brand logo

ජනපති ප්‍රේමදාසගේ නිල රථය ගන්නට මිනීපෙට්ටි සාප්පුවට ගියෙමි

25 February 2020

හිටපු ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ වාහනය විකුණන්න දාලා යැයි ආරංචියක් අපට ලැබුණේ පසුගිය සතියේය. ප්‍රේමදාස මහතාගේ වාහනය යැයි කියූ විටම අප මතකයට ආවේ ඔහු විසූ සුචරිතය නිවස පිහිටි කෙසෙල්වත්ත පැත්තේ ජනතාව සම්මාදම් කර අරන්දුන් බව කියන මොරිස් මයිනරයයි. එහෙත් ප්‍රේමදාස මහතාගේ වාහනය විකුණනවා යැයි කියන පුද්ගලයාගේ අංකයට ඇමතූ විට අපට දැනගන්නට ලැබුණේ මෙය ටොයෝටා ක්‍රවුන් රථයක් බවත්, වාහනය තිබෙන තැන ගැන තව ටිකකින් පැවසිය හැකි බවත්ය. කතා කළ දිනයේ වාහනය ඇති තැන දැනගත නොහැකි වූ තැන පසුදින කාර්යාලයට පැමිණියේ, සුදු ෂර්ට් එකක් ලෑල්ලට මැද අත් දෙකකට කප්ලින් දමා එම රථය මිලදී ගන්නට යන නියම ගැනුම්කරුවකු ලෙසය. මේ රථය විකුණන්නට ඇත්තේ කොහේදැයි සිතින් මතක් කර බැලීමි. ප්‍රේමදාස මහතාගේ පියා උපන් කොස්ගොඩ, පියගම එතුමාගේ අඹන්පොළ වත්ත, ප්‍රේමදාස මහතාගේ අම්මාගේ ගම වූ පොකුණුවිටට එහා මීමන, මව්ගම, ඒත් නැත්නම් ෂුවර් එකටම මේ රථය ඇත්තේ සුචරිත මූලස්ථානයේ බව සිතමින් සිටින විට වාහනයේ අයිතිකරු කතාකොට වාහනය ඇති තැන පැවසුවේය. ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයාගේ රථය තිබුණ තැන අපට සිතාගත හැකිවත් නොවීය. එය තිබුණේ මිනී​ පෙට්ටි සාප්පුවකය. වාහනයේ හිමිකරු අප එනතුරු පෙරමග බලා සිටියේය. ඔහු අප පිළිගත්තේ මහත් ගෞරවයෙනි. මළසිරුරු සහිත පෙට්ටි තේජාන්විතව ගෙන යන රන්සිවිගේ මෙන්ම අති නවීනතම හර්ස් යැයි අප කියනා රථ සමග ශ්‍රී ලංකා ප්‍රජාත්‍රන්තවාදී සමාජවාදී ජනරජයේ දෙවැනි විධායක ජනපති තැන්පත් රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ 31 ශ්‍රී අංකැති දුඹුරු පැහැති කාර් රාජයා ගාල්කොට තිබුණේ තේජාන්විත ලෙසය. අද අප මිනී පෙට්ටි සාප්පුවක ගාල් කළත් එදා අප ජනපතිවරයකුට රජ පහස දුන් රාජකීය භාණ්ඩයක් යැයි කියන්නාක් මෙන් රථයේ වම්පස හෙඩ් ලයිට් එක ළඟ සවිකොට තිබුණ නිකල් ප්ලේටඩ් කොඩි කණුවේ සිංහ කොඩිය ලෙළදෙමින් තිබුණේය. යකාගේ ආච්චිගෙන් වාහනයක් ගන්නට ගියත් එය එළවා බැලිය යුතුය. මෙම රථයේ රනින් නම් ටිප්ටොප්ය. ඒ.