brand logo

ජනපති - අගමැති මත ගැටුමෙන් ජිනීවා මානව සැසියට ගැටලුවක්

16 March 2019

ජනාධිපතිවරයා හා අගමැති මත දෙකක සිටීම නිසා ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ දක්වන අදහස් සම්බන්ධයෙන් දැඩි ගැටලුවකට මුහුණ පෑමට සිදුවන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මත දෙකක් දරන දෙපාර්ශ්වයන් එම සමුළුවට සහභාගි වී සිටිති. එම එක් කණ්ඩායමක නායකත්වය දරන විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන ඇමැතිවරයා ආණ්ඩුවේ මතය දරයි. එම සමුළුවේදී ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහය දැක්වීමේ යෝජනාවට තවදුරටත් කල් ඉල්ලා සිටීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ. එල්. ඒ. අසීස් මීට සති දෙකකට පෙර භාර දී ඇති බව වාර්තා වේ. මේ අතර ජනාධිපතිවරයා නියෝජනය කරමින් හිටපු විදේශ ඇමැති සරත් අමුණුගම සහ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේෂ් රාගවන් යන මහතුන් සහභාගි වී තිබේ. ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ ජිනීවා මානව හිමිකම් යෝජනාවලියට සම අනුග්‍රහය දැක්වීමෙන් ඉවත්විය යුතු බවය. මේ සම්බන්ධයෙන් කණ්ඩායම පසුගිය සතියේ එහි පිටත්ව යාමට පෙර එක මේසයක සිට සාකච්ඡා කළ අතර අවසන් විසඳුමකට පැමිණීමට නොහැකි විය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 20 වැනි දින ජිනීවා මානව හිමිකම් සැසියේදී සාකච්ඡා කිරීමට නියමිත අතර මෙම තත්ත්වය මත දෙපාර්ශ්වය සැසියේදී හා ඉන් පිටතදී පැවැත්වෙන අනු කමිටුවලදී මත දෙකක සිට සාකච්ඡා පැවැත්වීමට ඉඩ ඇති බවට ජිනීවා හි ආරංචි මාර්ග සඳහන් කරයි. චමින්ද සේනාරත්න
 

More News..