brand logo

පුර්ව මත විමසුම් අනුව ගෝඨා ඉදිරියෙන්

27 October 2019

ජනරජයේ අට වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ජනාධිපතිවරණයට ඇත්තේ තවත් දින 20 ක් පමණි. එහෙයින් දැන් දැන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර සටන ඉතාමත් ම තීව්‍ර වී ඇති බවක් පෙනේ. එමෙන්ම සෙසු අපේක්ෂකයන්ගේ ජනප්‍රියත්වය තවදුරටත් අඩුවෙමින් තිබෙන අතර ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක හැරුණු කොට අනෙක් අපේක්ෂකයන් 33 දෙනා රැලියක්, රැස්වීමක් හෝ පවත්වන්නේ ඉඳහිට ය. යටත් පිරිසෙයින් බොහෝ දෙනෙකු ‘ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා දුන්නත්’ කිසිදු ආකාරයක ප්‍රචාරණයක් දියත් කරන බවක් පෙනෙන්නට නැත. මේ අතර පසුගිය සතිය අවසන් වන විට ජනාධිපතිවරණය සම්බන්ධ ‘ජනමත සමීක්ෂණ’ දෙකක ප්‍රතිඵල නිකුත් වී ඇති අතර ඒ දෙකින් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ‘ගෝඨාභය රාජපක්ෂ’ ඉදිරියෙන් සිටින බව අනාවරණය විය. ඉන් එකක් වත්මන් ආණ්ඩුවේ මෙහෙයවීම මත ‘බුද්ධි අංශ මඟින්’ සිදුකෙරුණු ජනමත විමසුමක් වන අතර එයට අනුව, ගෝඨාභය රාජපක්ෂට 57% ක ඡන්ද ප්‍රමාණයකුත්, සජිත් ප්‍රේමදාසට 37% ක ඡන්ද ප්‍රමාණයකුත්, අනුර කුමාර දිසානායක ට ඡන්ද 5% කුත් ලැබෙන බව අනාවරණය විය. අනෙක් මත විමසුම සිදුකෙරුණේ, ආසිරි රෝහල් සමූහයේ සේවය කරන ඡන්ද දායකයන් 2415ක් අතර ‘පෙරහුරු ඡන්ද විමසීමක්’ පවත්වමිනි. මෙහි ප්‍රතිඵල අනුව ගෝඨාභය රාජපක්ෂට 72% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබෙන බවත්, සජිත් ප්‍රේමදාසට 17% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබෙන බවත් ‘පුරෝකථනය’ කළ හැකි විය. කෙසේවෙතත්, මෙහිදී ලැබුණු ‘ඡන්ද ප්‍රතිඵලය’ අනුව තුන්වැනි ස්ථානය හිමි වී තිබුණේ, අනුර කුමාර දිසානායකට නොව, මහේෂ් සේනානායකට ය. එනම් මෙහිදී මහේෂ් සේනානායකට 3% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී තිබුණු අතර අනුර කුමාර දිසානායකට ලැබී තිබුණේ 2%ක ඡන්ද ප්‍රතිශතයකි. මෙහිදී සෙසු අපේක්ෂකයන්ට 2% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණු අතර සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 4% ක් පමණ ප්‍රතික්ෂේප වී තිබුණි.
 

More News..