brand logo

ජනාධිපතිගේ බලකෑදරකම ගැන ඔහුට වඩා අපි ලජ්ජ වෙනවා

22 April 2019

ඔබ ඇතුළු එජාප පසුපෙළ ශක්තිමත් එකමුතු පවුරක් ගොඩනගා ඇති බව කියනවා. මොකක්ද මෙහි අරමුණ? මේ ආණ්ඩුව වසර 04ක් ගියත් ඇතැම් ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාප නිසා අපේ පාක්ෂිකයන් අසීරුතාවට පත්වූ තැන් එමටයි. ඒ නිසා මේ ක්‍රමය දිගටම ගියොත් පාක්ෂිකයා ඈත් වෙලා දේශපාලන ලෙස එජාපය අනාථ වෙන නිසා පසුපෙළ අපි පාක්ෂිකයා වෙනුවෙන් පෙළ ගැහුණා. ඒ නිසා ඇමැතිවරුන්ගේ සහාය පසුපෙළ මන්ත්‍රීලට ලබා ගෙන ඒ හරහා පාක්ෂිකයාට සැලකීමේ ක්‍රමවේදයකටයි අපි යොමු වුණේ. අගමැතිතුමාගෙ සහායත් ඊට ලැබුණා. මුලින් සුළුවට පටන් ගත්ත අපේ ව්‍යායාමය අද ඉතා ශක්තිමත්. ඒත් පසුපෙළ කණ්ඩායම් තීන්දු හා ප්‍රතිපත්තිවලට පයින් ගසා ක්‍රියාකරන පසුපෙළ මන්ත්‍රීලත් ඉන්නවා නේද? ජනපති වැය ශීර්ෂයට එරෙහි විය යුතු බවට පසුපෙළ කියද්දී ජනපති හා ඩීල් දැමූ අය හිටියෙ නැද්ද? අතළොස්සක් එහෙම අය ඉන්න පුළුවන්. ජනපති එක්ක ඩීල් දාන ඇතැම් ඇමැතිවරු වගේම පසුපෙළ අයත් ඉන්න බව පේනවා. ඒත් ගමෙන් ආපු ඒ ගම්වලට වැඩක් කළ යුතු බව හිතන බහුතරයක් අපි එකට වැඩ කරනවා. මට ඕන නම් කළ හැකියි. ඒත් එතැනට යාම අවශ්‍ය නෑ. දෙපැත්ත බේරගෙන ආත්මාර්ථකාමීව ක්‍රියා කරපු අයත් අපේ අතර හිටියා. මීට පස්සේ එහෙම නොවේවි කියලා අපි හිතනවා. රාජිත, චම්පික, මලික් වගේ ආණ්ඩුවේ ඇමැතිවරු පසුපෙළ මන්ත්‍රීවරු හා එජාප පාක්ෂිකයාට නොසලකා තම බල ප්‍රදේශ හැර රට ගැන නොතකන නමුත් අකිල හා සාගල වැනි ඇමැතිවරු ඉන් මිදී නිවැරදි වෙමින් සිටින බවත් ඔබේ කණ්ඩායම මීට පෙර ප්‍රකාශ කර තිබෙනවා. මේ තත්ත්වය තාමත් එහෙමද? අපි එදා ඇමැතිවරුන්ට නම් කරල ප්‍රහාර දියත් කළේ තරහට නෙවෙයි ඔවුන් නිවැරදි කර ගන්නයි. ආණ්ඩුව රැකීමටත් එය පිටිවහලක් බව අපි හිතුවා. පසුපෙළ මන්ත්‍රීවරුන් ජනතා නියෝජිතයන් බව හිතන වැදගත් ඇමැතිවරු මෙන්ම එහෙම හිතන්නෙ නැති අමුතු තාලෙ ඇමැතිවරුන් ඉන්නවා. අපට උදව් කරන ඇමැතිවරු ඉන්නවා. සියලු ඇමැතිවරු පසු පෙළ මන්ත්‍රීවරු වගේම එජාප ආසන සංවිධායකයා ගැනත් සාධාරණව