brand logo

ජනාධිපති අපේක්ෂක පෝලිමේ මමත් ඉන්නවා

27 July 2019

ඔබ නියෝජනය කරන දේශපාලන පක්ෂය මොකක්ද? මගේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මම අවුරුදු තිස් අටක් තිස්සේ එක දිගටම මෙම පක්ෂය නියෝජනය කරනවා. මතක හැටියට කීපාරක් විතර පක්ෂය හැර ගියාද එක පාරක්වත්... එක දවසක්වත් පක්ෂය හැරදමා ගිහින් නැහැ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති එක්ක පක්ෂයේ වැඩ කළේ නැහැ. ඒ ඇයි? සිරිසේන ජනාධිපතිවරයා යූඑන්පීයට හේත්තු වෙනවට මම කැමැති වුණේ නැහැ. 2015 ජනවාරි 10 වැනිදා පමණ මහින්ද-මෛත්‍රී අතර පැවැති සාකච්ඡාවකින් පසු අපිට කිව්වා මේ මොහොතේ සිට සිරිසේන ජනාධිපති තමයි ශ්‍රිලනිපයේ නායකයා කියලා. ඒ වෙනකොට එයාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලයි තිබුණේ. ඊට පසුව පදනම් ආයතනයේ පැවැති රැස්වීමකදී අප කැඳෙව්වා . එතකොට මම පක්ෂයේ උප සභාපති. පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබූ නිසා සිරිසේන ජනාධිපතිවරයාට ඒ රැස්වීමට ඇතුළු වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එහිදී අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත එකතුවෙලා පක්ෂ සාමාජිකත්වය ලබාදුන්නා. ඉන්පසු තමයි සිරිසේන ජනාධිපතිවරයාට දොරෙන් ඇතුළට එන්න පුළුවන්කම ලැබුණේ. ශ්‍රීලනිපයේ සභාපතිකමත් දුන්නා? ඔව්. මහින්ද රාජපක්ෂ කිව්වනේ සභාතිකම දෙන්න කියලා. අපි දුන්නා. ඒ වෙනකොට මහින්ද රාජපක්ෂ පක්ෂයත් එක්ක හිටියේ නැහැ? පක්ෂයත් එක්ක හිටියා. එයා තමයි කිව්වේ සභාපතිකම දෙන්න කියලා. අර පදනම් ආයතනයේ රැස්වීමේදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා කිව්වා මම දැන් පක්ෂයේ සභාපති මට එජාපය සමග ජාතික ආණ්ඩුවකට යන්න ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ අවසරය දෙන්න කියලා. එජාපයට මුක්කු ගහනවට මම කැමති නැති නිසා යෝජනාවට මම විරුද්ධ වුණා. එහෙම කියපු පළමු වැනි මිනිහා මමයි. තව කවුද ඒ වෙලාවේ හිටියේ? ශ්‍රිලනිපයේ හිටපු ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු සියලුම ජ්‍යෙෂ්ඨයෝ හිටියා. ඒ අය කවුරුවත්ම විරුද්ධත්වය දැක්වූයේ නැද්ද? කිසි කෙනෙක් විරුද්ධ වුණේ නැහැ. පස්සේ එතන හිටිය අය කිව්වා ඔබ ගන්න තීරණය වැරදි. ‘කළු ගලේ ඔළුව ගහ ගන්නව වගේ වැඩක් කළේ’කියා. කවුද එහෙම කිව්වෙ? මම නම් කියන්නේ නැහැ කීපදෙනෙක්ම