brand logo

ජනාධිපති තරඟයට පොරයක් - එ.ජා.පය තුනට කැඩෙයි

06 July 2019

මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වන සංවාදය කරළියට පැමිණීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ නායකයින් කණ්ඩායම් තුනකට කැඩී රාත්‍රී කාලයට රහස් සාකච්ඡා ඇරඹීමෙන් පක්ෂ නායකත්වය හා ඔහුට හිතවත් කණ්ඩායම් දැඩි කැලඹීමකට පත්ව ඇතැයි වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මීළඟ ජනාධිපති අපේක්ෂකත්වයට පත් කළ යුතු බවට මුදල් ඇමැති මංගල සමරවීර සිදු කළ ප්‍රකාශයත් සමග විදුලි බල ඇමැති රවී කරුණානායක ඊට ප්‍රතිචාර දැක්වීම නිසා මෙම තත්ත්වය උදා වී ඇත. ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති විය යුත්තේ සාමාන්‍ය පෙළවත් සමත් වූ පුද්ගලයකු බව කරුණානායක මහතා සඳහන් කළේය. මේ අතර මංගල සමරවීරගේ දශක තුනක දේශපාලන ගමන්මග අළලා රචනා කොට ඇති ග්‍රන්ථය එළි දක්වන අද (07වැනිදා) දිනයේ දී සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති අපේක්ෂක සටන ආරම්භ කරන බව මාධ්‍ය වාර්තා පළ වීමත් සමග ඊටද උපනායක රවී කරුණානායක විරෝධය පළ කළේය. ජූලි 07 වැනිදා පෙරළියක් වැනි කතා අනවශ්‍ය කතා බවත් එවන් දේවල් මාතරින් ආරම්භ නොකර මුළු රටින්ම සිදු කළ යුතු බවත් සඳහන් කළේය. චන්ද්‍රිකාගේ පිලෙන් පැමිණි අයකුට පක්ෂයේ එකුමුතු බව නැති කිරීමට ඉඩ නොදෙන බව ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන අය අතර මංගල සමරවීර, තලතා අතුකෝරාල, අජිත් පී. පෙරේරා, රංගේ බණ්ඩාර ආදී මැති ඇමැතිවරුන් සිටින බව වාර්තා වේ. පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ සමග තවදුරටත් මහලේකම් අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, සාගල රත්නායක යන අය සිටින බවද සඳහන්ය. කෙසේ වෙතත් මෙතෙක් කලක් අගමැතිවරයා සමග එකට සිටි අමාත්‍ය මලික් සමරවික්‍රමගේ හැසිරීම සම්බන්ධයෙන් ද පක්ෂ නායකත්වයට ගැටලු පැන නැගී ඇති බව වාර්තා වේ. මීට අමතරව රාජිත සේනාරත්න, චම්පික රණවක, අර්ජුන රණතුංග යන ඇමැතිවරුන්ගේ දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයේ අවධානය යොමුව තිබේ. පසුගිය සතියේ චම්පික රණවක ඇමැතිවරයා ආරම්භ කළ ව්‍යාපෘතියක ප්‍රචාරක කටයුතු ජනාධිපතිවරණයට පෙර ආරම්භ කළ එකක් බවටද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සැකය මතුව තිබේ. මීට අමතරව ඊළඟ ජනාධිපතිවරණයේදී පුද්ගල ප්‍රධාන දේශපාලන පක්ෂයක් නොව කණ්ඩායමක් හා ප්‍රතිපත්ති දේශපාලනය ජයග්‍රහණය කළ යුතු බවට එම පක්ෂයේ තවත් කණ්ඩායමක මතය වී ඇත. සුගන්ධි බස්නායක
 

More News..