brand logo

ජනපති ගෙදර යන ගමන් නිල නිවසත් අරන් යයි

26 October 2019

එක්දහස් නවසිය හැටේ මාර්තු මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වන විට විජයානන්ද දහනායක අගමැති පුටුවෙන් පමණක් නොව ගාලු ආසනයෙන්ද විසි වී සිටියේය. ප්‍රතිඵල ඇසූ ඔහු අගමැති නිල නිවස වූ අරලියගහ මන්දිරයේ දොරකඩට ආ​වේ මාස කීපයකට පෙර අගමැති ධුරයට පත්වූ මොහොතේ එන විට රැගෙන ආ සූට්කේසය පමණක් ඇතිවය. ‘ඡන්දය පරාදයි. මට ගෙදර යන්න වාහනයක් හොයලා දෙන්න’ පුළුවන්දැයි ඔහු අගමැති ලේකම් බ්‍රැඩ්මන් වීරකෝන්ගෙන් ඇසුවේය. අලුත් අගමැති කෙනෙක් තවම පත්වෙලා නෑ. සර් තාම අගමැතිනේ. නිල වාහනයෙන්ම ගෙදර යන්නැයි අගමැති ලේකම්වරයා පැවසීය. අගමැතිකමින් සමුගත් දහනායක අරලියගහ මැදුරෙන් මීට පනස් නව වසරකට ඉහතදී එළියට බැස ගිය ආකාරය ගැන තකහනියේම අපට සිහිපත් වූයේ විශේෂ හේතුවක් නිසාය. ඒ තව දෙතුන් සතියකින් පැන්ෂන් යන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විශ්‍රාම යාමට පෙරම සිය විශ්‍රාම දිවිය සැපෙන් සතුටින් ගත කිරීමට හිමිකරගෙන ඇති පැකේජය නිසාය. බෝල්පොයින්ට් පෑනින් අත්සන් කරමින් ජනපති පදවිය භාරගත් මෛත්‍රිපාල සිරිසේන වසර පහකට පසු විශ්‍රාම යන විට ඔහුට හිමිව ඇත්තේ මෙතෙක් කිසිදු රජයේ සේවකයකුට හෝ ජනපතිවරයකුට නොලැබුණු වරප්‍රසාද ගොන්නක් සමගය. මුදල් ඇමැතිවරයා වූ මංගල සමරවීර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ හැටියට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විශ්‍රාම ගැනීමෙන් පසු ඔහුට තවදුරටත් විශේෂ කාර්ය බළකායේ දැඩි රැකවල් ලැබේ. කලකට ඉහතදී කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා පදිංචිව සිටි නිවස ඇතුළු නිවාස තුනක් කඩා එක්කර හැදූ දැනට ජනාධිපතිවරයා වාසය කරන කොළඹ මහගම සේකර මාවතේ පිහිටි නිල නිවස එම දීමනා පැකේජයට අයත්ය. ජනාධිපතිවරයාට දීමට නියමිත එම නිල නිවස ප්‍රතිසංස්කරණයට පමණක් ලක්ෂ 1800කට ආසන්න ප්‍රමාණයක් වැය වී තිබේ. තවද එහි ආසන සහිත සම්මන්ත්‍රණ ශාලාවක්ද ඇත. එහෙත් විජයානන්ද දහනායක 1959දී අරලියගහ මැදුරේ පදිංචියට ආ විට ඔහු තමාට මේ සා විශාල කාමරයක් ලොකු වැඩි බව කියමින් එය ප්‍රතික්ෂේප කළේය. ඒ එදා සිටි අගමැතිවරුන්ගේ හැටිය. කෙසේ නමුදු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පැකේජය නිල නිවසින් පමණක් නතර වන්නේ නැත. ඔහු වෙනුවෙන් වෙනම කාර්යාලයක් සහ කාර්ය මණ්ඩලයක්ද වාහන හා පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂක භට පිරිසක්ද