ක්‍රියා කළ යුතු වෙනවා. අයවැය විවාදයේදී අපේ ආණ්ඩුවේ විදුලිබල ඇමැතිකම කරපු ශ්‍රීලනිපයේ සියඹලාපිටිය කියනවා මම රැකියා 4000ක් මේ රජය යටතේ දුන්නාය, ඒ ඔක්කොම දුන්නේ මගේ කෑගල්ල දිස්ත්‍රික්කයටය කියලත් ඔහු කිව්වා. දෙයියොම බලන්න එපාය. ඇමැතිවරයෙක් ඒ වගේ පහත් හා අමන ප්‍රකාශයක් කරන කොට රටේ ජනතාව තේරුම් ගන්න ඕනෑ ඒ ඇමැති කොයිතරම් පහත් බුද්ධි මට්ටමක කෙනෙක්ද කියලා. අපි හදපු ආණ්ඩුවට පිනට ඇවිත් ඇමැතිකම් දුන්නේ රටටම වැඩ කරන්න මිසක් එයාගෙ දිස්ත්‍රික්කයට විතරක් වැඩ කරන්න නෙවෙයි. මේ රටේ දේශපාලනය මේ තරම් පීචං වෙලා තියෙන්නේ මේ වගේ හිරිකිත වැඩ නිසයි. සියඹලාපිටිය වගේ කුජීතම මට්ටමේ නැතත් මේ ආණ්ඩුවේ තවත් එවැනි ඇමැතිවරු ඉන්නවා. ඔවුන් නිවැරැදි නොවුණොත් අපිට ප්‍රසිද්ධියේ පහර ගහන්න වෙනවා. ඒ අතරේ ඉතා සාධාරණව රටයි පාක්ෂිකයයි සියල්ල ගැන හිතලා සමබරව ක්‍රියා කරන ඇමැතිවරුත් ඉන්නවා. ආත්මාර්ථකාමී හා පහත් ලෙස ක්‍රියා කරන ඇමැතිවරු නම් කිරීමට ඔබ දැනට අකැමැති නම් සාධාරණව වැඩ කරන ඇමැතිවරු දෙතුන් දෙනකුගේවත් නම් එළි කරන්න බැරිද? සජිත් ඇමැතිතුමා නිසා අපට අද කොන්දක් ඇතිව ජනතාව ඉදිරියට ගමට යන්න පුළුවන් වෙලා තියෙනවා. තව කිරිඇල්ල ඇමැතිතුමා පාක්ෂිකයයි පසුපෙළයි මා අහල තියෙන විදිහට මාධ්‍යවල අයටයි හුඟක් උදව් කළා. කරුමෙට අද එතුමාගෙ අඬු කඩල දාල තිබීම ජනාධිපති හා අගමැතිතුමාල වහාම නිවැරදි කළ යුතු බවට අපි බල කරනවා. අදටත් පසුපෙළ අපේ ප්‍රශ්න අහල සුළුවෙන් දෙයක් කරල වෙන ඇමැතිවරුන්ට කතා කරලා සහාය දෙන්න කිරිඇල්ල ඇමැතිතුමා ඉදිරිපත්වීම අපි අගය කරනවා. පසුපෙළ මන්ත්‍රීවරු හරහා එම ගම් ප්‍රදේශවලට සංවර්ධන කටයුතු හා රැකියා ලබා ගැනීම පසු පෙළ එකමුතුවේ අරමුණ බව ඔබ කිව්වත් බොහෝ ඇමැතිවරුන්ගෙන් පසු පෙළට වාහන, රට සංචාර හා වෙනත් වාසි ලබා ගැනීමේ අරමුණකුත් ඔබේ හිත් තුළ තිබිය නොහැකිද? අපේ මේ අවංක උත්සාහය එවැනි අසාධාරණ තර්ක දාල හෑල්ලු කිරීම වැරදියි. අපි ඇමැතිලාට පාටි දාන්නෙ නෑ. ඇමැතිවරු රට පුරා තම අමාත්‍යාංශ සම්පත් බෙදා හැරියා නම් ප්‍රශ්නය ඉවරයි. මම කතා