brand logo

ජනපති ප්‍රේමදාස මරපු ආකාරයටම ඒකාබද්ධයේ බිල්ලක් ගන්න ඩයස්පෝරාවෙන් පිල්ලියක්

09 March 2019

දකුණේ දේශපාලන වේදිකාවකදී දේශපාලන බිල්ලක් ගැනීමට කොටි ඩයස්පෝරාව හා දකුණේ පාතාල කල්ලි එක්ව කල මෙහෙයුමකට සම්බන්ධ බව කියන සාමිවරයකු ගැන රාජ්‍ය ඔත්තු සේවාව ඇතුළු බුද්ධි අංශ එක්ව විමර්ශනයක් අරඹා ඇත. මෙම සාමිවරයා මාර්ගයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ඉලක්කයක් ගැනීම එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලයේ දීර්ඝකාලීන සැලසුම වී ඇතැයිද විමර්ශන කණ්ඩායම් සැක පහල කර ඇත. උතුරෙන් දෙමළ පක්ෂයක් නියෝජනය කරමින් පසුගිය මැතිවරණවලට මෙම සාමිවරයා ඉදිරිපත්ව සිට ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමිනි. යළි ප්‍රති සංවිධානය වන එල්.ටී.ටී.ඊ. ජාලය ගැන පුලියන්කුලම් සිද්ධිය හරහා හෙළි වූ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවෙන් මෙහෙයවූ ආනන්ද රාජා, ශංකර්, වේන්ද්‍රන් (අප්පන්) කාර්තික් යන කණ්ඩායම් පිළිබඳව කරන විමර්ශනයකදී මෙම සාමිවරයා ගැන හෙළිවී ඇත. යළි නැගිටින කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධ විමර්ශන කරන අතරේ ප්‍රභූ ඝාතන ඉලක්ක සඳහා සූදානම් කර තිබූ බව කියන ක්ලේමෝ බෝම්බ දෙකක් කුට්ටිබේස් කොටි කඳවුරේ තිබී පුලියන්කුලම පොලිසිය හා ආරක්ෂක අංශ එක්ව සොයගෙන තිබිණ. මීට අමතරව මෙම කොටි ජාලයේ වේන්ද්‍රන් ආගිය නිවසක තිබූ ක්ලේමෝ බෝම්බයක් මඩකලපුවේ සිට පැමිණි කොටි ක්‍රියාකාරීන් විසින් ක්‍රියාකාරිත්වය පරීක්ෂා කර ඇතැයි හෙළිවී ඇත. මෙම විමර්ශනයේදී හෙළි වූ කොටි ත්‍රස්තවාදය යළි නැගිට්ටවීමට උත්සාහ කළ කාර්තික් නමැති කොටි ප්‍රබලයා හා සාමිවරයා එකට හිරගෙදර සිට ඇතැයිද හෙළිවී ඇත. මෙම සාමිවරයා කලක් කොළඹ ලොජ් (නවාතැන් පොළවල්) වල නැවතී සිට සාස්තර කියූ කෙනකුය. ජාත්‍යන්තර කොටි ජාලය සමග පාතාලය සම්බන්ධ කරදුන් වේන්ද්‍රන්වද සාමිවරයාට හමුවී ඇත්තේ අපරාධ චෝදනාවකට සිරගත වූ මොහොතේය. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කරන්නට බාබු නමැති කොටි ත්‍රස්තයා යෙදවූ ආකාරයට සාමිවරයා මාර්ගයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි දේශපාලන වේදිකාවකදී ප්‍රභූ ඝාතන සැලසුමකට මෙම සැලසුම කරන්නට ඇති බව බුද්ධි අංශ සැකකරන්නේය. එල්.ටී.ටී.ඊ.ය යළි ප්‍රති සංවිධානය වීමත් ස්වාමිවරයා හා දකුණේ පාතාලය සම්බන්ධ කරගෙන ප්‍රභූ ඝාතන සඳහා ඩයස්පෝරාව කළ දීර්ඝකාලීන සැලසුම කුමක්ද යන්නත් පිළිබඳව දීර්ඝ විමර්ශනයක් මේ වන විට ඇරඹී ඇතැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ ප්‍රධානියෙක් අනාවරණය කළේය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..