brand logo

ජනපති ගෝඨාභයගේ රහස් ගමන්

22 December 2019

ජනාධිපති ගෝඨාභය පසුගිය සතියේ සිට ගජබා රජුත්, කුමාරදාස රජුත් අනුගමනය කළ ‘රහස් ගමන්’ ක්‍රමවේදය අනුගමනය කරන්නට පටන්ගෙන ඇති බව පෙනේ. එහෙත් ඔහු ‘රහස් ගමන්’ යන්නට පටන්ගෙන තිබෙන්නේ ගජබා - කුමාරදාස රජවරුන් මෙන් රාත්‍රි කාලයේදී වෙස්වලාගෙන නොවේ. දහවල් කාලයේදී පියවි ප්‍රතිරූපයෙනි. එහෙත් එම ගමන් වල අරමුණ නම් එකය. ඒ තමන් පාලනය කරන රටේ රටවැසියන් විඳින ගැහැට කරදර පිළිබඳ සොයාබැලීම ය. ‘‘රාජ්‍ය ආයතන හරිම අකාර්යක්ෂමයි කියල බලවත් චෝදනාවක් තියෙනවා... ඒ වගේම බදු අඩු කළාට වෙළඳපොළවල් වල බඩු මිල අඩුවෙලා නෑ කියලත් චෝදනාවක් තියනවා... ඒ හින්දා මමම පුළු පුළුවන් වෙලාවට රාජ්‍ය ආයතන වලටත් වෙළඳ පොළවල් වගේ මහජනතාව සේවය ලබාගන්න තැන් වලටත් නොදන්වා ගිහින් ඒවායේ තත්ත්වය හොයා බලන්න ඕන...’’පැවසූ ජනාධිපතිවරයා සඳුදා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සමග මුලින්ම මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ගොඩවැදුණේ ය. එම ‘රහස් ගමනේ’ දී ජනාධිපතිවරයා නොසතුටු නොවූයේ ය. විශේෂයෙන් ම ඒ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ‘බිම් සවිය’ ව්‍යාපෘතියේ ප්‍රගතිය ඉතා සතුටුදායක මට්ටමක පැවතුණු නිසාය. 2008 වර්ෂයේ ඇරඹී තිබුණු එම ව්‍යාපෘතිය හරහා මේ වන විට නිරවුල් ඔප්පු නොතිබුණු ඉඩම් හිමියන් අසූ දහසකට අධික සංඛ්‍යාවකට ඉඩම් හිමිකම් පත් ලබාදී තිබුණි. එමෙන්ම එම ඉඩම් වලට පිඹුරු පත් සකස්කර දීමද, මායිම් සකස් කරදීම ද නොමිලේ ම සිදුකර දී තිබුණි. ‘‘මේ දෙපාර්තමේන්තුවේ කටයුතු ගැන මම ඉතාම සතුටු වෙනවා... මම දන්නවා ඔයාලට අත්‍යවශ්‍ය පහසුකම් පවා නැතුව වැඩ කරන්නෙ කියලා... රාජ්‍ය සේවකයො හැටියට ඔයාලා වැඩ කරන්නෙ රටට... රටේ ඉන්න දුප්පත් අසරණ මිනිස්සුන්ට... අපහසුකම් මධ්‍යයේ වුණත් ඔයාලා මේ රටටත්, මිනිස්සුන්ටත් සේවය කරන්න කැපවීම ගැන ස්තූතියි...’’ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් පිටත්ව යාමට කලින් ජනාධිපතිවරයා එහි නිලධාරීන්ට කීවේ ය. මේ ආකාරයට ජනාධිපතිවරයා බදාදා ‘රහස් ගමන’ ගියේ, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට ය. මෙහිදී ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබුණේ, ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීමත්, වැට් බදු සහනය ලබාදීමත් මත ‘සහල් මිල’ අඩුවී ඇද්දැ’යි යන්න පරීක්ෂා කිරීම ය. ඒ අනුව හදිසියේම සහල් වර්ග ගණනාවක් තොග වශයෙන් මුදාහරින තොග වෙළඳසැලකට ගොඩවැදුණු ජනාධිපතිවරයා එහි ‘කැෂියර් පුටුවේ වාඩි වී’ සහල් මිල ගණන් පරීක්ෂා කිරීමට පටන්ගත් අතර එකී මිල ගණන් වල සාධාරණ අසාධාරණභාවය පරීක්ෂා කිරීමට රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුද දුරකථනයෙන් සම්බන්ධ කරගත්තේ ය. කෙසේවෙතත් ජනාධිපතිවරයා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට ගිය ‘රහස් ගමනේදී’ ඇසූ දුටු දේ සතුටුදායක වූයේ නැත. ඒ සහල් වෙළෙන්දන් සහල් වලට හිතූ හිතූ මිල ගණන් නියම කර තිබෙන බව පෙනෙන්නට වූ නිසා ය. ‘‘සිල්ලරට විකුණන හැම හාල් කිලෝ එකක්ම රුපියල් සීයට වඩා වැඩි මිලට අලෙවි වන බව පේනවා... ඉක්මනින් මේ ගැන හොයලා බලන්න... සහල් මෝල් හිමියන්ගේ ඉඳන් සිල්ලර කඩ වෙළෙන්දා දක්වා නියමිත මිල ගණන් දැනුම් දෙන්න වැඩපිළිවෙළක් හදන්න... එහෙම නැත්නම් ආණ්ඩුව බදු අඩු කළාට ඒ සහනය මිනිස්සුන්ට දැනෙන්නෙ නෑ...’’ ජනාධිපතිවරයා ‘කඩේ ඉඳන්’ ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට දැනුම් දුන්නේ ය. ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් ඉකුත් බ්‍රහස්පතින්දා පටන්ම වෙළඳසැල් වෙත ගොඩවැදෙමින් සහල් අලෙවි වන මිල ගණන් පරීක්ෂා කිරීමටත්, අවශ්‍ය උපදෙස් ලබාදීමටත් පටන්ගත්තේ ය. මේ ආකාරයට ජනාධිපතිවරයා ක්‍රියාවට නැංවූ ‘රහස් ගමන් ක්‍රමය’ නිසා කම්මැලි වී තිබෙන රාජ්‍ය සේවය කඩිසර වන්නේ නම්, කළුකඩ කරන සියලුම සේරිවාණිජයින් යහපත් කච්ඡපුටයින් බවට පරිවර්තනය වන්නේ නම් හොඳ ය.
 

More News..