සී. හොඳට වැඩය. ඉන්ටීරියර් නොම්බර එකය. පිටිපස්සේ සිග්නල් ලයිට් එකක විතරක් පොඩ්ඩක් පළුද්දක් තිබුණි. ‘‘අපිට ටොයෝටා ක්‍රවුන් වර්ගයේ හර්සුත් කීපයක් තියෙනවා. ඒවාට පාට්ස් ගෙන්නනකොට මේකටත් ගේන්න පුළුවන්. මගේ ගාණට ආවයි කියල මං මේක විකුණන්නේ නැහැ. මේකේ වටිනාකම දන්න කෙනෙකුට තමයි මම දෙන්නේ.’’ මෙම රථය මෙරටට ආනයනය කොට ඇත්තේ 1982දීය. එන්ජින් කැපෑසිටි එක 2000ccටත් වැඩිය. මෙය අවසන් වරට මිලට ගත් පුද්ගලයා පීපල්ස් ලීසිං ආයතනයෙන් ලීසිං එකක් දමා තිබී ඇති බැවින් වසර 38ක් පරණ වුවද මේ රථයේ කන්ඩිෂන් එක ගැන ඔබට සිතාගත හැකිවනු නියතය. මේ ටොයෝටා ක්‍රවුන් රථය දුටු සැණින් මතකයට ආවේ ආර්. ප්‍රේමදාස බූදල් නඩුවය. රණසිංහ ප්‍රේමදාස යනු කිසි දින රැකියාවක් කළ පුද්ගලයකු නොවේ. සුචරිත ව්‍යාපාරය මෙහෙයවීමෙන් පසු ඔහු තම ජීවිතය පටන් ගත්තේ නාගරික මන්ත්‍රීවරයකු ලෙසය. ඔහු උත්පත්තියෙන් පවුල් බලය, ධන බලය, කුල බලය කිසිවක් නැතුව රටක බලය ඇල්ලිය හැකි බව, ආසියාවේ පෙන්නුවේ වින්ස්ටන් චර්චිල් නම් නායකයාද පරදවමිනි. අල්පේච්ඡ නොහොත් චාම් දිවි පෙවෙතක උත්තරීතර බව ප්‍රේමදාස මහතා රටවැසියාට පැවසීය. උන්නාන්සේ පොහොයට පෙහෙවස් සමාදන් වෙමින් පෙන්නුම් කරේ තමන් යන තැනට පමණක් යමක් රැස් කරන බව නොවේද? එහෙත් ප්‍රේමදාස බූදලයෙන් කුලප්පු වුණේ ප්‍රේමදාස නම් නායකයා වටා වූ පාක්ෂිකයන්ය. මේ සියල්ලටම පටහැනි ලෙස බූදලයක් රැස්කොට ඇති ප්‍රේමදාස බැතිමතා තමන් රැවටූ වංචනිකයකු ලෙස පාක්ෂිකයන් කිහිප දෙනකුගේ ප්‍රකාශ ප්‍රේමදාස ඝාතන දිනවල ඇත්ත පත්‍රයේ පළවූයේ පොල් ගෙඩි හෙඩ්ලයින්ද සමගය. ප්‍රේමදාස බූදල් නඩුවේ විජේරාම මාවතේ අංක 93 දරන තැන පිහිටි රූඩ් 1කුත් පර්චස් 4.94ක් වූ දේපොළ තක්සේරු කළේ රු. 9,98,630කටය. ප්‍රේමදාස බූදල් නඩුවේ චංචල දේපොළ ලෙස වාහන කීපයක්ම ඇත. එහි 15 ශ්‍රී බෙන්ස් මෝටර් රථ ය වටිනාකම රු. 810,000, 15 ශ්‍රී ප්‍රොටෝන් සාගා මෝටර් රථය රු. 105,000, ඊ.එන්. 1952 මොරිස් මයිනර් කාරය රු. 20,000, 32 ශ්‍රී පැජරෝ රථය රු. 