brand logo

ජනාධිපති ගෝඨාභයගේ වැඩක් බව හඟවමින් නීතිය සාමය අමාත්‍යාංශයෙන් මිලියන 23ක ගැහිල්ලක්

23 November 2019

නීතිය හා සාමය අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරියකු ලෙස ව්‍යාජව පෙනී සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ‘විද්‍යුත් ක්‍රමයට දඩ කොළයට මුදල් ගෙවීමේ නියාමන ව්‍යාපෘතිය’ ට අදාළ දත්ත පොලිස් ස්ථානවල තිබියදී රුපියල් මිලියන 15කට ආසන්න මුදලක් වැයකර පෞද්ගලික සමාගමකින් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. විද්‍යුත් ක්‍රමයට දඩ කොළයට අදාළ මුදල් ගෙවීම සඳහා වූ ව්‍යාපෘතියක් නීතිය හා සාමය අමාත්‍යාංශය විසින් අරඹා ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදීය. එම නියාමන ව්‍යාපෘතිය සඳහා අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 23ක පමණ මුදලක් වෙන්කර තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා අනෙකුත් ආයතන සමග සම්බන්ධීකරණ කටයුතු කිරීමට එම අමාත්‍යාංශයේ ප්‍රධානියකු ලෙස පෙනී සිටින විනය විරෝධී කටයුතු රැසකට සම්බන්ධ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුට භාරදී ඇත. පසුගිය ආණ්ඩුව සමයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද සඳහන්ව ඇති නිසා එය ජනාධිපතිවරයාගේ වැඩක් බව හඟවමින් මෙම නීතිවිරෝධී කටයුත්ත සිදුකරමින් සිටියි. අදාළ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය දත්ත දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම තිබියදීත්, ඒවා ලබා නොගෙන රුපියල් මිලියන 15කට ආසන්න මුදලක් ගෙවා පෞද්ගලික සමාගමක් හරහා ලබාගැනීමට මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කරමින් සිටින්නේ එම මුදල් වංචා කිරීමේ අරමුණින් බවට චෝදනා එල්ල වේ. මහජනතාවගේ හැඳුනුම්පත් අංක, නම ආදී තොරතුරු පෞද්ගලික ආයතනයක් හරහා ලබාගැනීම මගින් ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු උද්ගත වේ. මෙම පුද්ගලයා නීතිය හා සාමය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කීප දෙනකුගේද සහාය ලබාගෙන ටෙන්ඩර් කැඳවීමකින් තොරව අදාළ පෞද්ගලික ආයතනය හරහා දත්ත ලබාගැනීමට නියමිත බව අනාවරණය වේ. මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වරෙක ආචාර්යවරයකු ලෙසද, සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙසද, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙසද අමාත්‍යාංශයේ පෙනී සිටින බව පැවසේ. මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ අදාළ නිලධාරියා රාජකාරියට වාර්තා නොකරන අයකු බවය. මෙරට පුරවැසියන් පිළිබඳව පොලිසිය එකතු කරන ලද දත්ත පරිගණකගත කිරීමේ මෘදුකාංගය පරිහරණය කරනු ලැබුවේ මෙම පුද්ගලයා විසින් බවත්, එම දත්ත පොලිසියට ලබා නොදීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔහු පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. විද්‍යුත් ක්‍රමයට දඩ කොළයට අදාළ මුදල් ගෙවීමේ ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු පවරා ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදී බවත්, එම ව්‍යාපෘතියට අවශ්‍ය දත්ත පොලිසියේ තිබෙන බවත්, එම දත්ත පිටස්තර ආයතනයක් හරහා ලබාගැනීමට අවශ්‍ය නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. සාලිය කුමාර ගුණසේකර
 

More News..