brand logo

ජනපති මෛත්‍රිගේ අවසන් සති හතර

21 October 2019

ශ්‍රී ලංකාවේ අට වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා වන ඡන්ද විමසීමට තවත් සති හතරක පමණ කාලයක් ඉතිරිව තිබේ. එමෙන් ම එම සති හතර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ධුරයෙහි රැඳී සිටින අවසන් සති හතර ද වේ. එහෙයින්, ගතවෙමින් පවතින්නේ ‘තත්ත්වයන්හි’ වෙනස්කම් රාශියක් සිදුවෙමින් පවතින තීරණාත්මක ම කාල වකවානුවකි. එහෙයින් ගත වූ සතියේ ‘කැබිනට් රැස්වීමේ දී’ මෙන් ම ඉකුත් සතිය පුරා පැවැත්වුණු ‘ප්‍රචාරක රැස්වීම්වලදී’ත්, තීරණාත්මක මෙන් ම සුවිශේෂී සිදුවීම් ද සිදුවනු දක්නට ලැබිණි. ඒ අනුව ඉකුත් අඟහරුවාදා නවයට පමණ ජනාධිපති මෛත්‍රීපාලගේ නායකත්වයෙන් යුතුව රැස් වූ කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් යෝජනා 2 ක්ම  ඉදිරිපත් කරනු ලැබීය. ඉන් පළමුවැන්න වූයේ, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ පවත්වාගෙන ගිය ‘මහවැලි උපදේශක කාරක සභා කාර්යංශය’ පරිසර අමාත්‍යංශය භාරයට පත්කිරීමේ යෝජනාව ය. දෙවැන්න වූයේ ‘යාපනයට ගඟක්’ නමැති ව්‍යාපෘති යෝජනාව ය. කෙසේවෙතත් පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙකී යෝජනා දෙකටම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණි. එපමණක් ද නොවේ ; එම කැබිනට් රැස්වීමට ‘ජනාධිපතිවරයා වෙනුවෙන්’ යෝජනාවක් ඉදිරිපත් වීම ද විශේෂත්වයකි. මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවේ සඳහන් වූයේ, ජනාධිපතිවරයා දැනට පරිහරණය කරන පැජට් පාරේ පිහිටි නිල නිවස විශ්‍රාම ගැන්වීමෙන් පසුවත් ඔහුටම පැවරීමේ යෝජනාවකි. එයට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර එහෙයින් තවත් සති හතරකින් පසුව විශ්‍රාම ගැන්වෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තවදුරටත් පැජට් පාර නිල නිවසෙහි ම රැඳී සිටිනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය.
 

More News..