brand logo

ජනපති නියෝගය නොතකා 19 යේ එල්ලී පොලිස්පති ඉවත් නොවන ලකුණු

27 April 2019

පොලිස්පති පූජිත් ජයසුන්දරට සිය තනතුරින් ඉල්ලා අස්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇතත් ඔහු තනතුරින් ඉවත් නොවීමට තීරණය කර තිබේ. තනතුරින් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා පැවසූ අවස්ථාවේ පොලිස්පතිවරයා ඊට එකඟතාවද පළ කර ඇත. පසුව පොලිස්පතිවරයා කථානායක හමුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිටම පොලිස්පති පත් කළ හැකි වුවද තනතුරින් ඉවත් කළ නොහැකි ය. ඒ අනුව පොලිස්පති ඉවත් කිරීමට හැකියාව ලැබෙන්නේ 2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනතට අනුව රාජකාරිය නොසලකා හැරීමට වරදකරුවකු වුවහොත් පමණි. ඒ අනුව පොලිස්පතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් එකට නොඅඩු පිරිසක් අත්සන් කළ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර බහුතර ඡන්දයෙන් සම්මත කර ගත යුතු වේ. අදාළ කමිටුව ජාතික පොලිස් කොමිසමේ සභාපති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු සහ නීතිපති රාජ්‍ය පරිපාලන කළමනාකරණ පිළිබඳ විද්වතකුගෙන් සමත් විය යුතුය. එම කමිටුව පොලිස්පති ඉවත් කළ යුතු බවට තීරණය කළහොත් එම තීරණය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසු ජනාධිපතිවරයා යොමු කිරීමෙන් පසු පොලිස්පති ඉවත් කළ හැකිය. කෙසේ වෙතත් පොලිස්පතිවරයා ඉවත් කිරීමට නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ හැක්කේ නැවත පාර්ලිමේන්තුව රැස්වන මැයි 07 වැනිදායින් පසුවය. කෙසේ වෙතත් පොලිස්පතිවරයා ඉල්ලා අස් නොවුණහොත් ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට නියමිත බවද වාර්තා වේ. චමින්ද සේනාරත්න
 

More News..