brand logo

ජනාධිපතිතුමා කියපු කතාව සැලකිල්ලට ගත යුතු වැදගත් ප්‍රකාශයක්

09 June 2019

ඉවත් වෙච්ච අපේ මුස්ලිම් ඇමැතිවරු වෙනුවට අලුත් අය පත් කරනවදැ’යි මුජිබර් රහුමාන් ඇසුවේ ද අගමැතිවරයාගෙනි. “ මාසයක් ඇතුළත පරීක්ෂණ ඉවර කරනවා... පරීක්ෂණවලදී චෝදනා ඔප්පු වීම හෝ යම් සැක සහිත කරුණු මතු වූණොත් ඕනම කෙනෙක් ගැන තීන්දු ගන්නවා... චෝදනා ඉදිරිපත් කරන්න විශේෂ පොලිස් ඒකකයකුත් දැම්මා... චෝදනා කරපු දේශපාලකයොයි, ජනමාධ්‍යයි, අනිත් අයයි තම තමන්ගේ පැමිණිලි ඒකට බාර දෙයි නෙ. එහෙම නැත්නම් චෝදනා එල්ල කරපු අයගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි...” අගමැතිවරයා කීවේ මුජිබර්ගේ ප්‍රශ්නයට කෙළින් පිළිතුරක් නොදීය. “අපි මේ පාර පොසොන් උත්සවය හොඳට කරල රටේ ආරක්ෂාව සහතික බව පෙන්නමු... අපි අයි.එස්.අයි.එස්. ලට බය නෑ කියලත් ඔප්පු කරනවා...” පී. හැරිසන් පැවසුවේ ය. “මුස්ලිම්වරු ඇමතිකම්වලින් ඉවත් වුණා... ඒත් උපවාස කළ අය තනතුරුවලින් ඉවත් වුණේ නෑ... බෙදිල හිටපු මුස්ලිම්වරු එකතු කිරීමයි අන්තිමේ උපවාසයෙන් සිද්ධ වුණේ කියල සමහරු කියනවා... ගලගොඩඅත්තේ හාමුදුරුවෝ උපවාසෙට ගිහින් මුලින් සහය දීලා පහුවදාම රතන හාමුදුරුවො විවේචනය කළා... මේ නාට්‍ය පිටපතේ අපැහැදිලි තැන් එමටයි...” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සෙස්සන් සිනාගන්වමිනි. “පොහොට්ටුවට සහය දෙන්නෙ නෑ කියලත්, එජාපය නව මුහුණුවරකින් එනවා නම් සහය දෙනව කියලත්, කැබිනට් එකේදී ජනාධිපතිතුමා කියපු කතාව සැලකිල්ලට ගත යුතු වැදගත් ප්‍රකාශයක්... ” යැයි කියමින් නවීන් දිසානායක මෙම සාකච්ඡාව වෙනතකට යොමු කළේ මේ අතරතුර ය. “ජනාධිපතිතුමා එක්ක එජාපය හිටගන්න එක හොඳ නෑ... එතුමා ඉන්න මොනම පක්ෂෙකට කණ්ඩායමකට මිනිස්සු කැමැති වෙන්නෙ නෑ... ඒක නෙවෙයි, මේ වෙලාවෙ එජාපෙට අයිති ඇමැති තනතුරු ටික එතුමාගෙන් ඉල්ලගමු...” චමින්ද විජේසිරි කීවේ නවීන් දිසානායකගේ කතාවට විරෝධය පළ කරමිනි.
 

More News..