brand logo

ජනාධිපතිවරණයට රාජ්‍ය දේපළ අවභාවිතාව අධිකයි

21 October 2019

ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමේ දැඩි ගැටලුවකට නිරීක්ෂකයන් මුහුණ පා තිබේ. ආණ්ඩුවේ නායකයා හෝ රජයේ නායකයා යන දෙදෙනා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව නොමැති තත්ත්වයක රාජ්‍ය සම්පත් ප්‍රධාන බල කඳවුරු තුනක් මගින් පාලනය කිරීම නිසා මෙම තත්ත්වය නිර්මාණය වී තිබේ. ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ අපේක්ෂකයාට මැති ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ හා එම පක්ෂයට බලය හිමි පළාත් පාලන ආයතනවල සහයෝගය ලැබෙන බව නිරීක්ෂණය කර ඇත. පළාත් සභා නවයම මේ වන විට ආණ්ඩුකාරවරුන් යටතේ පාලනය වන අතර ඉන් ආණ්ඩුකාරවරුන් දෙදෙනකු එක් අපේක්ෂකයකුටත්, තවත් ආණ්ඩුකාරවරුන් තිදෙනකු තවත් අපේක්ෂකයකුටත් ඉතිරි ආණ්ඩුකාරවරුන් හතර දෙනා දෙපාර්ශ්වයටම සහාය පළ කරන බවට තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත් පළාත් පාලන ආයතනවලින් වැඩි බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය තිබේ. එහෙත් දැනට පැෆරල් සංවිධානයට ලැබී ඇති පැමිණිලිවලින් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධ පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් ආණ්ඩුවට එරෙහිව සිදු කළ ඒවාය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ස්වාධීනව සිටීම නිසා ඔහු යටතේ ඇති අමාත්‍යාංශවල හැසිරීම නිරීක්ෂණය කිරීමද ගැටලුවකට ලක්ව ඇත. දැනට ලැබී ඇති පැමිණිලි අතරින් නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අපේක්ෂක අමාත්‍ය ධුරය දරන අමාත්‍යාංශ මගින් සිදු කරනු ලබන බඳවා ගැනීම් සිද්ධීන් දෙකක් ගැන පැමිණිලි ලැබී ඇත. නිවාස අධිකාරියට හා මධ්‍යම සංස්කෘතික අරමුදලට සේවකයන් බඳවා ගැනීම් පිළිබඳ පැමිණිලි ලැබී තිබේ. ඊට අමතරව දයා ගමගේ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා මාරු කිරීම, සමෘද්ධි සහනාධාර ලබා දීම, පරිගණක පුහුණුවට බඳවා ගැනීම, අගමැතිවරයා යටතේ ඇති ආර්ථික කටයුතු අමාත්‍යාංශයට 7500 ක් බඳවා ගැනීම, වජිර අබේවර්ධන අමාත්‍යවරයා යටතේ ඇති ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ග්‍රාම නිලධාරින් බඳවා ගැනීම් ආදී චෝදනා එල්ල වී තිබේ. ඇමැතිවරුන් කුමන ආකාරයට මැතිවරණ නීති උල්ලංඝනය කළද එහි අවසන් වගකීම රජයේ නිලධාරින් දැරිය යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය. මැතිවරණ නීති අකුරටම රැකීම නිසා පළිගැනීම්වලට ලක්වන රජයේ නිලධාරින් වෙනුවෙන් අධිකරණයට හෝ ගොස් ඔවුන්ට සාධාරණය ඉටුකිරීමට පසුබට නොවන බව හෙතෙම සඳහන් කළේ ය. චමින්ද සේනාරත්න
 

More News..