brand logo

'ජනබලය කොළඹට' උද්ඝෝෂණයට ආණ්ඩුව දැනටමත් බයවෙලා - පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග

27 August 2018

  ඒකාබද්ධ විපක්ෂය විසින් සැප්තැම්බර් මස 05 වැනි දා කොළඹ දී පැවැත්වීමට නියමිත ‘ජනබලය කොළඹට' දැවැන්ත උද්ඝෝෂණයට ආණ්ඩුව දැනටමත් බිය වී සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. එදින පාර්ලිමේන්තුව වැටලීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වෙතැයි බියෙන් සැප්. 5, 6 දින දෙකේ පාර්ලිමේන්තුව නොපවත්වා කල්දැමීමට කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබෙන බවද ඒ මහතා පැවසීය. ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ උද්ඝෝෂණය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ජනතාව දැනුවත් කිරීම සඳහා මිනුවන්ගොඩ දී ඊයේ (26) පැවැති ජනහමුවකදීය. මන්ත්‍රීවරයා එහිදී මෙසේ ද ප්‍රකාශ කළේය. ‘‘මේ රටේ ඉතිහාසයේ විරුද්ධ පාර්ශ්වයක් ආණ්ඩුවට විරුද්ධව සාර්ථකම කාර්යභාරය කරපු කණ්ඩායම ලෙස ඒකාබද්ධ විපක්ෂයයි. වඩාත් සුවිශේෂී කාරණය වන්නේ අපි මේ සටන් කරන්නේ රටේ ප්‍රධාන පක්ෂ දෙකම එකතු වෙලා හදපු ආණ්ඩුවකට විරුද්ධව වීමයි. මේ ආණ්ඩුව තුනෙන් දෙකකටත් වැඩි බලයක් හිමි ආණ්ඩුවක්. බලයට ඇවිත් අවුරුදු තුනක් යන්නත් ඉස්සර අපි මේ බලවත් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයෙන් එක මිටට අරගෙන පරාජය කළා. ආණ්ඩුවට සහයෝගය දෙන පක්ෂ වගේම ආණ්ඩුවට හීලෑ විපක්ෂයේ පක්ෂත් එකතු වෙලාවත් ඒකාබද්ධ විපක්ෂය පරාජය කරන්න බැරි පසුබිමක් අපි අවුරුදු තුනෙන් හැදුවා. දැන් ආණ්ඩුවට තුනෙන් දෙකක් නැහැ. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී අපි ලබපු ජයග්‍රහණය කොතරම් විශිෂ්ටද කියලා කිව්වොත් දිනලා මාසයක් විතර යනකම් ආණ්ඩුවට අගමැති පුටුව ආරක්ෂා කරගන්න විශාල මෙහෙයුමක් කරන්න වුණා. අන්තිමට අගමැතිගේ පුටුව බේරුණේ නූලෙන්. ආණ්ඩුව දන්නවා මේක එසේ මෙසේ විපක්ෂයක් නොවන බව. මේකේ නායකත්වය දරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා තමයි මේ රටේ ඉන්න විශිෂ්ටතම වීදි සටන් නායකයා. අවුරුදු 17ක් භීෂණයෙන් රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1994 දී ගෙදර යවන්න පළමු වෙඩි මුරය ‍තිබ්බේ එතුමයි. එදා කොළඹ සිට කතරගම ගිය පාද යාත්‍රාව වැනි වීදි සටන් මෙහෙයවූයේ මහින්ද මහත්තයයි. එතුමා නොවෙන්න චන්ද්‍රිකා බණ්ඩාරනායක නෝනට ජනාධිපති වෙන්න හිතන්නවත් පුළුවන්කමක් නැහැ. දාහත් අවුරුදු ශාපය නිම කරපු ඒ වීදි සටන් නායකයාට, තිස් වසරක කොටි ත්‍රස්තවාදය නිමා කරපු ඒ නායකයාට මේ තුන් අවුරුදු ශාපය නිමා කරන එක මහ දෙයක් නෙමෙයි. අපි දැන් ඒ ගමන ආරම්භ කර තිබෙනවා. සැප්තැම්බර් 05 වැනි දා අපි කොළඹට එන්නේ ආපහු යන්න බලාගෙන නෙමෙයි. අද ජනතාව අපි යන යන තැන ඉල්ලන්නේ ආණ්ඩුව පෙරළන්න කියලයි. මේ ආණ්ඩුව පෙරළලා ජනතාව වෙනුවෙන් මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදනකම් අපි මේ ගමන නතර කරන්නේ නැහැ. ආණ්ඩුව දැන් අපේ ගමනට බයවෙලා. සැප්තැම්බර් 05 වැනි දා සහ 06 වැනි දා පාර්ලිමේන්තුව කල්දාන්න කියලා ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට උපදෙස් දීලා තියෙනවා. ජනාධිපතිවරයා බයවෙලා ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අපි පාර්ලිමේන්තුව වටලයි කියලා වෙන්න ඇති. අපිට ඕනේ නම් අපි ඒකටත් පසුබට වෙන්නේ නැහැ. ජනාධිපතිවරයට සහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට හීනෙනුත් පේනවා ඇති ඒකාබද්ධයේ අපි ජනතාව එක්ක එකතු වෙලා ආණ්ඩුව පෙරළන හැටි. එදා ගෝල්ෆේස් පිට්ටනිය පිරෙන්න ආවේ මේ ආණ්ඩුවට විරුද්ධ ජනතාවයි. ඒ වගේ දෙගුණයක් ජනතාව සැප්තැම්බර් 05 වැනි දා අපිත් එක්ක කොළඹට එනවා කියලා අපි කියන්න කැමැතියි. ඒ හින්දා තමයි අපිව මර්දනය කිරීම ආණ්ඩුවේ එකම අරමුණ වෙලා තියෙන්නේ. ජනතාව උද්ඝෝෂණයට එන එක වළක්වන්න ආණ්ඩුව පෞද්ගලික අංශයේ බස් රථ දෙන්න එපා කියලා තර්ජනය කරලා තියෙනවා. බාධක තහංචි දාලා මේ ගමන නතර කරන්න බැහැ. අපි පයින් හරි ඇවිත් ආණ්ඩුව ගෙදර යවලා තමයි ආපස්සට හැරෙන්නේ.  
 

More News..