brand logo

ජනපතිවරණ රාත්‍රියේ පොහොට්ටුවේ ඡන්ද මෙහෙයුම

24 November 2019

බොහෝ අය ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ රාත්‍රිය ගත කළේ නිදිවර්ජිතව ය. සමහරු ගෙවල්වලට වී තැම්බූ කඩල, බැදපු රටකජු කමින් රූපවාහිනියෙන් ප්‍රතිඵල බලද්දී තවත් සමහරු මධු බඳුන් හිස් කරමින්, පුළුල් තිර දමාගෙන ප්‍රතිඵල බැලුවෝ ය. බාබකියු දැමීම්, ඕමි ගැසීම්, බේබි කැපීම්, ඔට්ටු ඇල්ලීම්, රතිඤ්ඤා පිපිරවීම්වලින් ද අඩුවක් නොවූ මෙකී ප්‍රතිඵල රාත්‍රියේ දී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තරමට ම කාර්යබහුල වූ තවත් මධ්‍යස්ථානයක් විය. ඒ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාල සංකීර්ණය ය. හරියටම මීට අවුරුදු තුනකට කලින්, කාමර තුනකින් සහිත කුඩා කාර්යාලයක් වූ එය පසුගිය ජනාධිපතිවරණය ළංවන විට, මුළු මහත් නෙළුම් මාවත පුරාම විහිදුණු අනු කාර්යාල 6කින් සමන්විත කාර්යාල සංකීර්ණයක් බවට පත්ව තිබුණේ ය. ඒ අන් කිසිවක් නිසා නොව, ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් නිරන්තරයෙන් එහි ගැවසුණු අය සඳහා වැඩි වැඩියෙන් ඉඩ අවශ්‍යව තිබුණු නිසා ය. එහෙයින් ඉකුත් ප්‍රතිඵල රාත්‍රියේ මුළුමහත් නෙළුම් මාවත ම කාර්යබහුලව තිබුණේ යැයි කිව හැකි ය. පාර දෙපස නැවැත්වූ වාහන අසලත්, කාර්යාල කාමර වලත්, ප්‍රතිඵල නැරඹීම සඳහාම සකස් කර තිබුණු තාවකාලික කූඩාරමේත් සෙනග උතුරමින් තිබිණ. තාවකාලික කූඩාරමේ ප්‍රතිඵල විකාශය දැක්වුණු පුළුල් තිරයක් ප්‍රදර්ශනය වෙමින් තිබිණි. එහි ගැවසෙන සියල්ලන්ටම නිදහසේ කෑමට ඕනෑතරම් කෙටි කෑම වර්ග ද තිබිණි. මේ අතර නෙළුම් මාවතේ කාර්යාල දෙකක විශේෂ බළඇණි දෙකක් ප්‍රතිඵල රැස්කිරීමේ මෙහෙයුමක නිරතව සිටියහ. ඉන් ‘එක් බළඇණියක්’ වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු අංශය යි. ඔවුන්ට ‘V CAN’ ඇප් එක හරහා ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථානවල සිටි නියෝජිතයින් මගින් ප්‍රතිඵල ලැබෙමින් තිබුණේ ය. මේ අතර ජනපතිවරණයට ස්වාධීනව තරග කළ එස්. අමරසිංහ වැනි අයගෙන් සැදුම්ලත් තවත් බළඇණියක් තවත් කාර්යාලයක සිට, දුරකථන මාර්ගයෙන් ලැබෙන ප්‍රතිඵල සටහන් කරමින් සිටියහ. මෙකී බළඇණි දෙකම