brand logo

ජනපති මෛත්‍රී සහ පිලිපීන ජනපති අතර හමුව පැවැත්වෙයි

16 January 2019

පිලිපීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා එක්ව සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩියුටර්ට්‍ මහතා අතර හමුව එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස්හි දී (Malacanang Palace) සිදුව තිබෙනවා. පිලිපීන වේලාවෙන් පස්වරු 4.00ට පමණ ජනපතිවරයා එම මන්දිරයට පැමිණ ඇති බවටයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් දෙපළ අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබෙනවා. ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් දෙපළ අතර ගිවිසුම් 6කටද අත්සන් තබා තිබෙනවා. ශ්‍රී ලංකා හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගෙන් පසුව පිලිපීනයේ නිල සංචාරයකට එක්වන පළමු ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා වන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. සිය සංචාරයේ දී පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ ලොස් බැනෝස්හි පවතින ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ සංචාරයකට ද ජනාධිපතිතුමා එක්වන අතර ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකා ඕ මහතා ද (Takehiko Nakao) ජනාධිපතිතුමා හමු වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. සිව්දින රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියා. මේ වසරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු විදෙස් සංචාරය මෙය වන අතර නව වසරේ පිලිපීනයට රාජ්‍ය නායකයෙකු පැමිණෙන පළමු අවස්ථාව ද මෙය වනවා.
 

More News..