නායකතුමාගෙන් ලැබුණු චීන සංචාරයකට විතරයි ආණ්ඩුව ගානෙ ගියේ. වෙන කිසි කෙනෙක් අපට කතා කරලත් නෑ. මම නම් වැඳගෙන ගිහින් ඕව ඉල්ලන්නෙත් නෑ. සමහර විට ඉල්ලල රට යන අයත් ඇති. මේ ආණ්ඩුවෙන් අපට විශේෂ වරප්‍රසාද දීලම නෑ. ඒත් රාජපක්ෂ යුගයේ සුළු සම්බන්ධීකරණ කමිටුවක සභාපතිලටත් මහා විශාල වරප්‍රසාද දීල තියෙනවා. මම දැනට එවැනි තනතුරු 03ක් දරනවා. රුපියලක විශේෂ වරප්‍රසාදයක් ලැබෙන්නෙ නෑ. අපට ඕන නෑ. පාක්ෂිකයාට හා අපේ ප්‍රදේශවලට යමක් ලබෙනවා නම් අපට ඒ ඇති. අපේ පළමු පාර්ලිමේන්තු කාලේ ආණ්ඩුවේ මන්ත්‍රීල ලෙස ඉඳලත් අපට අපේ මිනිස්සුන්ට හා ප්‍රදේශවලට යමක් කරන්න ලැබෙන්නෙ නැතිනම් ඒක පාපයක්. ඒ නිසා පසුපෙළ මන්ත්‍රීලාට ඇමැතිවරුන්ගේ සහාය අත්‍යවශ්‍යයි. නොලැබෙනවා නම් අපි ගෙදර නවතින එක හොඳයි. රැකියා හා සංවර්ධන ව්‍යාපෘතිවලදී ඇමැතිවරු කරන දේම ගමේ මිනිස්සු අපෙනුත් බලාපොරොත්තු වෙනවා. මම ඇමැතිද මන්ත්‍රීද කියල ඒ මිනිස්සුන්ට අදාළ නෑ. ඒ නිසා අද පවතින මේ පහත් ක්‍රමවේදය වෙනස් විය යුතුමයි. එජාපෙ පසුපෙළට ලබාදී තිබූ අධීක්ෂණ මන්ත්‍රී ධුර ජනපති විසින් අහෝසි කිරීමෙන් එජාප පසුපෙළ ‘‘කබලෙන් ළිපට’’ වැටුණාද? ජනාධිපතිතුමා එජාපෙ අපි පත් කළත් එතුමා අපට අධීක්ෂණ මන්ත්‍රීකම් දුන්නෙ නෑ. මෙතැන රටම දැනගත යුතු කතාවක් තියෙනවා. එතුමා මුලින්ම ශ්‍රීලනිපයේ මලිත් ජයතිලක මන්ත්‍රීට විතරක් අධීක්ෂණ මන්ත්‍රීකමක් දීලා විශාල වරප්‍රසාද, ගෙවීම්, වාහන අරව මේව දුන්නා. අපේ හයියෙන් ජනපති වෙලා අපට කොකා පෙන්නලා ශ්‍රීලනිපයේ මන්ත්‍රීට විතරක් අධීක්ෂණ මන්ත්‍රීකමක් දීමට එතුමා ගත්ත තීන්දුව මොන තරම් සදාචාරාත්මකද, හිතන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා. ශ්‍රීලනිප මන්ත්‍රීට අධීක්ෂණ, දෙනවා නම් අපේ මන්ත්‍රීලටත් දිය යුතුයි කියලා අගමැතිතුමා යෝජනා කළාම ජනාධිපතිතුමාට මග අරින්න බැරි වුණා. අපට අධීක්ෂණ මන්ත්‍රීකම් දීල ටික දිනකින් ජනාධිපතිතුමා අර ඇදගෙන නාපු ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් පස්සේ වෛරය පිරිමහන්නද මන්දා අපේ අධීක්ෂණ මන්ත්‍රීකම් අහෝසි කළා. එයා