brand logo

ජනප්‍රිය රැල්ලට යන්නේ නෑ

03 October 2020

චතුර සහන් ගුණවර්ධන කියන්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුතා කියලා ඔබ දන්නවනේ. හැබැයි මේ කතාව දේශපාලනයට එහා ගිය කතාවක්. විශේෂත්වය මේ කතාවට තාත්තා සහ පුතා දෙන්නම සම්බන්ධ වීම. පුංචි කාලේ ඉඳන්ම දේශපාලන පසුබිමක හැදුණත් චතුරට අවශ්‍ය වෙන්නේ කවදා හරි Music Composer කෙනෙක් වෙන්න. ඒ නිසාම දැනුම් තේරුම් ඇති කාලයේ පටන් චතුර සංගීත භාණ්ඩවලට ඇලුම් කර තිබෙනවා. පසුගිය කාලේ ඇතිවුණු කොරෝනා තත්ත්වය යම් ලෙසකින් ඔහුගේ මේ ආසාව නැවත ඉස්මතු කරමින් අලුත් බලාපොරොත්තුවක් ජීවිතයට එක් කරනවා. ඒ කොරෝනා මැඬලීමට සහාය වූ ත්‍රිවිධ හමුදාවට සහ හෙද වෙද සියලු දෙනාට උපහාරයක් වන ගීයක් නිර්මාණය කරමින්. එතැනින් නොනැවතුණු චතුර තමන්ටම කියලා වෙනස් ආරක් ගත් වෙනස්ම හැඩයක් තියෙන ගීතයක් නිර්මාණය කර ගන්නවා. විශේෂත්වය වෙන්නේ එහි පද පෙළ සිය පියා වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අතින්ම ලියැවීම. සංගීතවත් කර තිබෙන්නේ කසුන් කල්හාර. මේ වෙද්දී සකුන්තලා ගීතය YouTube මගින්, අන්තර්ජාලය මගින් අහන්න පුළුවන්. අපි කතාව පටන් ගමු සකුන්තලාගෙන්ම... ඔව්, සකුන්තලා කියන්නේ මගේ මුල්ම ගීතය කිව්වොත් තමා වඩාත් නිවැරදි වෙන්නේ. මේ ගීතය ලියන්නේ මගේ තාත්තා. සකුන්තලා ගීතයට පාදක වෙන්නේ ඉන්දියාවේ හිටිය ලේඛකයකු වූ කාලිදාස මවපු චරිතයක්. සකුන්තලා දුෂ්මන්ත කිව්වම කලාව කරන බොහෝ දෙනා දන්නවා. ඒ වගේම සකුන්තලා කියන්නේ දැක්ක ගමන් වශී වෙන රූපයක් තියෙන ගැහැනියක්. හැබැයි ඒ ගැහැනිය ඕනෙම දෙයක් දරා ගන්න පුළුවන් ශක්තිමත් ගැහැනියක්. චතුර සංගීතයට ඇලුම් කරන්නේ කොයි කාලේ ඉඳන්ද? ඉතාමත් කුඩා කාලේ ඉඳන් තමා මම සංගීතයට ඇලුම් කරන්නේ. මට මතකයි මම අවුරුදු දෙකේදී ඉන්දියාවට ගිය වෙලාවෙත් අරන් තියෙන්නේ පොඩි සර්පිනාවක් . ඒක තාමත් මගේ ගාව තියෙනවා. දැන් ඒකට අවුරුදු 33ක් වයසයි. මගේ සංගීතයට තිබ්බ ආසාව දෙමාපියන් දැනගෙන ඒ මග යන්න මට උදව් කළා. ලංකාවේ ඉන්න කාලේ විශාරද වෙනකම් සංගීතය හැදෑරුවා ගුරුවරු කිහිප දෙනෙක් යටතේ. විශාරද නන්දා මාලනී ගුරුතුමිය, විශාරද එඩ්වඩ් ජයකොඩි ගුරුතුමා යටතේ සහ අවසානයට සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා යටතේ ඉගෙන ගත්තේ. ඊට පස්සේ 2006 දී මම එංගලන්තයට යනවා වැඩිදුර අධ්‍යාපනය ලබන්න. එතැනින් පස්සේ ඉතින් ස්වයං අධ්‍යනය තුළ තමා සංගීතයේ නිරත වුණේ. ඉදිරියට මොනවද කරන්න ඉන්නේ? තව ගීත කිහිපයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. දැන්ම