එහෙම කිව්වා. ඔබ එදා කළුගලේ ඔළුව ගැහුවේ පිටිපස්සෙන් මහින්ද රාජපක්ෂ හිටපු නිසා? නැහැ. මහින්ද රාජපක්ෂ ඔබට කිව්වා විරුද්ධව නැගී හිටින්න කියා? මහින්ද රාජපක්ෂ ඒ සිදුවූ දේ දන්නෙත් නැහැ. ඉන්පසු ඔබ ඒකාබද්ධ විපක්ෂයට ගියා. පොදුජන පෙරමුණට සම්බන්ධ වුණා. ඒත් ශ්‍රීලනිපයේ සාමාජිකත්වය එහෙම්ම තිබුණා? මම මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ යෝජනාවට විරුද්ධ වුණාට පසුව මහින්ද රාජපක්ෂ කතා කරලා කිව්වා, මට හරිම සන්තෝෂයි. මට දැන් එක ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් හරි ඉන්නවා කියා. ඊට පසුව ශ්‍රීලනිපයේ පැවැති කණ්ඩායම් රැස්වීම්වලට මධ්‍යම කාරක සභා රැස්වීම්වලට මම ගියා. ඒ හැම තැනකදීම ජනාධිපතිවරයාට විරුද්ධව මම කතා කළා. ජනාධිපතිවරයා මොකද එතකොට කිව්වෙ? ජනාධිපතිවරයා මට විරුද්ධව කතා කළේ නැහැ. පසුව නුගේගොඩ රැලියකට මමයි ටි.බී. ඒකනායකයි සම්බන්ධ වුණා. අපිට කිව්වා රැලියට යන්න එපා, ගියොත් විනය පරීක්ෂණයක් තියලා නෙරපනවා කියා. එහෙත් අපි දෙන්නා විතරයි ශ්‍රිලනිපයෙන් එදා ඒ රැලියට ගියේ. ප්‍රසන්න රණතුංග එක්ක වේදිකාව ඉස්සරහටම වෙලා හිටියා. වේදිකාවෙන් බැහැලා මම එනකොට දැක්කා අපේ මන්ත්‍රීවරුන් ඈතට වෙලා හැංගිලා ඉන්නවා. මම භය නැතිව ඒ වගේ තීන්දු ගත්තා. සිරිසේන ජනාධිපතිවරයා මට විරුද්ධව ක්‍රියා කළේ නැහැ. විනය පරීක්ෂණ තිබ්බේ නැහැ. එතකොට ශ්‍රීලනිපයේ ඉන්නා ගමන්ම පොදුජන පෙරමුණත් එක්ක කටයුතු කළේ කොහොමද? ශ්‍රීලනිපයේ අය වෙන වෙන පැතිවලට කැඩිලා යන නිසා ඒ අය එකතු කරන්න ‘පොහොට්ටුවව්’ හදන්න ඕන බව බැසිල් කියා හිටියා. ඒක වෙනම දේශපාලන පක්ෂයක්? එතකොට වෙනම පක්ෂයක් නෙවෙයි. පසුව වෙනම පක්ෂයක් වුණා. පසුව එහෙම වුණා. ඊට පස්සේ පොහොට්ටුවේ ආරම්භක කෙනෙක් හැටියට මම බැසිල් එක්ක වැඩ කළා. පොහොට්ටුවේ බදුල්ලේ සංවිධායක වැඩ කරන්න ගියා. මොකද බදුල්ලේ හිටිය නිමල් සිරිපාල, ඩිලාන්, අලුත්ගමගේ අයියා-මලෝ දෙන්නම එතකොට හිටියේ මෛත්‍රීත් එක්ක නිසා. පොදුජන පෙරමුණේ සංවිධායක විදිහට බදුල්ලට ගියා? නැහැ. සංවිධායක කළාම නෙවෙයි. කොහොමද මම සංවිධායක වෙන්නේ. මම පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් නෙවෙයිනේ. ඔබ පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් නෙවෙයි? නැහැ. සාමාජිකයෙක් නොවන කෙනකුට බදුල්ලේ සංවිධායකකම දුන්නද? මට සංවිධායකකමක් දුන්නේ නැහැ එහෙනම් මොකක්ද දුන්නේ? ඒ පක්ෂයේ මිනිස්සුන්ට නායකත්වයක් දීලා ඒ අයව එහෙ මෙහේ යන්න නොදී රැකගෙන ඉන්න කියලයි මට කිව්වේ. ඒ වුණාට ප්‍රසිද්ධ වුණේ ඔබ පොදුජන පෙරමුණේ බදුල්ල සංවිධායක කියලා? එහෙම තමයි ඉතින් කියන්නේ. ඒ විතරක් නෙවෙයි බදුල්ලේ සංවිධායකකම දෙනවට ඔබ එකඟත්වයක් දැක්වූවෙත් නැහැ. කළුතරින් අයින් කරලා බදුල්ලට දානවට? නැහැ මාව කළුතරින් අයින් කළේ නැහැ. කවදද මාව අයින් කළේ. කළුතර දිස්ත්‍රික් නායකයා ලෙස මා පත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. නැහැ පොදුජන පෙරමුණේ සංවිධායකකමින්? පොදුජන පෙරමුණේ කිසිම ආසන සංවිධායකවරයෙක් පත් කරලා නැහැ අද වෙනකොට. එක්කෙනෙක්වත් නැහැ. එකම දිස්‍ත්‍රික් නායකයෙක්වත් පත් කරලා නැහැ. ඔබ පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්තෙත් නැහැ? මම ගත්තෙම නැහැ. මහින්ද රාජපක්ෂ කිව්වෙ නැද්ද සාමාජිකත්වය ගන්න කියලා? නැහැ. ඔය දින 52 ආණ්ඩුවේ අගමැතිකම ගන්නවට විරුද්ධ වුණෙත් චමල් රාජපක්ෂයි මමයි. මම කිව්වා ‘සර් ඕක ගන්න එපා. සිරිසේන මහත්තයා ඔය කරන්නේ ඔබතුමාව කකුල් දෙකෙන් අල්ලලා එළියට දාන වැඩක් කියලා. මහින්දානන්දලා, කෙහෙළියලා පක්ෂව කතා කළා. මම කිව්වා මම විරුද්ධ වෙන්න හේතුව අපිට ඡන්ද 113 නැති නිසා කියලා. ශ්‍රිලනිපයේ උප සභාපතිකමෙන් ඔබව අයින් කළා? ඔව්..මම මධ්‍යම කාරක සභාවට ගිහිල්ලා බය නැතුව විරුද්ධව කතා කරපු නිසා. ඒවා දිරවන්නේ නැතිව මා අයින් කළා. සාමාජිකත්වය අහෝසි කළේ නැද්ද? නැහැ. අදටවත් ශ්‍රීලනිප සාමාජිකයෙක් ‍වෙන්නේ ඒකනේ. දැන් ශ්‍රීලනිප රැස්වීම්වලට කතා කරනවද? ශ්‍රීලනිප සාමාජිකයෙක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දැන් වැඩ කරනවා. ඔබට විරුද්ධව විනය පරීක්ෂණ කිසිවක් නැහැ? නැහැ. මගේ නිදහස් අදහස් මම ප්‍රකාශ කළා. ඒකට ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. ශ්‍රීලනිපයේ සාමාජිකයෙක් විදියට ඉඳගෙන පොදුජන පෙරමුණෙත් සංවිධායකකම් කරනවා? ඒ කතාව වැරදියි. මම පොදුජන පෙරමුණේ සංවිධායකකම් කළේ නැහැ. බදුල්ලේ බැනර් දැම්මේ ඔබ සංවිධායක කියලා? බැනර් දාන්න පුළුවන් ඕන තරම්. මට ඒව නවත්වන්න බැහැනේ මට. ඔය මාධ්‍යවල දාල තිබුණේ මම යූඑන්පියට හේත්තු වෙනවා කියලා. මට ඒව නවත්වන්න පුළුවන්ද? ඒ වගේ තමයි. ඔහොම කතා කළාට 2016 ඔබගේ නිවස ආරක්ෂක අංශ මගින් පරීක්ෂා කරන වෙලාවේ ඔබ කිව්වා ශ්‍රීලනිපය දාල ආපු පළමු කෙනා