71,500කට චංචල දේපොළ ඇස්තමේන්තු කොට තිබුණත් මෙම ටොයෝටා ක්‍රවුන් රථයේ වටිනාකම එහි පැහැදිලිව සටහන් කොට නැත. රු. 60,000ක් වටින මුදු 5ක් ගැන නම් එහි පැහැදිලිව සටහන් කොට ඇත. විනෝදයට කාර් එකතු කරන පිරිස් හඳුන්වන්නේ 'Car Collectors' ලා ලෙසය. එවන් විනෝදකාමියකු සතුව මරදානේ තිබුණේ නොබැඳි ජාතීන්ගේ සමුළුවට සිරිමාවෝ බණ්ඩාරනායකත්, ඉන්දිරා ගාන්ධිත් පාවිච්චි කළ රථයයි. වරක් ඉන්දියාවේ මහරාජා කෙනකු මේ රථය ගැන දැනගෙන ඔහු සොයාවිත් රුපියල් කෝටි පහකට මෙම රථය ඉල්ලුවත් එය විකිණීම ඔහු ප්‍රතික්ෂේප කරන ලදී. 1982දී ටොයොටා ක්‍රවුන් රථයක මිල කීයදැයි පරණ පුවත්පත් පෙරළා සොයා බැලුවේ නැතිනම් ටිකක් කට කහනවා වගේය. ඒ සන්දියේ මේ රථයක් අන්රෙජිස්ටර්ව රුපියල් ලක්ෂ 4ක් වත් නැත. එහෙත් මේ රථය ලක්ෂ ගණනක් ගෙවා ප්‍රේමදාස මහතා මිලදී ගත්තා යැයි ඔබ​ නොමග යායුතු නැත. ඊට හේතුව මෙම රථය ප්‍රේමදාස මහතා ආනයනය කොට ඇත්තේ රටේ එවකට අගමැතිවරයා ලෙස තමන්ට ලැබුණ තීරුබදු රහිත නොහොත් ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍රයට පින් සිදුවන්නට නිසාය. රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ මේ වාහන රාජයා අලෙවි කරන්නේ මිලියන කීයකටදැයි අප ඇසුවේ එය අදහාගත නොහැකි විශාල මුදලක් විය හැකි නිසාය. මෙම රථයේ වත්මන් හිමිකරුගේ සිත් අප කොතරම් දිනාගෙන සිටියාදැයි කිවහොත් මෙම ටොයොටා ක්‍රවුන් රථය රුපියල් ලක්ෂ නවයකට ලබාදීමට කැමති බවත්, මගේ ඔපර් එක ​නොහොත් ඉල්ලන මිල කීයදැයි විමසා සිටියේ රථයේ බොනට්ටුව හැර පෙන්වමිනි. අප එතැනින් නික්මීමට පාර කපාගත්තේ පසුදින ඩීසල් වාහන ගැන දන්නා හොඳ බාස් කෙනකු එක්කගෙන එන පොරොන්දුවටය. ඊටත් වඩා මෙම මල් ශාලාව ඉදිරිපිට සිටියදී ඒ අසලින් කාර්වල හා බස්වල ගමන්ගත් මිතුරන් අතොරක් නැතුව ‘‘කවුද මලේ! මළ ගේ කවදැයි?, උදව්වට අපිත් බහින්නද, බොඩි එක ඔය අරන් ආපු ගමන්දැයි’’ නොනවත්වා ජංගම දුරකථනයට ඇමතුම් ඒම මහා හිසරදයක් විය. රණසිංහ ප්‍රේමදාස ලේඛකයකු විය. එතුමාගේ පොත් සියල්ලෙහි ප්‍රකාශකයා වූයේ දයාවංශ ජයකොඩිය. මේ කාරය ගැන රසවත් සිදුවීමක් ප්‍රේමදාස මහතාගේ ‘ගොලු මුහුද’ නම් ඓතිහාසික නවකතාව මුද්‍රණය කරන අවස්ථාවේ සිදුව ඇත. ‘‘මම පොතේ පෲෆ් එක අරගෙන සුචරිතයට ගියා. මාවත් ඔය වාහනේ දාගෙන පාර්ලිමේන්තුවට යන්න සුචරිතේ ගාවින් වාහනය පාරට දැම්මා. ඩී.