brand logo

ජනපති අතින් විවෘත වන රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරය

23 August 2018

රුහුණු සරසවියේ ‘ගුරුදෙව් රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරය’ සැප්තැම්බර් 3 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරේ. ‘ඉන්දු - ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘතිය’ යටතේ රුපියල් මිලියන 300 ක වියදමින් ඉදිකෙරුණු, ආසන 1500 කින් සමන්විත මෙම ශ්‍රවණාගාරය මෙරට විශ්වවිද්‍යාලයක ඉදිකෙරුණු විශාලතම ශ්‍රවණාගාරය මෙන්ම දකුණු පළාතේ විශාලතම ශ්‍රවණාගාරයද වෙයි. මීට අවුරුදු 40 කට පමණ පෙර ජෙෆ්රි බාවා විසින් සැලසුම් කරන ලද රුහුණු විශ්වවිද්‍යාලයේ සෙසු ගොඩනැගිලි අතරට අලුතින් එක්වන මෙම නව ගොඩනැගිල්ලද ජෙෆ්රි බාවාගේ ‘නිවර්තන නූතනත්වය’ නමැති සංකල්පය අනුව ඉදිකර ඇති අතර ඊට ගැලපෙන පරිදි වහලය අලංකාර උළුවලින් සෙවිලි කර ඇත. 2015 මාර්තු මස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු ගිවිසුමකට අනුව 2016 දී මෙම ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් ඇරඹුණි. මීට අමතරව ‘ඉන්දු-ලංකා සහයෝගීතා පදනමින්’ ශ්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් බිලියන 3 කට ආසන්න මුදල් ප්‍රදානයන් ලැබී ඇති අතර, නිවාස 60,000 ක ව්‍යාපෘතියක්, හදිසි ගිලන්රථ සේවාවක් සහ තවත් කුඩා සංවර්ධන ව්‍යාපෘති 70 ක් ඊට ඇතුළත් ය.
 

More News..