මමයි කියලා? නැහැ. මම කිව්වෙ නැහැ. මාධ්‍යයේ පළවුණා? මම ශ්‍රීලනිපය දාල ආව කියලා කිව්වේ නැහැ. මෛත්‍රීපාල සිරිසේනට විරුද්ධව ආව මිසක් ගිය මාසෙත් ශ්‍රීලනිප සාමාජික මුදල් කැපුනා. මගේ විතරක් නොවේ මහින්ද රාජපක්ෂගේ සාමාජික මුදලුත් තාම කැපෙනවා. ඒ වුණාට මේ ඊයේ පෙරේදා පොදුජන පෙරමුණෙන් ඔබව අයින් කළානේ? මොකක්ද අයින් කරන්නේ. ඔය හැමතැනම ප්‍රසිද්ධ වුණේ පොහොට්ටුවෙන් අයින් කළා, සංවිධායකකමෙන් අයින් කළා කියලා? ඒ ඉතින් මාධ්‍යයෙන් ඔයගොල්ලෝ කියන දේවල්නේ. මාව අයින් කරන්න මට ලියුමක්වත් දීල තියෙනවද නැහැනේ. මාව අයින් කළාට. පුතාව අයින් කරන්න එපා කියලත් ඔබ කිව්වා? මම කාටවත් පින්සෙණ්ඩුවෙන මිනිහෙක් නෙමෙයි. කාටවත් දණ නමන මිනිහෙකුත් නෙවෙයි. දේශපාලන වශයෙන් අඬන මිනි‍ෙහකුත් නෙවෙයි. මම කෙළින්ම කිව්වා බැසිල් රාජපක්ෂට මට තවත් මේකේ එකට ඉන්න බැහැ. ඔභ කණ්ඩායම ගන්න තීරණ නිසා කියා. මොකද ඉන්න බැරි හේතුව? ඉන්න බැහැ කියන්නේ එකට ඉන්න බැහැ කියන එක. කුස්සි කැබිනට්ටුවේ අය එකතුවෙලා. ජනාධිපති අපේක්ෂකයෙක් තේරුවා. පක්ෂෙ ජ්‍යෙෂ්ඨයොත් එක්ක කතා කරලා නෙවෙයි ඒ තීන්දුව ගත්තේ. එහෙම නැතුව හැම තැනම කිව්වා එක පුද්ගලයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා. මම ඒකට විරුද්ධයි. ඒක අවුරුද්දක් තිස්සේම කියනවා. ඔය කියන පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලනිප සාමාජිකයෙක්ද පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්ද? මම දන්නේ නැහැ.ඒක එතුමන්ගෙන්ම අහන්න ඕන. ඔය කුස්සි කැබිනෙට්ටුවේ ඉන්නෙ කවුද? අපේ නායකතුමාගේ පවුලේ අය. ශිරන්ති රාජපක්ෂත් ඉන්නවා? පවුලේ අය කිව්වහම මුළු ඔක්කෝගෙම නම් කියන්න ඕන නැහැනේ. ඒ කුස්සි කැබිනට්ටුව ටිකක් ප්‍රබලයි. පළාත් පාලන මැතිවරණය දින්නට පස්සේ ඔය කුස්සි කැබිනට්ටුවට කිව්වා රාජපක්ෂ කෙනෙක් දාන්න ඕන කියලා. රාජපක්ෂ කෙනෙක් දානවටද විරුද්ධ? ගෝඨාභය දානවටද විරුද්ධ? ඒ දෙකටම මම විරුද්ධයි. ඒ වුණාට මහින්ද රාජපක්ෂ එනවා නම් ඕන වෙලාවක උදව් කරනව කියලා කියන්නේ? මහින්ද රාජපක්ෂ එනවනම් දැනුත් උදව් කරනවා. එතුමාට විරුද්ධව මම වචනයක්වත් කියන්නේ නැහැ. මම හැමදාම ආරාධනා කළා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට එන්න කියලා. ව්‍යවස්ථානුකූලව ඉල්ලන්න බැහැනේ? නැහැ. ‘නොමිනේෂන්’ පත්‍රය භාර දුන්නොත් ඒක ‘රිජෙක්ට්’ කරන්න මැතිවරණ කොමසාරිස්ට