brand logo

ජනපති නියමයෙන් නාලක සිල්වා ගැන පරීක්ෂණ CID යට

15 September 2018

“මට පොලිස්පති වෙන්න පුළුවන්“ -  නාලක කිව්ව බව නාමල් කියයි පාතාල නායක මාකදුරේ මධූෂ් ලවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනයට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශන ආරම්භ කර තිබේ. දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පසුගිය 12වැනි දින මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ  ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා තමන්ට එම යෝජනවා කළ බවයි. "මම යම් ත්‍රස්තවාදී කටයුත්තක් පිළිබදව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දුන්නා ඔහු මට ත්‍රස්ත විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා සම්බන්ධකර දුන්නා. මම ඔහුත් සමග කටයුතු කරන කොට රොහින්ගයා  සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මගෙන් උදව් ඉල්ලුවා. ඒ වෙලාවේ ඔහු කිව්වා මේ අය අත්අඩංගුවට ගත්තොත් මට පොලිස්පති වෙන්න පුළුවන් කියලා. තව අවස්ථාවක කිව්වා ජනාධිපති විශ්වාස කරන්න බෑ අගමැතිවරයාට ලකුණු වැටෙන්න වැඩ කරන්න කියා. 2020දී ගෝඨාභයයි මෛත්‍රීපාල ජනාධිපතිවරයයි එකතුවෙනවා. ජනාධිපති හා අගමැති අතර ගැටුමක් තිබෙනවා. අපට බැරිම අවස්ථාවක් ආවොත් 2020 ළංවෙනකොට ගෝඨාභයටයි මෛත්‍රීපාලටයි, මාකදුරේ මධූෂ් කියන පාතාල නායකයා යොදවාල කරන්න පුළුවන් දෙයක් කරන්න කියලා කිව්වා." යැයි නාමල් පැවසීය. මේ සම්බන්ධයෙන් පසුගිය 13වැනි දින ඔහු ජාතික පොලිස් කොමිසමටද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයා නියෝග කිරීමත් සමග නාමල් කුමාරගෙන් පැය 4ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. මෙම තත්ත්වය මත ඊයේ (14වැනිදා) රාත්‍රියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ කටයුතු බාර කරන ලෙසටයි. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මේ වන විට ජාතික පොලිස් කොමිසමද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඔහුට පොලිසියට ඇතුළත් වීම සදහා අවශ්‍ය සුදුසුකම් පවා නොමැති බවට තොරතුරු ලැබෙන හෙයින් ඊට අදාළ ලිපි ගොනු කොමිසමට ලබා දෙන ලෙසට පොලිස්පතිවරයාට දැනුම් දී ඇතතත් මෙතෙක් එය ලබා දී නොමැත. අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය අසමත්බවටත්, පොලීසියට බැදීමට නියමිත උස වූ අඩි 5 අගල් 2ක ප්‍රමාණය නොමැතිව සහකාරී පොලිස් අධිකාරීවරයකු ලෙස ඔහු බදවාගෙන ඇති බවටත් නැගෙන චෝදනා සම්බන්ධයෙන් කොමිසම මේ වන විටත් විමර්ශන සිදු කරයි.
 

More News..