මෙහෙයවූයේ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ය. බැසිල් එදින පාන්දර මැදමුලනට ගොස් ඡන්දය ප්‍රකාශ කර, ගිය පයින්ම ආපසු කොළඹ ආවේ ද, මෙකී මෙහෙයුමට නායකත්වය දීමටය. ඒ අනුව ඔහු එදින දහවල් සිට ම බළඇණි දෙකේ අය පෙර පුහුණු කරමින්, ඔවුන් වෙත ලැබෙන ප්‍රතිඵල ආකෘතිපත්‍රවල පුරවන ආකාරය පැහැදිලි කරමින් රාත්‍රී ප්‍රතිඵල මෙහෙයුම සඳහා හොඳින් සූදානම් වෙමින් සිටියේ ය. මේ ආකාරයට නෙළුම් මාවත කාර්යාලවල සිටි අය රාත්‍රී අට හමාරේ නවයේ පටන් ම ප්‍රතිඵල සටහන් කරමින් සිටියහ. ඔවුන්ට මුලින් ම ලැබුණේ දකුණේ ස්ථාන දෙක තුනක තැපැල් ඡන්ද ප්‍රතිඵල ය. ඉන් පසුව දිගින් දිගටම ලැබුණේ උතුරේ තැපැල් සහ කොට්ඨාස මට්ටමේ ඡන්ද ප්‍රතිඵල ය. ඒ අනුව ප්‍රතිඵල සටහන්කරුවන් වෙත ගොස් කටයුතු සොයා බලන බැසිල්ට, දිගින් දිගටම අසන්නට ලැබුණේ මේ වචන ටික ය. ‘‘සර් ඔක්කොම එන්නෙ සජිත්ගෙ ප්‍රතිඵල නෙ...’’ එහෙත් දේශපාලන ක්‍රීඩාවේ අත්දැකීම් බහුල ක්‍රීඩකයකු වන බැසිල් එළිවෙන ජාමයට සිද්ධ වන දේ සහසුද්දෙන්ම දැනගෙන සිටියේය. ඔහු අධෛර්යමත් වෙමින් සිටින තරුණ පාක්ෂිකයින්ගේ පිටට තට්ටු දමමින් මෙසේ කියන්නට පටන්ගත්තේ ය. ‘‘කොහොමත් මේ ඡන්ද යන්නෙ සජිත්ට තමයි... බයවෙන්න එපා, හොඳ හොඳ ප්‍රතිඵල එන්නෙ එළිවෙන ජාමෙට...’’ බැසිල්ගේ වචන විශ්වාස කිරීම ප්‍රශ්නයක් නොවුණත්, එකදිගට ම සජිත්ට වාසිදායක වූ ප්‍රතිඵල ම අසන්නට ලැබීම නිසා ප්‍රතිඵල සටහන්කරුවන් සිටියේ දෙගිඩියාවෙනි. මේ අතර ප්‍රතිඵල පිළිබඳ ආරංචි නෙළුම් මාවතේ තැන් තැන්වල තේ කෝපි බොමින් සිටි අය අතරටත් ගොස් තිබුණි. මේ අතර ඔවුන්ගේ එකම අස්වැසිල්ල වූයේ ඉඳහිට දකුණින් ලැබෙන තැපැල් ඡන්ද ප්‍රතිඵලයකින් ගෝඨාභයට වැඩි ඡන්ද ලැබී තිබීම ය. එවැනි ආරංචියක් නෙළුම් මාවතේ ගැවසෙන අයගේ කන වැකුණු ගමන්, ඔවුන් කළේ රතිඤ්ඤා පත්තු කිරීම ය. මේ අතර දෙවතාවක් පමණ පත්තු වූ මෙකී රතිඤ්ඤාවල හඬ අසා සිටි කූඩාරමේ අය නෙළුම් මාවතට පැන, මෙසේ ඇසූහ. ‘‘මොකක්ද මෙතන වෙන්නෙ... සජිත් දිනපු ප්‍රතිඵලයක් ගිය ගමන්ම මෙතන රතිඤ්ඤා පත්තුවෙනවා... ඕගොල්ලො සජිත්ගෙ කට්ටිය ද...?’’ එවිට ය, නෙළුම් මාවතේ - පාරේ සිටි අයට කාරණය වැටහුණේ. ඇතුළත කාර්යාලයෙන් ප්‍රතිඵල ලැබෙන හැටියට තමන් විසින් රතිඤ්ඤා පත්තු කෙරුණත්, රූපවාහිනියෙන් ප්‍රතිඵල නරඹන කූඩාරමේ අයත්, මුළු රටේම අනෙක් අයත් ඒ වන විටත් නරඹමින් සිට තිබුණේ, සජිත්ට වාසිදායක වන උතුරේ ප්‍රතිඵලය. කාරණය වැටහුණු පසුව නෙළුම් මාවතේ - පාරේ සිටි අය රතිඤ්ඤා පත්තුකිරීම නවත්වා දැමුවේ, පසුවදා එය ද දේශපාලන ඕපාදූපයක් ලෙස පත්තරවල යන්නට බැරිකමක් නැතැයි සිතමිනි. ‘‘අපි මේක නවත්තමු... කූඩාරමේ අය වගේම වටේ පිටේ ඔක්කොම හිතයි, සජිත් දිනනකොට අපි රතිඤ්ඤා පත්තු කරනවා කියලා...’’ අයකු පාරේ සිටි අයට කීවේ ය. එකදිගට ම උතුරින් ලැබුණු ප්‍රතිඵල අනුව, සජිත්ගේ ඡන්ද සංඛ්‍යාව ඉහළින් ඉහළට එසවෙද්දී, නෙළුම් මාවතේ ගැවසුණු අයගේ හදගැස්ම ද ටිකින් ටික වැඩිවෙමින් තිබිණි. මේ අතරට උණු උණු පීසා ලොරි බාගයක් පැමිණියහොත් කුමක් සිදුවේ ද...? සැබැවින්ම එවිට එවැන්නක් ද සිදුවිය. නෙළුම් මාවත සඳහා පීසා ලොරි බාගයක් ඇණවුම් කර තිබුණේ, තවත් ජනාධිපති අපේක්ෂකයෙකි. ඔහු ජයන්ත කැටගොඩ ය. ‘‘ඇයි ජයන්ත, ඔයා දිනල ද...?’’ ඇතැමකු ඇසූහ. ‘‘මං නෙවෙයි අපේ ගෝඨාභය මහත්තයා තමයි දිනන්නෙ... බය නැතුව, දුක නැතුව මේවා නිවෙන්න ඉස්සෙල්ලා කන්න...’’ ජයන්ත කීවේ ය. ඒ අනුව එදා රෑ නෙළුම් මාවතේ රැස්ව සිටි අය දෙකට දෙවාරේ පීසා කන විටත් නිල ප්‍රතිඵල සටහනේ ඉදිරියෙන් සිටියේ, සජිත් ය. මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවසේ අය ද, සාලේ තැනක තැබූ රූපවාහිනියකින් ඡන්ද ප්‍රතිඵල නරඹමින් සිටියහ. ඔවුන් සමග ප්‍රතිඵල නැරඹීම සඳහා ආචාර්ය චරිත හේරත්, අනූෂ පැල්පිට ඇතුළු හිතවත්තු විශාල පිරිසක් ද මිරිහාන නිවසට පැමිණ සිටියහ. භාතිය, සන්තුෂ්, ඉරාජ් වැනි තරුණ කලාකරුවන් ද ඒ අතර සිටි බැවින් ප්‍රතිඵල අතර කතාබහ අතිශයින්ම විනෝදජනක වී තිබිණි. රෑ දෙගොඩහරියක් ගත වන තුරුත්, සජිත් ප්‍රේමදාස ප්‍රතිඵල සටහනේ උඩින් සිටීම කිසිවෙකුටත් ප්‍රශ්නයක් වී තිබුණු බවක් නොපෙනුණි. අයෝමා රාජපක්ෂ, ප්‍රතිඵල නැරඹීම සඳහා පැමිණ සිටි සියල්ලන්ටම ආගන්තුක සත්කාර පැවැත්වූවාය. පුත් මනෝජ් රාජපක්ෂ සහ ලේලිය සෙව්වන්දි රාජපක්ෂ ද ඊට එක්වී සිටියහ. එදින රැය පහන් වන තුරුම මිරිහානේ අසල්වැසියෝද, ගෝඨාභයගේ මිරිහාන නිවස වෙත පැමිණියහ. දින හතළිස් පහක් පුරා පැවැත්වුණු මැතිවරණ ප්‍රචාරක කටයුතු නිසා කාර්යබහුලව සිටි ගෝඨාභයට බොහෝ කාලයකින් සිය අසල්වැසියන් හමුවූයේ ද එදා ය.