මුලින්ම පත් කරපු මලිත් මන්ත්‍රීතුමාට අධීක්ෂණ මන්ත්‍රීකම් කොහොමත් දෙන්න බෑ. එයා ආණ්ඩුවේ නැති නිසා. එයාට බෙදපු හැන්දෙන් අපි හදපු අපේ ආණ්ඩුවේ මන්ත්‍රීලටත් ජනාධිපති බෙදුවා. මේ වගේ කැත වැඩ ලෝකයේම වෙලා නෑ. එතැනදි තවත් දෙයක් කියන්න ඕන. අපි අධීක්ෂණ මන්ත්‍රීල කාලෙ සමහර ඇමැතිවරු ඒ අධීක්ෂණ මන්ත්‍රී ගැන බැලුවා. තවත් සමහරු එහෙම කළේ නෑ. මේ ක්‍රියා දෙකම අපි හෙළා දකිනවා. රටයි ජනතාවයි වගේම එජාප පසුපෙළත් අර්බුදයක සිටින හැඩයි. ඒ තුළ පසුපෙළේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද? නොසලකන ඇමැතිවරුන්ගේ රෙදි ගැලවීම එකම විකල්පයද? අගමැතිතුමාට මේ ගැටලු ගැන අවබෝධයක් තියෙන නිසා රුපියල් දස ලක්ෂ 200ක අරමුදල් අපට වෙන් කළා. ඒ මුදලින් අපේ දිස්ත්‍රික්ක පුරා ව්‍යාපෘති රැසක් අපි දියත් කරනවා. තව දස ලක්ෂ 100ක් ලබාදෙන්නත් පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා අපේ ජනතාවගේ දුක්ඛ දෝමනස්සවලට යම් සාධාරණයක් ඉටු කළ හැකි මට්ටමක අපි ඉන්නවා. සමහර ඇමැතිවරුන්ගෙ රෙදි අපි ගලවන්න දෙයක් නෑ. එයාලම ගලවගෙනයි ඉන්නෙ. ඒ අය ඒවා නිවැරදි කරගෙන රැකියා බෙදීමේදීත් සියඹලාපිටියගෙ තුච්ඡ ක්‍රමය වෙනුවට සාධාරණව ක්‍රියා කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි දිගටම ඒ වෙනුවෙන් ඉල්ලීම් කරනවා. අවශ්‍ය නම් එළිපිට සටනුත් කරනවා. ගෝඨාභයට ඇමෙරිකාවේ නඩු 03ක් වැටීම පිටුපස ආණ්ඩුවත් කොනක හරි ඉන්නවා නේද? ගෝඨාභයට විරුද්ධව ලංකාවේ නඩු දැම්මට ඒ නඩු අහන්න එපා, අත්අඩංගුවට ගන්න එපා ආදී බියගුලු නීති ක්‍රමවේද ක්‍රියාත්මක කරපු නිසා ඇමෙරිකානු පුරවැසියකුට එරෙහිව ඒ රටේ නඩු වැටුණාද දන්නෙ නෑ. එයා ජනාධිපතිවරණයට ඒම එජාපෙට නම් ගැටලුවක් නෙවෙයි. මොකද පහසු වෙන්ම පරාජය කළ හැකි කෙනා ඔහුයි. යුද්ධයෙන් රට බේරපු ෆීල්ඩ්මාර්ෂල් ෆොන්සේකාට රට බාර නොදීපු ජනතාව කර්නල් කෙනකුට රට බාර දේවි කියල අපි හිතන්නෙ නෑ. ගෝඨාභයට නඩු වැටුණේ එයාලගෙම පිලේ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසයි. එයාට අපේක්ෂකත්වය දෙන්න මහින්ද, නාමල්, ශිරන්ති බැසිල් ඇතුළු