දීමට නියමිත බව දැනගැනීමට ලැබිණි. විශ්‍රාම ගැනීමටත් පෙර සිටම ජනපතිවරයා සිය විශ්‍රාම දිවිය වෙනුවෙන් වරප්‍රසාද වෙන්කර ගත්තාද? පොතේ හැටියට නම් එය කළ යුතු ක්‍රමය ගැන නඩු තීන්දුවක්ද ඇත්තේය. 1986 ජනාධිපතිවරයාගේ හිමිකම් පනත යටතේ විධායක බලය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 2007 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් මගින් විශ්‍රාමික ජනාධිපතිවරයකුට ලැබෙන වරප්‍රාසද අවධාරණය කර ඇත. ඒ ගැන කතා කිරීමට පෙර ලංකාවේ ජනපතිවරුන්ගේ විශ්‍රාම දිවියෙන් ඔවුන් ලද වරප්‍රසාද ගැන දැන ගැනීම වටී. ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරයා විලියම් ගොපල්ලවය. 1972 වසරේ සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ඔහු 1978 වසර වන තෙක් ජනාධිපති ධුරය හෙබවීය. වසර අටක සේවා කාලයට සමුදී විශ්‍රාම ගත් විට ඔහුට ආණ්ඩුවෙන් ලැබුණේ මෝටර් රථයක් පමණි. 1978 දී ඔහු විශ්‍රාම ලැබුවේ අලුත් ව්‍යවස්ථාවකින් විධායක ජනපතිවරයෙක් පැමිණි නිසාය. මෙම ව්‍යවස්ථා සංශෝධනයෙන් විශ්‍රාමික ජනාධිපතිවරයකුගේ වරප්‍රසාදද තහවුරු කර තිබිණි. විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමි වන්නේ විශ්‍රාමික දීමනාවකි. නිල කාර්යාලයක් සහ කාර්ය මණ්ඩලයක්ද හිමිය. නිල රථ හා ආරක්ෂක රථ හිමි අතර ඉන්ධන දීමනාවටද හිමිකම් කියනු ලැබේ. එහෙත් විශ්‍රාම ගිය ජනාධිපතිවරයකුට සිය නිල කාලයේදී මෙන් උඩින් යාම සඳහා හෙලිකොප්ටර් ලැබෙන්නේ නැත. ඇය හෝ ඔහුට හෙලිකොප්ටරයක් අවශ්‍ය නම් ඒ සඳහා ගුවන් හමුදාවට මුදල් ගෙවිය යුතුය. අවශ්‍ය නම් ආරක්ෂක අමාත්‍යාංශ අනුමැතිය යටතේ ගුවන් ගමන් පහසුකම් ලබාගත හැකිය. රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස හිටපු ජනපතිවරයකුට විදේශ සංචාරයකට ආරාධනා ලැබුණහොත් ඒ සඳහා අවශ්‍ය දීමනාද විශ්‍රාමික ජනාධිපතිවරයාට හිමිය. ජනපතිවරයකු ධුරය දරද්දී හෝ විශ්‍රාම ලැබූ පසු ඔහු හෝ ඇය මිය ගියේ නම් වැන්දඹුවට විශ්‍රාම දීමනාවෙන් තුනෙන් දෙකක්ද කාර්යාලය, කාර්ය මණ්ඩලය හැර විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමි සියලු වරප්‍රසාද හිමිය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙසේ විධිවිධාන පනවා ඇත්තේ විශ්‍රාම ලැබූ ජනාධිපතිවරයකුගේ අභිමානය ආරක්ෂා කිරීමටය. ඒ සඳහා නීති හැදූ ජේ.ආර්. ජයවර්ධන 1989 වසරේ විශ්‍රාම ගියේය. ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන 78 ව්‍යවස්ථාවට අන්තර්ගත කළ සියලු වරප්‍රසාද හිමි විය. එහෙත් ඔහු කිසිදු විටක නිල නිවසක් නොගත්තේය. ඔහු ජනාධිපති ධුරය දරන කාලයේත් විශ්‍රාම ගිය පසුත් ජීවත් වූයේ වෝඩ් පෙදෙසේ පිහිටි සිය පෞද්ගලික නිවස වූ බ්‍රිමාර් මැදුරේය. නිල නිවස හැරුණු කොට ඔහු ගත්තේ නිල රථයක් ආරක්ෂකයන් හා ලේකම්වරයෙක් ඇතුළු කුඩා සේවක පිරිසකි. ඔහු මිය ගිය පසු ඔහුගේ කාර්යාලය සහ කාර්ය මණ්ඩලය අහෝසි විය. නමුත් ජයවර්ධන ආර්යාවට නිල රථය සහ ආරක්ෂාව ලැබිණි. ජේ.ආර්. ජයවර්ධනගෙන් පසු ජනාධිපති ධුරයට පත්වූ​යේ රණසිංහ ප්‍රේමදාසය. එහෙත් ඔහුට ජනපති ධුරය නිල කාලය සම්පූර්ණ කිරීමට ඉඩ නොලැබිණි. එහෙත් 1993 වසරේ මැයි පළමු වැනි දින ඔහු ඝාතනයට ලක්විය. ඒ වන විට ඔහුගේ නිල ධුර කාලයෙන් වසරක් ඉතිරිවී තිබිණි. විශ්‍රාම යාමට පෙර ඔහු ජීවිතයෙන් සමුගත්තද විශ්‍රාමික ජනාධිපතිවරයකු මියයාමෙන් පසු බිරිඳට ලැබෙනා වරප්‍රසාද හේමා ප්‍රේමදාසටද හිමි විය. එනම් විජේරාම මාවතේ නිල නිවසක් නිල රියක් හා ආරක්ෂකයන් ඇයට ලැබිණි. ජනාධිපති ඝාතනයෙන් පසු ජනාධිපති ධුරය වූයේ ඩී.බී. විජේතුංගය. ඔහුගේ නිල කාලය වසරක් විය. එනම් 1993 වසරේ මෙරට ජනාධිපති ලෙස තේරී පත් වූ විජේතුංග ජනාධිපතිවරයා 1994 විශ්‍රාම ගත්තේය. ඔහුට ලැබුණ නිල නිවාස සහ කාර්යාලය කොළඹ 05 පැජට් පාරේ පිහිටා තිබුණද එහි පදිංචියට නොගියේය. විශ්‍රාම ගිය ඔහු පදිංචි වූයේ සිය ගම වූ පිළිමතලාවේ මහ ගෙදරය. විජේතුංගගෙන් පසු ජනාධිපති ධුරයට පත් වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායකය. ඇය විශ්‍රාම ගියේ 2005 වසරේය. 1978 ව්‍යවස්ථාවට එහා යමින් ඇය විශ්‍රාම ලබන මොහොතේ තමාගේ හැන්දෙන් තමාටම බෙදා ගැනීමට උත්සාහ කළාය. වැඩි ආරක්ෂකයන් ගණනක්, වැඩි වාහන ගණනක්, වැඩි සේවක ගණනක්, නිල නිවසක් ඇතුළු බලතල රාශියක් ඇය ඉල්ලා සිටියාය. ඉන් නොනැවතුණු ඇය ජනාධිපති අරමුදලෙන් මිලියන 750 ක මුදලක් බැර කර ගැනීමට උත්සාහ දැරුවාය. එය දෙන ලෙසට ජනාධිපති අරමුදලේ හිටපු ලේකම් චිත්‍රා අතුරුගිරිය මහත්මියට බලපෑම් කළ බව සඳහන්ය. එම චෙක්පත බල කිරීම නිසා මහ බැංකුවට යැවූ බව දැනගත් නව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහ බැංකුවට කතාකර අදාළ චෙක්පත ඇගේ ගිණුමට බැරවීම නතර කරන ලදී. මේ ආකාරයට චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් වැඩි වරප්‍රසාද ගැනීම නිසා ඇයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද පැවරිණි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දුන්නේ 2007 වසරේ මැයි තුන්වැනිදාය. එයින් විශ්‍රාමික ජනාධිපතිවරයකුට ලැබිය යුතු