brand logo

ජනපතිගෙන් මංගලට දුරකථන ඇමතුමක්

01 November 2019

ජනාධිපතිවරණයට පෙර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුදල් ඇමැති මංගල සමරවීරට ඊයේ (31 වැනිදා) දැනුම් දී තිබේ. මෙම ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදීම සම්බන්ධව විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමි, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (31 වැනිදා) ජනාධිපතිවරයා හමු වී ඇත. එහිදී ජනාධිපතිවරයා මංගල සමරවීරට දුරකථන ඇමතුමක් ලබාදී තිබේ. මෙම ගිවිසුම නොවැම්බර් 16 වැනිදාට පෙර අත්සන් නොකරන ලෙස ජනාධිපතිවරයා එහිදී මුදල් අමැතිවරයාට දැනුම් දී ඇත. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලබා ගන්නා අවස්ථාවේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මත ගැටුමක්ද ඇති විය. මේ අතර ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග රජය අත්සන් කිරීමට සූදානම් වන ගිවිසුමේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සැකයක් මතු වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි. ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි. ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන ඇත. මේ ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් කිරීමට පියවර ගන්නා බවටත් අගමැතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර සිටියේය. ජනාධිපතිවරණයට තව ඇත්තේ සති දෙකක් වැනි කාලයකි. තීරණාත්මක මැතිවරණයකට දින ගණනක් තිබියදී විදෙස් රටක් සමග ආණ්ඩුව කඩිමුඩියේ ගිවිසුමකට එළඹිය යුතු නැති බව අපි තරයේ ප්‍රකාශ කර සිටිමු. එවැනි ගිවිසුමක් ලංකා ආණ්ඩුව අත්සන් කරනවා නම් එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුවය. මෙකී ගිවිසුමේ අන්තර්ගතය කුමක්දැයි රටේ ජනතාව තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් දන්නේ නැත. මේ ගිවිසුම අත්සන් කිරීමට පෙර එහි පිටපත ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කළ යුතු බවත් අපි ප්‍රකාශ කර සිටිමු. මේ යෝජිත ගිවිසුම මහාමාර්ග සංවර්ධනයට හා ඉඩම් ප්‍රතිසංස්කරණයට අදාළ එකක් බව කියා සිටියද එයින් හරියටම සිදුවන්නේ කුමක්ද යන්න ආණ්ඩුව ජනතාවට පැහැදිලි කර නැත. මෙයින් ශ්‍රී ලංකාවට සෙතක් සැලසෙන්නේ නම්, මේ සම්බන්ධයෙන් මෙතරම් රහස්‍ය බවක් පවත්වාගෙන යන්නේ කුමටද යන්න ගැන අපට සාධාරණ සැකයක් ඇත. ජනතාවට හොරෙන් හා පාර්ලිමේන්තුවට හොරෙන් මේ ගිවිසුම කිසිසේත්ම අත්සන් නොකළ යුතු බව අපි ආණ්ඩුවට තරයේ ප්‍රකාශ කර සිටිමු.
 

More News..