brand logo

ජනපති රනිලුත් මගේ ශිෂ්‍යයෙක්

20 August 2022

පාර්ලිමේන්තුවෙන් ජනපති තේරීම අර්බුදයට හොඳම විසඳුම නෙවෙයි

ජනපතිවරයා තෝරා ගන්නා ඡන්ද විමසුමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් යෝජනා කළේ ඩලස් අලහප්පෙරුමගේ නමය. එනමුත් එම පක්ෂයේ මහ ලේකම් ඇතුළු බහුතර මන්ත්‍රීන් ඡන්දය දුන්නේ රනිල් වික්‍රමසිංහට බව රහසක් නොවේ. ඒ අතරේ මහින්ද රාජපක්ෂ කීවේ තම අපේක්ෂකයා ඩලස් බවත් තමන් ඡන්දය දුන්නද ඔහු පරාජය වූ බවය. ඇත්තටම ජනාධිපතිවරයා තෝරන ඡන්දයේදී දේශපාලනයේදී තම පස මිතුරකු වූ රනිල්ට ඡන්දය දීමට පොහොට්ටුවේ සභාපතිවරයාත් නොදන්වා තීරණය ගත්තේ කවුද? මේ ඒ ගැන මහාචාර්ය ජී.එල්. පීරිස් සතිඅග අරුණ සමග කළ සාකච්ඡාවකි. ඇමැතිවරයෙක්, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විතරක් නොවෙයි, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තීරණ පිළිබඳ විශාදරයෙක් ලෙස ඔබ ප්‍රකටයි. ඔබට තේරෙන හැටියට පසුගිය දේශපාලන අර්බුදය හමුවේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ සොයාගත හැකි හොඳම විසඳුමද අපි දැන් සොයාගෙන තිබෙන්නේ? හොඳම විසඳුම කියා මම හිතන්නේ නැහැ. ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවක් තිබිය යුතුයි. පාර්ලිමේන්තු ක්‍රමයේ හරය එයයි. නමුත් වර්තමානයේ විශාල පරතරයක් තිබෙනවා. එය අහසයි පොළොවයි වගේ වෙනසක්. එම නිසා කිසිම ප්‍රශ්නයකට විසඳුම් සෙවීම අසීරුයි. පාර්ලිමේන්තුව හරහා ඕනෑම අර්බුදයකට විසඳුම් සෙවිය යුතුයි. ඊට අවශ්‍ය ප්‍රතිපත්ති හදන්නේ පාර්ලිමේන්තුවෙන්. ජන මතය පාර්ලිමේන්තුවේ නියෝජනය නොවීම නිසා නිසි පරිදි ප්‍රතිපත්ති සකස් කරන්න බැහැ. මෙවැනි තත්ත්වයක් මීට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිදුවී තිබෙනවාද? කිසිම දවසක සිදුවූයේ නැහැ. මෙය අද්විතීය අවස්ථාවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගෙන තිබෙනවා. දැන් ප්‍රධාන වශයෙන් ඔහුට එරෙහිව ඉදිරිපත් කරන විවේචනය තමයි ජන වරමක් ජනාධිපතිවරයාට නොමැති බව කීම. මෙම විවේචනය සාධාරණද? ඔව්. පොදුවේ රටේ තිබෙන මතය හා පාර්ලිමේන්තු මතය එකම විය යුතුයි. එවැනි පාර්ලිමේන්තුවක් අද නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිවලට පටහැනි ප්‍රතිපත්තියක් ජනතාවට ඉදිරිපත් කළා. එම නිසයි අපට ජනවරම ලැබුණේ. නමුත් එය උඩු යටිකුරු කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු එකසිය එකක් රනිල් වික්‍රමසිංහ මන්ත්‍රිවරයාට ඡන්දය ලබා දුන්නා. මට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග තරහක් නැහැ. ජනවරමට පටහැනි නිසා ඉදිරිපත් වන විවේචන සාධාරණයි. ජනතා අභිලාෂ ඉටුවන්නේ නැහැ. වත්මන් ජනාධිපතිවරයා කොළඹ විශ්වවිද්‍යාලයේදී ඔබගෙන් නීතිය ඉගෙන ගත්තාද? ඔව්, මගෙන් නීතිය ඉගෙන ගත්තා. මම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගෙන ලංකාවට පැමිණ උගන්වන වෙලාවේ පළමු ශිෂ්‍ය කණ්ඩායමේ ජනාධිපතිවරයාත් සිටියා. ඔබ යෝජනා කළ අපේක්ෂකයා වන ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා මාතර මනාප ලැයිස්තුවේ තුන්වැනියා. ඔහු ජනාධිපති වුණත් ජනාධිපති වීමට වුවමනා කරන ජනවරමක් නැහැ. මේ දෙන්නාටම ජනාධිපති වීමට ජනවරමක් නැහැ නේද? එහෙම කියන්න බැහැ. ඩලස් අලහප්පෙරුම මහතා මාතර දිස්ත්‍රික්කයේ ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණියේ. ජනතා වරමක් ඔහුට තිබෙනවා. අපි ඩලස් යෝජනා කරන්න පැහැදිලි හේතු තිබුණා. වර්තමානයේ අපේ රටේ දේශපාලනය හා දේශපාලනඥයන් දැඩි පරිහානියකට ලක්ව තිබෙනවා. එය පැහැදිලි කරුණක්. ඊට ප්‍රධාන හේතුව තමයි අල්ලස්, දූෂණ පිළිබඳ චෝදනා. හැබැයි විරල, දුර්ලභ චරිත කිහිපයක් තවම ඉන්නවා ඔය චෝදනාවට ලක් නොවන. ඉන් කෙනෙක් තමයි ඩලස් කියන්නෙ. 1994 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔහුට මෙවැනි චෝදනා එල්ල නොවීම තමයි අපගේ තේරීමට හේතු වුණේ. ඔහුට විරුද්ධ අය පවා එය අභියෝගයට ලක් කරන්නේ නැහැ. ඒ කියන්නේ ‘ක්ලීන් මෑන්’ සංකල්පය පිළිබඳවද? ඔව්. ක්ලීන් මෑන් කෙනෙක් තමයි අපි යෝජනා කළේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් කලක් ‘ක්ලීන් මෑන්’ කියල කිව්වා නේද? ජනාධිපතිවරයාටත් අල්ලස්, දූෂණ පිළිබඳ චෝදනා නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් පසු කණ්ඩායමක් ලෙස වැඩ කළ හැකි පුද්ගලයෙක් ජනාධිපති ධුරයට පත්වීමක් ගැන ජනතාව දන්නවා. ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරයා කණ්ඩායමක් ලෙස තීන්දු, තීරණ ගත්තේ නැද්ද? තනි තීරණ ගත්තේ. කණ්ඩායමක් ලෙස තීරණ ගත්තේ නැහැ. පොහොර ප්‍රශ්නය එකක්, විෂය පිළිබඳ දන්න අයගෙන් උපදෙස් ලබාගත්තේ නැහැ. එහෙම ගත් තීරණවලින් රටට ලොකු හානියක් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයෑමත් එවැනිම ප්‍රශ්නයක්. එවැනි නිදසුන් අනන්තයි, අප්‍රමාණයි. නමුත් රටට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍ය වී තිබුණා. ඩලස්ගේ නායකත්වයෙන් අපි කරන්න හැදු​වේ එයයි. පසුගිය වසර කිහිපය තුළ කැබිනට් ක්‍රමයත් බැහැර කරලා කටයුතු කර තිබුණා. ඔබ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා. ඔබ ජනාධිපති තනතුරට ඩලස්ව යෝජනා කරනකොට පක්ෂයෙන් අනුමැතිය ගත්තද? නැහැ. පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් කළ ප්‍රකාශයක් තමයි මෙම ගැටලුවට මූලික වූයේ. ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී රනිල් වික්‍රමසිංහට ඡන්දය ප්‍රකාශ කරන්න තීරණයක් ගත් බව ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියා. මම මෙය මාධ්‍යවල දැකපු ගමන් ලේකම්වරයාට ලිපියක් යොමු කළා. එම ලිපියෙන් මම ප්‍රශ්න හයක් ඉදිරිපත් කළා. මේ තීරණය ගත්තේ කවදාද, මොන රැස්වීමේදී ද වැනි ප්‍රශ්න තිබුණේ. අද වනතුරු මේ ප්‍රශ්න හයට පිළිතුරක් නැහැ. එවපු පිළිතුර එක වාක්‍යයකින් ප්‍රකාශ කර තිබුණා. ‘‘යථා කාලයේ පිළිතුරු එවනවා’’ පමණයි එම ලිපියේ තිබුණේ. තවද මගේ ලිපියේ ඇති කරුණු ප්‍රතික්ෂේප කරන බවද කියා තිබුණා. මගේ ලිපියේ තිබුණේ කරුණු නෙවෙයි, ප්‍රශ්න හයක්. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබාදීමට පක්ෂය සාකච්ඡා මාර්ගයෙන් තීන්දුවක් නොගත් බවයි... ඔව්. එවැනි සාකච්ඡාවක් තිබුණේ නැහැ. ඒකනේ පිළිතුරු දීමට මහ ලේකම්වරයාට නොහැකි වී තිබෙන්නේ. පක්ෂයේ කාගේ හරි තනි මතයට අනුව තමයි ඔය තීරණය ගත්තේ. පක්ෂයක් එහෙම කටයුතු කරන්න බැහැ. ඒ කියන්නේ පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවයි? ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ තීන්දුවද හොඳ නිදසුනක්. මෙය සාගර කාරියවසම් මන්ත්‍රිවරයාගේ හෝ පක්ෂයේ තීන්දුව නොවෙයි, තනි තීරණයක්. මහ ලේකම්වරයා මාධ්‍යයට කියන්නේ වෙන කවුරුහරි ගත් තීරණයක්. ඔහුට තීරණ ගැනීමේ බලයක් නැහැ. ඔහු තීරණ ගන්න කවදාවත් උත්සාහ කළෙත් නැහැ. පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා තෝරා ගැනීමේ යෝජනාවට කැමති වුණාද? පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපතිවරයා මාධ්‍යයට කළ ප්‍රකාශයෙන් ඔය ප්‍රශ්නයට පිළිතුරක් ලබාදුන්නා. ‘‘ඩලස් අපේ අපේක්ෂකයා. මම ඡන්දය දුන්නා. නමුත් පරාදයි’’ එය හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක්. පක්ෂය ලබාගත් තීන්දුව හිටපු ජනාධිපතිවරයාත් උල්ලංඝනය කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාත් පක්ෂ විනය උල්ලංඝනය කළාද යන ප්‍රශ්නය තියෙනවා. නමුත් මම හිතන්නෙ පක්ෂයේ තීන්දුවට පටහැනිව හිටපු ජනාධිපතිවරයා කටයුතු කළේ නැහැ. පක්ෂය තුළ වලංගු නීත්‍යනුකූල තීරණයක් තිබුණේ නැහැ. එය තමයි සත්‍යය. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා ඇතුළු ඔබගේ ඉදිරි දේශපාලන ගමන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග යන්න පුළුවන්ද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ අපේ අනන්‍යතාව අපි තහවුරු කරගන්නවා. එය කණ්ඩායමක් ලෙස අපි කරන්නේ. පක්ෂය තුළ එවැනි තත්ත්වයක් ඇතිවූ ප්‍රථම අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ විවිධ මත නියෝජනය කරන කණ්ඩායම් කිහිපයක් දැන් බිහිවෙලා තියෙනවා. අපේ මතය පක්ෂය තුළ මීට පෙර ඉදිරිපත් කිරීමට උත්සාහ කළත් අවස්ථාව නොලැබුණ බව එම