔවුන්ගේ ඡායාරූප මාධ්‍ය මගින් නිරාවරණය කළ යුතු බවයි. ඊට හේතුව බුද්ධි අංශ නිලධාරීන් හෙළිදරව් කිරීමේ චෝදනාවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැලවීමට බවද වාර්තා වේ. 25 සහ 26 යන දින දෙක ඇතුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ශානි අබේසේකර, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර යන මහත්වරුන් කැඳවා සාක්ෂි විමසීමට නියමිතය. එහෙත් සක්‍රිය සේවයේ නිරත බුද්ධි අංශ නිලධාරීන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර තදින්ම අවධාරණය කර තිබුණි. මේ අනුව පාස්කු ඉරිදා සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු මස දෙවැනි සතිය අවසන් වීමට භාරදීමට කටයුතු කරන බව එම කමිටුවේ සාමාජික ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ජයතිස්ස පැවසීය. සිදත් මෙන්ඩිස්
 

More News..