අයි.ජී. කෙනෙක් බත් එකක් අරගන්න පාර පනින්න ආපු මිනිහෙක්ව නවත්තලා, ප්‍රේමදාස මහත්තයාගේ වාහනේ ගන්න කිව්වා. ප්‍රේමදාස මහත්තයා වාහනය නවත්තලා වීදුරුව ඇරලා ඩී.අයි.ජීට බැන්නා.’’ ‘බලනවා අර මනුස්සයා බත් එක අරන් ගිහින් කුසගින්න නිවාගන්න ගියේ. තමුසේ මං හින්දා මිනිහව නැවැත්තුවා. මිනිහා දැන් සාප කරන්නේ මටයි.’ රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජාතික ඇඳුම් මැසීමේ කටයුතුව භාරව සිටියේ සුනිල්ය. ප්‍රේමදාස අඳින සූට් එකට සුර තුන තුන බැලන්ස් කර ඇත්තේ මේ සුනිල්ය. ටොයෝටා ක්‍රවුන් එකේ පින්තූරයක් පෙන්වා මා සුනිල්ගෙන් එහි විස්තරයක් ඇසුවෙමි. ඔහු පැවසුවේ මේ රථය බොහෝ විට තිබුණේ ප්‍රේමදාස මහතාගේ අඹන්පොළ වත්තේ බවය. ‘‘ඔන්න, මේ ඉන්නේ සුලෙයිමන් මහත්තයා. ප්‍රේමදාස මහත්තයාගේ සිකියුරිටි ඩී.අයි.ජී. සර්. සර්ට මතකද මේ වාහනය?’’ සුනිල් තමන් හමුවට ආ පුද්ගලයකුට මා ගෙන ගිය ඡායාරූපය පෙන්නුවේය. ‘‘මං තමයි ප්‍රසිඩන්ට්ගේ ආරක්ෂක අංශය මෙහෙයවූයේ. කොහෙද මේක දැන් තියෙන්නේ? ඔය පර්මිට් එකට සර් මුලින්ම ගෙනාපු කාර් එක.’’ මේ රථය ගැන දැනගන්නට ප්‍රේමදාස මහතාගේ සුචරිතය අසලම ජීවත්වන යූ.ඇල්. සෙනෙවිරත්න නම්, අප යන හැමවිටම ගමනක් ගොස් සිටි නිසා මේ ගැන විමසීමට නොහැකිය. ප්‍රේමදාස මහතාට ජනතාව මුදල් එකතු කොට අරන් දුන් වාහනය අපට දැකගත හැකි විය. ඒ ගැන, වයස 90ද ඉක්මවූ වැඩිහිටියකු කිව්වේ මෙසේය. ‘‘ඔය අපේ පැත්තේ මිනිස්සුන්ට ඒ කාලේ ප්‍රේමදාසට කාර් අරන් දෙන්න මොන සල්ලිද? මේ කෙසෙල්වත්තේ හැමතැනම ඒ කාලේ රා පොළවල්. ඒවා ප්‍රේමදාස වැස්සෙව්වා සුචරිතෙන්. ඒ කාලේ කාර් ගන්න බෑ, විනිමය ප්‍රශ්න. මෙන්න යකෝ! ප්‍රේමදාසට කාර් එක අරන් දීල ටික දවසකින් අරක්කු බාර් ඇරියා. තේරෙනවනේ කාර් එක කොහෙන්ද කියලා!’’ වජිර ලියනගේ ඡායාරූපය - ක්‍රිෂාන් කාරියවසම්
 

More News..