නෙවෙයි, තව මාස දෙකකින් විතර තව ගීතයක් එනවා මනුරංග විජේසේකර ලියපු, ගයාන් රැන්ඩි විසින් සංගීතවත් කරපු එකක්. මම ගායකයෙක් වෙනවට වඩා ආස කළේ Music Composer කෙනෙක් වෙන්න. ඒ නිසා මගේම තනු නිර්මාණ කිහිපයක් තියෙනවා. ඒවාට ඉදිරියේදී ගීත නිර්මාණය වේවි. සංයුක්ත තැටියක් හෝ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කරන්න අදහසක් තියෙනවද? ඔව්, එහෙම අදහසක් තියෙනවා. ඒකට ටික කාලයක් ගතවේවි. මම ජනප්‍රිය රැල්ලට යන්න කැමති කෙනෙක් නෙවෙයි. හොඳ නිර්මාණ එකතුවක් කරන්න ආසාවක් තියෙනවා. සකුන්තලා ගීතයේ රූප රචනාව ගැන කතා කළොත්? මගේ යාළුවෝ තමා මෙහි රූප රචනාව කළේ. Helium Productions කියන්නේ මගේ යාළුවන්ගේ එකක්. දුමින්ද තමා රූප රචනාව අධ්‍යක්ෂණය කළේ. දැන් සකුන්තලා ලිව්වේ තාත්තානේ, චතුරට ලියන්න බැරිද ගීත..? බැහැ. මට තනු දාන්න සහ ගායනා කරන්න විතරයි පුළුවන්. දැන් තාත්තා ලියපු තව සින්දු තියෙනවද? නැහැ, තාත්තා කිව්වා ආයේ සින්දු ලියන්නේ නැහැ කියලා. මේකත් ලිව්වේ කොවිඩ් කාලේ ලැබුණු විවේකය නිසා. තාත්තා ගීත කිහිපයක් ලිව්වා කොවිඩ් කාලය තුළ. භාතිය සන්තුෂ්ට සහ සමන් ලෙනින්ට ගීත දෙකක් දුන්නා. හැබැයි ආයේ ලියන්නේ නැහැ කියලා තමා මට කිව්වේ මොකද දේශපාලන කටයුතු නිසා තියෙන කාර්යබහුලකම එක්ක. බලමු ඉතින් ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ තාත්තා ලිව්ව අවසන් ගීතය වෙන්න පුළුවන් සකුන්තලා? ඔව්, එහෙම වෙන්න වැඩි ඉඩක් තියෙනවා. චතුර කැමති නැද්ද දේශපාලනය කරන්න? නැහැ, කිසිම බලාපොරොත්තුවක් නැහැ දේශපාලනයට එන්න. මම කැමති නිදහසේ ඉන්න. ඒකයි සංගීතය සහ කෘෂිකර්මය තෝරා ගත්තේත්. තාත්තා කියන්නෙත් නැද්ද දේශපාලනයට එන්න කියලා... නැහැ. කිසිම බලපෑමක් නැහැ. මට තව සහෝදරයෙක් සහ සහෝදරියන් තුන්දෙනෙක් ඉන්නවා. අපි කාටවත් එහෙම බලපෑමක් නැහැ. දේශපාලන පසුබිමක හැදෙන දරුවෙක් වීම ගැන මොකද හිතෙන්නේ? මට ඒක ගැටලුවක් නෙවෙයි. බන්දුල ගුණවර්ධන කියන්නේ වෙනම ප්‍රතිරූපයක් තියෙන වෙනම මනුස්සයෙක්. රටට යමක් කරපු මනුස්සයෙක්ගේ දරුවෙක් වීම ගැන ආඩම්බරයක් තියෙන්නේ. හැබැයි ජනප්‍රිය කෙනෙක්ගේ දරුවෙක් වීම කුඩා කල පටන් නිදහස සීමාවක් විදියට දකින්න පුළුවන්, චතුටත් එහෙම හිතිලා නැද්ද? නැහැ. මට එහෙම හිතිලා නැහැ. මම කුඩා කල සිටම ජීවත් වෙන්නේ සමාජය එක්ක. ඉස්කොලේ පවා ගිහින් තියෙන්නේ බස්වල. මම දන්නා කාලේ ඉඳන් තාත්තා පාර්ලිමේන්තුව තුළ ඉන්නේ. (89 ඉඳන්) ඒ නිසා මට එහෙම ගැටලුවක් නැහැ. අනුෂා රණසිංහ
 

More News..