කෙසේ නමුදු මහින්ද රාජපක්ෂ මැදමුලනේ ඡන්දය දමා කොළඹ ආවේ නැත. ඔහු එදින රැය පහන් කළේ තංගල්ලේ කාල්ටන් නිවසේය. එදින රාත්‍රියේ මහින්ද රාජපක්ෂගේ නිවසේ ද ප්‍රතිඵල ඇසීම සඳහා ම විශාල පිරිසක් එක් රැස්ව සිටි අතර ප්‍රාදේශීය දේශපාලකයන් රැසක් ද ගම්වැසියන් විශාල පිරිසක් ද ඒ අතර විය. මහින්ද-ශිරන්ති යුවළගේ පුතුන් තිදෙනාත්, ලේලියන් තිදෙනාත්, අලුත උපන් මුනුබුරාත් එකම වහලක් යට ගත කරන පළමු රාත්‍රිය ද එය වූ බැවින්, මහින්දටත් වඩා සතුටින් සිටියේ ශිරන්ති රාජපක්ෂය. ඇය රැස්ව සිටි පිරිසට ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීම වෙනුවෙන් වඩ වඩාත් කාර්යබහුල වෙමින් සිටියාය. මහින්ද බැසිල් සහ ගෝඨාභය අමතමින්, ප්‍රතිඵල සම්බන්ධ නවතම විස්තර දැනකියා ගනිමින් සිටියේ ය. කෙසේවෙතත්, නෙළුම් මාවතේ ප්‍රතිඵල රැස් කරන බළඇණි දෙකම පාන්දර තුන පමණ වන විට එකවරම ඇනහිට තිබිණ. ඒ ‘V CAN’ ඇප් එක හරහාත්, දුරකථන මාර්ගයෙනුත් ප්‍රතිඵල පැමිණීම නතර වූ නිසා ය. කිසිම ප්‍රතිඵලයක් නොලැබී මිනිත්තු 45 ක් පමණ ගතවෙද්දී, වහාම සියල්ලන්ම කැඳවු බැසිල්, ප්‍රතිඵල එවන අය වෙන වෙනම අමතමින්, වහ වහා ප්‍රතිඵල රැස් කරගන්නැයි දැනුම් දුන්නේ ය. ඒ වන විටත් නෙළුම් මාවත ප්‍රධාන කාර්යාලයේ සිටි විජයානන්ද හේරත්, නිමල් ලන්සා, සුසිල් ප්‍රේමජයන්ත, ලක්ෂ්මන් යාපා, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, විලී ගමගේ, ජගත් වැල්ලවත්ත වැනි අය ද ප්‍රතිඵල රැස්කිරීමේ බළඇණි වෙත සිය සහාය පළ කරමින්, තම තමන් දන්නා හඳුනන ප්‍රාදේශීය නියෝජිතයින්ට දුරකථන ඇමතුම් දෙන්නට පටන්ගත්හ. මේ අතර විශාලම ඡන්ද දායකයින් පිරිසක් සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන මට්ටමේ ප්‍රතිඵල දැනගැනීම වෙනුවෙන් බැසිල් ද දිගින් දිගටම මහන්සි වූයේ ය. ඒ අනුව ඔහු වරින් වර ප්‍රසන්න රණතුංග අමතමින්, ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල එකතු කරගත්තේ ය. ඒ අනුව ගම්පහ තුන්ලක්ෂ විසිපන්දහසකින් පමණ ජයගත් බව ගණනය කළ බැසිල්, දීර්ඝ සැනසුම් සුසුමක් හෙළුවේ ජනපතිවරණයේ තීරණාත්මක දිස්ත්‍රික්කය ගම්පහ නිසාය. ලංකාවේ වැඩිම ඡන්ද දායකයන් පිරිසක් සිටින්නේ ඒ බිමේය. මේ වන විටත්, ප්‍රතිඵල බළඇණිවලට ද එතෙක් ප්‍රමාද වෙමින් පැවතුණු රත්නපුර