brand logo

ජනප්‍රිය නළුවෙකුගේ සුපිරි මෝටර් රථය සොරකම් කරලා

01 September 2021

ග්‍රෑන්ඩ් හෝටලය ඉදිරිපිට නවතා තිබූ කෝටි 3ක් වටිනා මෝටර් රථය අතුරුදන්

ජනප්‍රිය හොලිවුඩ් නළු ටොම් කෲස්ගේ සුපිරි මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියක් ගැන වාර්තා වේ. බී.එම්.ඩබ්ලිව්. එක්ස්-7 (BMW X7) වර්ගයට අයත් මෙම මෝටර් රිය සොරකම් කර ඇත්තේ කෲස් ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන ‘මිෂන්: ඉම්පොසිබ්ල් 7’ චිත්‍රපටයේ රූපගත කිරීම්වලට සහභාගි වෙමින් සිටියදීය. මෙම රූපගත කිරීම් සිදුවන්නේ බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් ප්‍රදේශයේයි.

ඉහත කී මෝටර් රථය ස්ටර්ලින් පවුම් 100,000ක් (ලංකා රුපියල් කෝටි 3ක්) පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රියකි. මෝටර් රිය සොරකම් කරගෙන ගොස් ඇත්තේ එය ග්‍රෑන්ඩ් හෝටලය ඉදිරිපිට නතර කර තිබිය දීය. ඊට ටික වේලාවකට පසු ස්මෙත්වික් නමැති නගරයේ තිබී එය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබේ. මෝටර් රථය සොරා ගන්නා අවස්ථාවේ ඒ තුළ පවුම් දහස් ගණනක් වටිනා භාණ්ඩ තිබී ඇත. නමුත් ඒවා සොයා ගැනීමට තවමත් නොහැකි වී ඇති බව මාධ්‍ය සඳහන් කර තිබිණි. මෝටර් රථයේ දොරවල් විවර කිරීම සඳහා සොරුන් අලුත් තාක්‍ෂණික ක්‍රමයක් භාවිත කර ඇති බව පොලිසිය පවසයි. ‘මිෂන්: ඉම්පොසිබ්ල් 7’ පසුගිය කාලයේ අතිශයින් ජනප්‍රිය වූ ‘මිෂන් ඉම්පොසිබ්ල්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටයයි. එහි රූපගත කිරීම් ආරම්භ වූයේ පසුගිය වසරේය. කොවිඩ් වසංගතය නිසා එම කටයුතු කිහිප වරක් අතරමැද නතර කිරීමටද සිදු විය. චිත්‍රපටය තිරගත කිරීමට නියමිතව ඇත්තේ 2022 වසරේ මැයි මාසයේය. සහන් වික්‍රමගේ
 

More News..