brand logo

ජනාධිපති අපේක්ෂකයා වීමට සුදුසුම පුද්ගලයා සජිත්

10 July 2019

බදාදා දවසේ පුවත් මැවූ පුද්ගලයා වූයේ, මංගල සමරවීර ය. ඇත්තෙන්ම ඔහු විසින්, ‘පුවතක් මැවීමට’ වඩා වැඩි දෙයක් කර තිබුණි. ඇත්තෙන්ම එය ‘දෙබරයට ගල් ගැසීමක්’ ද විය හැකි ය. ඇත්තෙන්ම ඔහු විසින් කර තිබුණේ, එක්තරා වෙබ් අඩවියක් සඳහා‘ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවක්’ ලබාදීම ය. එහිදී මංගල කියා තිබුණේ, 2020 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වීමට සුදුසුම පුද්ගලයා ‘සජිත් ප්‍රේමදාස’ වන බවය. මංගලගේ ප්‍රකාශය සජිත් ප්‍රේමදාසට මෙන්ම අජිත් පී. පෙරේරා වැනි සජිත් පිලේ සිටින එ.ජා.ප. ‘රැඩිකල් කණ්ඩායම’ට ද බරපතළ උත්තේජනයක් විය. කෙසේ වෙතත් එ.ජා.ප.යේ සිටින ‘රනිල්වාදී කණ්ඩායම’ නම්, මංගලගේ මෙම ප්‍රකාශයෙන් බොහෝ සෙයින් කලබලයට පත්ව සිටිනු දක්නට ලැබිණි. ‘‘ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට අද නොයෙක් දෙනා අපේක්ෂා කරනවා.... සමහරුන්ට එසේ අපේක්ෂා කිරීමට කිසිම සුදුසුකමක් නැහැ... මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කතා කළ පමණින් ඒක ජනාධිපතිවරණයට සුදුසුකමක් වෙන්නේ නැහැ... එ.ජා.ප. ය කියන්නෙ එක්කෙනෙක් දෙන්නෙක් ගොඩනැගුව පක්ෂයක් නෙමෙයි... බහුතරයකගේ කැපවීම මත ගොඩනැඟූ පක්ෂයක්... මේ පක්ෂය තුළින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ පරිණතභාවයෙන් යුක්ත කෙනෙක්... මේ රට ජාත්‍යන්තරයට ගෙන යන්න පුළුවන් කෙනෙක්... රටත් ජනතාවත් ගැන හිතන කෙනෙක්... ඒ වගේම වැඩක් කළ හැකි පුද්ගලයෙක්... වැඩ කියන්නෙ කානු බෝක්කු හදන එක නං නෙවෙයි... ඒ වගේම අපේ ජනාධිපති අපේක්ෂකයා අඩුම තරමින් ‘සාමාන්‍ය පෙළ’වත් සමත් වෙලා තියෙන්න ඕන...’’ යැයි රවී කරුණානායක ඇමැතිවරයා බ්‍රහස්පතින්දා කොළඹ 14, බණ්ඩාරනායක මාවතේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයකදී පැවසුවේ ය. කෙසේ වෙතත් මෙම අවස්ථාවට පැමිණ සිටි රවි කරුණානායකගේ ආධාරකරුවන්, රවි කරුණානායක උත්සව සභාවට පැමිණෙන විටත්, ඉන් පිටව යන විටත්, ‘‘අපේ අනාගත අගමැති... අපේ අනාගත අගමැති... අපේ අනාගත අගමැති...’’ යනුවෙන් ඔල්වරසන් දෙනු අසන්නට ලැබිණි.
 

More News..