අය කැමැති නෑ. මහින්ද මහත්තය ජනාධිපති වෙලත් අදත් දේශපාලනය කරන්නෙ රටට ජනතාවට ආදරේට නෙවෙයි නාමල් පුතාගෙ අනාගතය වෙනුවෙන් මිසක් ගෝඨාභය හෝ බැසිල්, චමල්ගෙ අනාගතය වෙනුවෙන් නෙවෙයි. ගෝඨාභයට නෙවෙයි ඒ පවුලේම අනිත් අයටත් ඇතුළෙන්ම උගුල් ඇටවෙන්න බැරි නෑ. පොහොට්ටුවේ මේ අර්බුද නිසා ඉක්මනින් ඔවුන් සීසීකඩ විසිරෙනවා ඒකාන්තයි. මහින්ද - මෛත්‍රී බොරු එකතුව හරහා එළි දකින්නේ රාජපක්ෂලා 2020දී එජාපයට යළි රටේ බලය ලබාදීලා නාමල් පුතාට අනාගතයේදී පුළුවන්ද බලන එකයි. මේ ජනපතිට 2019 අග නොව 2020 ජුනි දක්වා සිටිය හැකි බවට 19 වැනි සංශෝධනය අනුව එන අලුත්ම තර්කය ගැන මොකද කියන්නෙ? ඔය ගොඩ පෙරකදෝරුවො විකාර කියන්න කලින් හරියට ව්‍යවස්ථාව කියවන්න ඕන. ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වූදා සිට වසර 05ක් ඉන් ජයගත් කෙනාට හිමි බව ව්‍යවස්ථාවේ තියෙනවා. දෙපාරක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලලං කාපු ජනාධිපති ආස නම් තුන්වැනි පාරටත් ඉල්ලං කන්න උසාවි යන්න කියල අපි කියනවා. ජනපති ධුරය ඉවර කරන්න ආපු මේ ජනපතිට මේ වගේ කාලකණ්ණි බල කෑදරකමක් ඒම ගැන ඔහුට වඩා ඔහු පත් කළ අපි ලජ්ජා වෙනවා. මේ රටේ නීචම ජනාධිපති ලෙස තවත් නාගන්න එපා කියලයි අපි ඔහුට කියන්නෙ. මොකද අධිකරණය ගෞරවනීයයි. උත්තරීතරයි. තවදුරටත් වටේ එවුන්ගෙ ගස්යට නීති උපදෙස් ලණු කන්න එපා කියල අපි ජනාධිපතිට කියනවා. ශ්‍රීලනිප ජනාධිපතිවරු 94 ඉඳලා මේ දක්වා විනාශ කළ රට 2019 අගදී අපේ ජනපති කෙනෙක් භාර ගෙන නිවැරදි කරනවා. එජාපය දිනනවා කිව්වත් පොහොට්ටුවට නොදෙවෙනි ජනපති අපේක්ෂක අරගලයක් එජාපෙ තුළත් තිබෙනවා නේද? නැහැ. අපේ පෙරමුණ තාම අවසන් තීන්දු ගෙන නැතත් රනිල් - සජිත් සුසංයෝගය ජනපතිවරණයට ඉදිරිපත් කළ යුතු බව මගේ අදහසයි. ‘‘ඔක්තෝබර් 26 අශූචි කුමන්ත්‍රණය’’ පරදා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ කරු ජයසූරිය මැතිතුමා උප ජනපති හෝ උප අගමැති කළ යුතු බවත් මගේ ස්ථාවරයයි. පසුපෙළ සියලු දෙනා මගේ ඒ ස්ථාවරවලට සහාය දේවි කියලත් මම හිතනවා. අශෝක ජයතුංග
 

More News..