වරප්‍රසාද නීතියෙන් තහවුරු කෙරිණි. ඊට අනුව 1986 අංක 04 දරන ජනාධිපති හිමිකම් පනතේ සඳහන් විශ්‍රාමික ජනාධිපතිවරයකුට ලැබිය යුතු වරප්‍රසාද හා ඔහු මියයාමෙන් පසු බිරිඳට ලැබෙනා වරප්‍රසාද මෙසේ විය. විශ්‍රාමික ජනාධිපතිවරයකුට ගෙවල් කුලී ගෙවීමකින් තොරව ජීවත්විය හැකි සුදුසු නිවසක් ලැබීමට හිමිකම ඇත්තේය. යම් හේතුවක් මත නිවසක් නොගන්නවා නම් ඒ වෙනුවට ඔහුට ලැබෙනා විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකක ප්‍රමාණයේ මුදලක් ලබාගත හැකිය. මීට අමතරව විශ්‍රාම වැටුප් හා නිල රථයක් හිමිය. පෞද්ගලික ලේකම්වරයකු ඇතුළු සුළු කාර්ය මණ්ඩලයක් රජයේ වියදමෙන් පවත්වාගෙන යාමට අවසර ලබා දී තිබේ. සාමාන්‍ය ක්‍රමවේදයට අනුව විශ්‍රාමික ජනාධිපතිවරයකුට කැබිනට් ඇමැතිවරයකුට ලබාදෙන ආරක්ෂක පිරිසක් හිමිය. එහෙත් එල්ලවන තර්ජන තක්සේරු කර දෙන ආරක්ෂක නිලධාරින් පිරිස අඩුවැඩි විය හැකිය. තවද කැබිනට් අමාත්‍යවරයකුට ලැබෙන ප්‍රවාහන පහසුකම් හිමිකමද ඇත. විශේෂයෙන්ම නිල වාහන 2 ක්, ආරක්ෂක නිලධාරින් සඳහා වෙනම වාහනයක්, රියැදුරන් 3 ක් හා මාසික ඉන්ධන හිමිවෙයි. ගුවන් ගමන් යා යුතු වන්නේ තමාගේම වියදමෙනි. මේ ආකාර පහසුකම් ලබා දුන්නද නිල නිවස කිසිදාක පෞද්ගලික දේපළක් කරගත නොහැකිය. එය යම් දිනක විශ්‍රාමික ජනාධිපතිවරයාගෙන් පසු ඔහුගේ බිරිඳට ලබාදෙන අතර බිරිඳ මියයාමෙන් පසු නැවත පවත්නා රජයට භාරදිය යුතුය. මෙම නෛතිකමය පසුබිම සැකසීමෙන් පසු චන්ද්‍රිකා බණ්ඩාරනායකට කොළඹ හතේ නිදහස් චතුරස්‍රය ඉදිරිපිට ඇති නිල නිවසක් හිමි විය. එසේම නිල රථයක්, පෞද්ගලික ලේකම්වරයකු ඇතුළු කාර්ය මණ්ඩලයක්, අරක්ෂකයන් හා කැබිනට් ඇමැතිවරයකුට ලැබෙන සියලු වරප්‍රසාද ලැබිණි. ඇගෙන් පසු ජනාධිපති ධුරයට පත් වූයේ මහින්ද රාජපක්ෂය. 2015 දී ඔහු පරාජයට පත් වූ පසු විශ්‍රාමික ජනාධිපතිවරයකුට ලැබෙනා වරප්‍රසාද ඔහුට හිමිවිය. යුද්ධයට නායකත්වය දුන් ජනපතිවරයා නිසා ඔහුට ලැබුණ ආරක්ෂක පිරිස අන් විශ්‍රාමික ජනාධිපතිවරුන්ට වඩා වැඩි විය. ආරක්ෂක නිල රථ තුනක්ද ලැබී තිබිණි. නියමිත නිල නිවසක් නොලැබ නිවාස මාරු කරමින් සිටි ඔහුට අවසානයේ මෛත්‍රිපාල සිරිසේන කෘෂිකර්ම ඇමැතිව සිටි කාලයේ දී තිබූ විජේරාම මාවතේ පිහිටි නිල නිවස දුන්නේය. මෛත්‍රිපාලට පෙර එම නිල නිවසේ සිටියේ ලක්ෂ්මන් කදිර්ගාමර් ඇමැතිවරයාය. විශ්‍රාම යන ජනපතිවරුන්ගේ ලැයිස්තුවට අලුතෙන්ම එකතු වී සිටින්නේ මෛත්‍රිපාල සිරිසේනය. ඔහුගේ විශ්‍රාම දිවිය කෙසේ වේවිද? ඒ ගැන ලියන්නට තවමත් කල් වැඩිය. කුමාරි හේරත්
 

More News..