කණ්ඩායම්ද ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසයි කණ්ඩායම් කිහිපයක් පක්ෂය තුළ බිහිවුණේ. පොහොට්ටුවේ දර්ශනය අපියි කියා රටට නියෝජනය කිරීම අපේ කණ්ඩායමේ මූලික පරමාර්ථයයි. ඒ දර්ශනය සෞභාග්‍යයේ දැක්ම තුළින් රටට ඉදිරිපත් කර තිබෙනවා. එම දර්ශනය, ප්‍රතිපත්ති විකෘති කරන කණ්ඩායමක් පක්ෂය නියෝජනය කරන බවට ජනතාව තේරුම් ගෙන තිබෙනවා. ඔබගේ කණ්ඩායමත් විමල් වීරවංශ මන්ත්‍රිවරයා ඇතුළු දේශපාලන පක්ෂ දහය බිහි කරන සන්ධානයට එකතු වෙනවද? අපි පළමුව කරන්නේ කණ්ඩායමේ අනන්‍යතාව පක්ෂය තුළ තහවුරු කරගැනීමයි. අපි සතිපතා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කණ්ඩායමේ ස්ථාවරය රටට කියනවා. අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් පසු අපි හුදෙකලාව කටයුතු කරන්නේ නැහැ. එය සාර්ථක ගමනක් නොවේ. පක්ෂයෙන් ඉවත් වූ අනෙක් කණ්ඩායම් සමගද අපි දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ අය සමග පොදු වැඩපිළිවෙළකට අවතීර්ණ වෙනවා. චීන නැව සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික ගැටලු මතුවී තිබෙනවා. ඔබ විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේද ඊට අවසර ලබාදුන්නේ? මෙම නැවට ලංකාවට එන්න අවසර ලබාදීමේ තීරණය අරගෙන තියෙන්නේ ජූලි දොළොස්වැනිදා. එවිට විදේශ ඇමැති මමයි. නමුත් දේශපාලන අර්බුදයක් රට තුළ තිබුණා. චීන නැවට හම්බන්තොටට ඇතුළු වීමේ අවසරය ලබාගැනීම ඇමැතිවරයා ලෙස මට ඉදිරිපත් කළේ නැහැ. අඩුම තරමේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරියටත් ඉදිරිපත් කර තිබුණේ නැහැ. අමාත්‍යාංශයේ තිබෙන නැගෙනහිර-ආසියා අංශයෙන් තමයි එම තීරණය අරගෙන තියෙන්නෙ කියලා මට ආරංචියි. එය හරිම පුදුම දෙයක්. මෙවැනි ප්‍රබල තීරණයක් ගැනීමට අංශයකට අවසරයක් නැහැ. එවැනි තීන්දු දේශපාලන නායකත්වයට යොමුකළ යුතුයි. විදේශ කටයුතු ලේකම් මගින් තමයි ඉදිරිපත් කළ යුතු වෙන්නෙ. එවැනි දෙයක් ඉටු නොවීම පුදුමයට කරුණක්. හැබැයි මේ ගැන පරීක්ෂණයක් කළ යුතුයි. පසුව නැව සම්බන්ධයෙන් ගත් තීරණ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට පටහැනියි. අවසරය ලබාදුන් පසු අවසරය කැන්සල් කිරීම සාධාරණ නැහැ. රටට මේ නිසා ගැටලු මතුවෙන්න පුළුවන්. සියලු රටවල් සමග එවැනි සබඳතාවලට මෙය ගැටලුවක්, පළුදු වීමක්. පාර්ලිමේන්තුවේ පැනවූ හදිසි නීති අවස්ථා රාශියකට ​ඔබ ඡන්දය දී තිබෙනවා. එහෙත් මෙවර හදිසි නීතිය පැනවූ අවස්ථාවේදී ඔබ ඊට එරෙහි වුණා. මේ ඉතා තීරණාත්මකව රාජ්‍ය ආරක්ෂාව බිඳ වැටුණු අවස්ථාවක්. මේ මොහොතේ මේ තීරණය ගත්තේ ඇයි? ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කිසියම් විෂයයක් සම්බන්ධයෙන් ඡන්දය ලබාදිය යුතු ආකාරය පිළිබඳව මන්ත්‍රිවරු දැනුවත් කරනවා. මේ අවස්ථාවේදීත් හදිසි නීතියට පක්ෂය ඡන්දය ප්‍රකාශ කරන්න කියා දැනුම් දී තිබුණා. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා ඇතුළු අපි කිහිප දෙනකු එය නොතකා හදිසි නීති යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදුන්නා. එය අහම්බෙන් කළ දෙයක් නොවෙයි. සැහැල්ලුවෙන් ගත් තීරණයක්ද නොවෙයි. අපේ රටට මේ අවස්ථාවේ හදිසි නීතිය කිසි ලෙසකින් අවශ්‍ය නොවන බව අපි තීන්දු කළා. සුදුසු තීරණයක් නෙවෙයි. පොලිසියට පාලනය කළ නොහැකි සිද්ධියකට මැදිහත් වීමට ත්‍රිවිධ හමුදාවට සාමාන්‍ය නීතිය යටතේ මැදිහත් වෙන්න පුළුවන්. හදිසි නීතිය ප්‍රකාශ කිරීම තුළින් රටට ලොකු හානියක් වුණා. විශේෂයෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන්. ජී.එස්.පී. සහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර ලබාගැනීමට එමගින් බාධා ඇතිවන අතර, ලබන මස ආරම්භ වන මානව හිමිකම් කොමිසමේ රැස්වීමේදී ද ගැටලු මතුවෙන්න පුළුවන්. නමුත් හදිසි නීතිය ලබන සතියේ ඉවත් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා? වෙන්න තියෙන දේවල් වෙලා ඉවර වුණ පසු හදිසි නීතිය ඉවත් කරලා වැඩක් තියෙනවාද? ලබන සතියේ ඉවත් කරනවා නම් පසුගිය සතියේ මාසයකට බලපැවැත්වෙන පරිදි සම්මත කරගත්තේ ඇයි? ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දහතුනක් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නිරීක්ෂකයන් හයදෙනකු හෙළා දැක නිවේදන නිකුත් කර තිබුණා. හදිසි නීතිය ඉවත් කිරීම හොඳ තීරණයක්. අරගල භූමියේ පැන නැගුණ ඉල්ලීමක් වෙන්නේ මහජන කවුන්සිලයක් පිහිටුවා එය රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගන්නා ලෙසයි. මෙය පාර්ලිමේන්තු ව්‍යූහයට එවැනි දෙයක් එක්කර ගන්න පුළුවන්ද? එවැනි මහජන කවුන්සිලයක් පත්කළ හැක්කේ උපදේශක සභාවක් ලෙසයි. සමහර රටවල විවිධ ක්‍රමවලට පත්කර තිබෙනවා. තරුණ පිරිස ඉදිරිපත් කරන අදහස් සාකච්ඡාවට භාජනය කිරීම ඉතාම වැදගත්. එම යෝජනාවලින් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක අවශ්‍යතාව දැඩිව ඉස්මතු වී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මහජන කවුන්සිලයට විධායක බලය ලබාදිය නොහැකියි. විධායක බලතල ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි හා හතරවැනි වගන්තිවලින් පැහැදිලි කර තිබෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා දරන උත්සාහය ගැන ඔබ හිතන්නේ මොනවාද? ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් දැනුම් දීලා තියෙනවා ආණ්ඩුවට එක් නොවන බව. පිටත සිට අධීක්ෂණ කමිටු, ආංශික කමිටු මගින් ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට දායක වීමට එම පක්ෂ සූදානමින් සිටිනවා. එම පක්ෂ ඇමැති ධුර භාරගන්නෙ නැහැ. කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරු හැත්තෑවක් විතර පත්කිරීම උචිත වන්නේ නැහැ. ජනතාව ඉන්නේ දැඩි ආර්ථික පීඩනයකයි. ජනතාවට තව තවත් බර පැටවීමක් මින් සිදුවන්නේ. ආණ්ඩුවට ඩොලර් මෙන්ම රුපියල්ද නැහැ. තිබෙන මුදල් ජනතාවගේ පෝෂණය සඳහා යෙදවිය යුතුයි. දැන් ඇමැතිවරු දහඅට දෙනෙක් රාජ්‍ය පාලනය ගෙන යනවා. රාජ්‍ය ඇමැතිවරු නැහැ. එම සංඛ්‍යාව ඇති. විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හතළිස් හත්වැනි වගන්තියේ තිබෙනවා ඇමැති ධුර ඊට වඩා පත් කළ හැකි බව. සීමාවක් නැහැ. ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව පාර්ලිමේන්තුව තීරණය කරන්න ඕන කියලා යෝජනා කර තිබෙනවා. තනතුරු බෙදා ගැනීම නොව, තනතුරු අවම කරමින් ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනය සමග ඔබ ගන්නා තීන්දුව කුමක්ද? විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනය සමස්තයක් ලෙස හොඳයි. අපි පක්ෂයි. එහි හතළිස් හත්වැනි වගන්තියට අපි විරුද්ධයි. ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් පත් කිරීමේදී පවතින ආණ්ඩුවට විශාල බලයක් තිබෙනවා. එම නිසා පත් කෙරෙන කොමිෂන් සභා ස්වාධීන වෙයිද කියා ප්‍රශ්නයක් තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරී‍මේ බලය වසර හතර හමාර දක්වා වැඩි කිරීමට ආණ්ඩු පක්ෂයෙන් කර ඇති යෝජනාවට මම විරුද්ධයි. ජනතාවට ආණ්ඩුවෙන් ඉටුවිය යුතු සේවාවන් ඉටුවන්නේ නැතිනම් කෙටි කාලයකින් අභිනව පාර්ලිමේන්තුවක් පත්කර ගැනී‍මේ අවස්ථාව ලබාදිය යුතුයි. සමස්තයක් ලෙස විසි දෙවැනි සංශෝධනයේ රටට අවශ්‍ය බොහෝ කරුණු ඇතුළත් වී තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ අවකාශයක් රටේ තවම නැහැ නේද? හෙට උදේට තියන්න බැහැ. නමුත් ජනතාවට ඉඟියක් දෙන්න ඕන මේ කාලයේ මැතිවරණය තියෙනවා කියලා. පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි. සැප්තැම්බර් විසි දෙකට පසු කොමිෂන් සභාවට බලය ලැබෙනවා. 2023 වසරේ මාර්තු 20ට පෙර මැතිවරණය පැවැත්විය යුතුයි. පළාත් සභා කල් දාපු ආකාරයට පළාත් පාලන මැතිවරණ්‍ය කල් දැමීමට අපි ඉඩ දෙන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණය යහපාලන කාලයේ ව්‍යාජ ලෙස කළේ. ඒ සෙල්ලම ම මෙවරත් කරන්න සූදානම් වෙනවලු. මැතිවරණවලට බයේ ආණ්ඩුවක් ගෙන යන්න බැහැ. දිගටම උප්පරවැට්ටි දාන්න බැහැ. නමුත් ඔබත් හිටපු කැබිනට් මණ්ඩලයම තමයි පළාත් සභා මැතිවරණයක් කල් දැමුවේ? කොරෝනා තත්ත්වය යටතේ වසරක කාලයක් කල් දැමුවා. ඒ කාලේ මැතිවරණය පැවැත්වූවා නම් කොරෝනා තවත් වැඩිවෙනවා. අවුරුද්දකට වඩා කල් දැමීමේ හැකියාවක් නැහැ. උදයජීව ඒකනායක
 

More News..