බැහැ. නමුත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන්න පුළුවන් ඉල්ලන්න බැහැ කියලා. ඒත් ඒක විභාග වෙන්නේ මැතිවරණ ප්‍රතිඵලවලින් පස්සේ. ඒ කියන්නේ දින්නට පස්සේ ඕන ගේමක් ගහන්න පුළුවන් කියන එකද? නැහැ. මම එහෙම කියන්නේ නැහැ. ඒක දින්නට පස්සේ. දැන් මේ වෙනකොට ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය අයින් කරලා නැහැනේ. නමුත් මැතිවරණයට නාමයෝජනා භාරදෙන්න ඔහුට පුළුවන්. ඒක ප්‍රතික්ෂේප කරන්න මැතිවරණ කොමිසමට බලයක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය තමයි ප්‍රශ්නය විසඳන්න ඕන. ගෝඨාභයගේ නම යයි ඡන්ද පත්‍රිකාවේ. මිනිස්සු දෙයි. ඊට පස්සේ තමයි අධිකරණ ක්‍රියාමාර්ගය. දින්නොත් ඕන සෙල්ලමක්? නැහැ ඕක සෙල්ලමක් නෙවේ. ඒක වැරදියි. නමුත් ගෝඨාභයට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ වගේ මහින්දටත් පුළුවන්. මහින්ද රාජපක්ෂ මොකද ඒ ගැන කියන්නේ? එයා ඒකට එකඟ නැහැ. ගෝඨාභය එක්ක මොකක්ද එහෙනම් වෛර. එපා එපා කියන්නේ? පෞද්ගලික කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි නෑදෑයෝ. මගේ නෝනගෙ ඉඩම් කඩම් තියන්නේ පාලමුවේ. එයා සමරසිංහ දිසානායක. ගෝඨාභයගේ අම්මත් සමරසිංහ දිසානායක. අපි ළඟ ඥාතියෝ. ඒක පෞද්ගලික ප්‍රශ්නයක් නොවේ. නමුත් මම කියන්නේ එදා රජය පවත්වාගෙන යන්න පුළුවන් හැම ජඩවැඩක්ම කළා. එජාප කාලේ චන්ද්‍රිකාගේ කාලේ දූෂණ මිනීමැරුම් චෝදනා ආවා. ඒත් ඔය කාලේ ඒ වගේ තුන් හතර ගුණයක් වුණා. ඒව වුණේ ගෝඨාභයගේ නායකත්වයෙන්ද? ගෝඨාභය ආරක්ෂක ලේකම්. ඒක ලොකු තනතුරක්නේ. ඔබ ඒ කාලේ ඕවට විරුද්ධ වුණේ නැහැනේ? මම අහන්නේ ඇයි රාජපක්ෂ කෙනෙක්ගෙන් පිට කෙනෙක් පත්කරන්න බැරි. ඇයි මම අහන්නේ සාමාන්‍ය මිනිහෙක්ට යන්න පුළුවන් ඉහළම තැන කැබිනට්ටුව විතරයිද? රාජපක්ෂ පෝලිම 2050 වෙනකම්ම යයි. ඔබගේ යෝජනාව කවුද? පිටස්තර ජ්‍යෙෂ්ඨයකුට දෙන්න. කවුද එහෙම ඉන්නේ? වාසුදේව ඉන්නවා. දිනේෂ් ගුණවර්ධන ඉන්නවා. ඔබතුමා ඉන්නවා? ඔව් මම ඊළඟට ඉන්නවා. හැබැයි මට උඩින් වාසුයි, දිනේෂුයි ඉන්නවා. තුන්වෙනියට ඉන්නේ මම. දිනේෂ් ගුණවර්ධනට ජනපති අපේක්‍ෂකත්වය දුන්නොත් ඔබ දැන් ඉන්න ස්ථාවරයේ වෙනසක් කරනවද? බොහෝදුරට මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳන් මගේ සම්පූර්ණ සහයෝගය ඔහුට දෙනවා. වාසුදේව වුණත්. ශ්‍රීලනිපය ඔබේ නැවත සම්ප්‍රාප්තිය දකින්නේ පක්‍ෂ ගොඩනැගිල්ලේ පිරිත් සජ්ඣායනයක් අවස්ථාවේ ඔබ ඊට සහභාගි වීමත් සමගයි. තාමත් පක්‍ෂයේ සභාපති ඔබ. එදා විරුද්ධ වුණ කෙනා නේද? ජනාධිපතිවරයා අද එජාපයත් සමග නැහැ. ඒකද ඔබතුමා ගියේ? නැත්නම්. සභාපතිතුමා ඔබව සාදරයෙන් පිළිගත්තද? ඔව්. ඔව්. මාව පිළිගත්තා. මම ශ්‍රී ලංකාකාරයෙක්. තව එකක් කියන්න ඕන. මේ ආණ්ඩුව ඉතාමත්ම වැරදි තීන්දු ගත්තා. ආර්ථිය කඩාවට්ටපු, ජාතීන් ආගම් භේද ඇතිවුණු ආණ්ඩුවක්. ඒ නිසා මේක ගෙදර යැවිය යුතුයි කියන මතයේ මම ඉන්නවා. නමුත් හොඳට මතක තියාගන්න ඒ ආණ්ඩුව කාලේ දේශපාලන වශයෙන් කිසිම මිනිහෙක් මරා දැමුවේ නැහැ. අද මම නිදහසේ කතා කරනවා. ජනාධිපතිවරයාව විවේචනය කරනවා. 21 වැනි දා බෝම්බ ප්‍රහාරයට ජනපති වගකිව යුතුයි කියලා මම මුහුණට කීවා. ඊළඟට කැබිනට් මණ්ඩලය වගකිව යුතුයි. මන්ත්‍රීවරුන්ටත් ඒ වගකීමෙන් ගැලවෙන්න බැහැ. මොකද අපි සේරම දැනගෙන හිටියා යම් ප්‍රහාරයක් එල්ල වෙන බව. හැබැයි දිනයක් දැගෙන හිටියේ නැහැ. ඇයි මුලින්ම මේවා ජනතාවට නොකිව්වේ? ජනතාවට කොහොමද කියන්නේ. මම විතරක් නෙමේ ඔක්කොම මන්ත්‍රීවරුන්ට දන්වලා තිබුණා. බැලුවම පාර්ලිමේන්තුවේ දෙසිය විසිපහම දැනගෙන තමයි මේක වුණේ? දෙසිය විසිපහෙන් රට ගිහිල්ලා හිටපු අය මම නිදහස් කරනවා. අනිත් හැමෝටම දැනුම් දුන්නා. ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්‍ෂකයා කවුරු වෙයිද? මන්දා මම දන්නේ නැහැ. ජනාධිපතිවරයා ඉදිරිපත් වුණොත් සහයෝගය දෙනවද? ඔව්. ශ්‍රීලනිපය තීන්දුවක් ගත්තොත් මට ඒ තීන්දුවේ ඉන්න වෙනවා. එතකොට අනිත් පැත්තෙන් දිනේෂ් පත්වුණොත්? නැහැ. එහෙම නම් ඔය දෙන්නම එන එකක් නැහැනේ. තාම එහෙම තීන්දුවක් අරගෙන නැහැනේ. ශ්‍රීලනිපයයි පොදුජන පෙරමුණයි එක්වීමට තිබෙන ඉඩකඩද වැඩි නැතිනම් ශ්‍රීලනිපයයි එජාපයයි එකතුව පොදු අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන එකටද ඉඩකඩ වැඩි? ඒක මම හරියටම දන්නේ නැහැ. හැබැයි ශ්‍රීලනිපයයි පොදුජන පෙරමුණයි අතර සාකච්ඡා තිබෙනවා. එජාපය එක්ක සාකච්ඡාවක් දැනටනම් නැහැ. ජනාධිපතිවරයාත් බොහෝම ළෙන්ගතුයි සජිත් ප්‍රේමදාසට. එජාපයෙන් සජිත් පත්වෙන එක ගැන මොකද හිතන්නේ? කොහොමත් මටම එක්සත් ජාතික පක්‍ෂයට හේත්තු වෙන්නේ නැහැනේ. මම එජාපයට යන මිනිහෙක් නෙවෙයි. එහෙනම් මොකක්ද මේ හදන්න යන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ? තාම එහෙම එකක් හදලා නැහැනේ. කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස සමග සාකච්ඡා කළේ මොකක් ගැනද? එතුමත් හොඳ ශ්‍රී ලංකා කාරයෙක්. එයත් එක්ක කරපු වෙනම සාකච්ඡාවක් නැහැ. අපි ඔක්කොම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ. ඒත් බුද්ධදාසගේ වෙනම සංවිධානයක් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කියලා? ඒක මේ හුඟක් ඉස්සර ඉඳන් තිබෙන එකක්නේ. ඔබත් ඒකේ ඉන්නවද? නැහැ. මම ඒකේ නැහැ. වෙල්ගමගේගේ ඔය රහස් සාකච්ඡා නෑ. තියෙනවනම් තියන්නේ එළියේ. අපි වැඩ කරන්නේ එළිපිට. එතකොට අගෝස්තු 5 වැනි සුගතදාසයේ තිබෙන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ බිහිවෙන අවස්ථාවට ඔබ සහභාගි වෙන්නේ නැහැ. නැහැ. මම ඒකට අයිති නැහැනේ. යටින් පොඩි සහයෝගයක් දක්වනවා? නැහැ. ඒකට මම නැහැ. එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක ගිහිල්ලා අපි කොහොමද වාඩිවෙන්නේ. අපි සිරිමාවෝගේ ගෝලයෝ. ශ්‍රී ලංකාකාරයෝ. මම පිටිපස්සෙන් ගිහිල්ලා පිහියෙන් අනින මිනිහෙක් නෙවේ. මගේ සටන ඉදිරියට පැමිණ මුහුණට මූණයි. පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින මිනිහෙක් විදියට මාව හංවඩු ගහන්න එපා. මෙහෙම ගියොත් ඔබේ ඉදිරි ගමන කුමක් වෙයිද? පොදුජන පෙරමුණ කියනවා ඔවුන්ගේ ආණ්ඩුව අතළඟ බව. ඔබ මේ කරන්නේ දුවන කෝච්චියට බෙල්ල තියනවා වගේ වැඩක් නේද? මම ඔබගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. මම බලලෝභී මිනිහෙක් නම් සිරිසේන ජනාධිපති එක්ක එකතුවෙලා ඇමැතිකමක් ගන්න තිබුණේ නැද්ද? එහෙම නැත්නම් දින පනස්දෙකේ ආණ්ඩුවේ ඇමැතිකමක් ගන්න තිබුණා. දැන් ඔබ කියන විදිහට මම පොහොට්ටුවත් එක්ක හිටියොත් මට කැබිනට් ඇමැතිකමක් ගන්න පුළුවන්නේ. මම ඔය ඔක්කොටම පයින් ගහලා ආවේ මම මේ දකින හරිදේ කියන්න. මට මන්ත්‍රීකම් ඇමැතිකම් වැඩක් නැහැ. එහෙනම් පයින් ගහලා ඇවිල්ලා අන්තිමේ හඳට පොලුගැහුවා වගේ වෙයිද දන්නේ නැහැ. හඳට පොලු ගහපු ගමේ මිනිහෙක් තමයි මම. ඒත් ඒ හඳට පොලු ගහපු ගම ආර්ථික වශයෙනුත් අද ඉතාම දියුණුයි. ඒ පොලු ගහපු එකෙන් තමයි ආභාෂය ලබාගන්නේ දියුණුවෙන්න. ඒ නිසා ඒක මෝඩ වැඩක් ලෙස දකින්න බැහැ. ඔබ මේ කරන්නේ මහින්ද රාජපක්‍ෂගේ කොන්ත්‍රාත්තුවක් වෙන්න බැරිද? අවසානයේ පොදුජන පෙරමුණේ වේදිකාවට නගියිද? මගේ තාත්තා සිඤ්ඤෝ අප්පුහාමි වෙල්ගම. මගේ තාත්තාගේ ගෞරවය, සිරිමාවෝ මැතිනියගේ ගෞරවය නැති කරන්න මම කැමැති නැහැ. තුෂාර උඩවත්ත
 

More News..