දිස්ත්‍රික්කයේත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් සියලු ආසනවල ප්‍රතිඵල එකතු කරගැනීමට හැකි වී තිබිණි. එමෙන් ම බදුල්ල, ගාල්ල, මොනරාගල සහ මාතර යන දිස්ත්‍රික්කවල ආසන දෙක තුනක් හැර අනෙක් ආසන සියල්ලේම ප්‍රතිඵල ලබාගැනීමට ද හැකි වී තිබිණ. මේ ආකාරයට මහ පාන්දර ක්‍රියාත්මක වුණු මෙකී හදිසි මෙහෙයුමින් පැය බාගයක් පමණ ගතවන විට, නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේ ප්‍රතිඵල සටහන්කරුවන්, අවසාන ප්‍රතිඵලයට ළඟා වෙමින් සිටියහ. මේ අතර බැසිල් රාජපක්ෂට එ.ජා.ප.යේ ඉහළම පුද්ගලයකුගෙන් අතිවිශේෂ ඇමතුමක් ලැබුණේ, උණුසුම් සුබපැතුමක් ද සමගිනි. එම ඇමතුම දුන් පුද්ගලයා පවසා තිබුණේ, ගෝඨාභයගේ ඡන්ද සංඛ්‍යාව හැට අට ලක්ෂය ඉක්මවා ඇති බව ය. එම ආරංචිය මහින්දට මෙන් ම ගෝඨාභයට ද දැනුම් දුන් බැසිල්, අවසාන ප්‍රතිඵලය ගණනය කිරීමට අවශ්‍ය අනෙකුත් ආසන ප්‍රතිඵල ගැනීමට වෙහෙසුණේ ය. එකී අවසන් උත්සාහය ද මල්පල ගන්වමින්, අවසානයට තමන් අතට ලැබුණු ආසන මට්ටමේ ප්‍රතිඵල කිහිපය ද එකට එකතු කර සමස්ත ප්‍රතිඵලය ගණනය කළ බැසිල් හැට නව ලක්ෂ විසි පන්දහසක් පමණ ඡන්ද ගෝඨාභයට ලැබී ඇති බව ප්‍රකාශ කළේ ය. ඒ වන විට වේලාව පාන්දර 5.30 පමණ වී තිබුණි. ජයගත් පුවත ඇසූ නෙළුම් මාවතේ සිටි අය රතිඤ්ඤා පත්තු කරමින්, ජයඝෝෂා කරමින් විජයග්‍රහණය සැමරූහ. මේ ආකාරයට විජයග්‍රාහී ප්‍රතිඵල මෙහෙයුම අවසන් කළ බැසිල්ට, මැතිවරණ කාර්යාලයේ සිටි ඉහළ පෙළේ නිලධාරියකු ද දුරකතන ඇමතුමක් දෙමින්, ආසන්න වශයෙන් ගණනය කළ තවත් අවසන් ප්‍රතිඵලයක් දැනුම් දුන්නේ ය. ඉන් පසුව එම ප්‍රතිඵලය ද තමන් ගණනය කළ ප්‍රතිඵලයටම ආසන්න වශයෙන් ගැළපුණු බව පැවසූ බැසිල්, නෙළුම් මාවතේ සිටි සියල්ලන්ට ම සෑහෙන පරිදි උදේ කෑම ගෙනෙන්නැ’යි ‘ජයන්ත කැටගොඩට’ කීවේ ය. එහෙත් ඒ වෙලාවේ එවන් විශාල පිරිසකට සෑහෙන තරම් කෑම බත්තරමුල්ලේ කොහෙන්වත් සොයාගත නොහැකි විය. ඡන්දයට පසුදා බොහෝ කඩවල් වසා තිබුණු බැවින්, තත්ත්වය තවත් බැරෑරුම් විය. කෙසේවෙතත් අවසානයේ ඔවුන්ට සෑහෙන තරමක් කෑම ලැබුණේ ය. ඒ ‘බත්තරමුල්ලේ අවන්හලකිනි. ඒ අනුව කැටගොඩ ඇතුළු පිරිස තිබුණු කිරිබත්, ඉඳිආප්ප, පිට්ටු, අල බතල, මඤ්ඤොක්කා, කව්පි, කඩල, මුං ඇට, පොල්සම්බෝල, කිරි මාළු, සැර මාළු, පරිප්පු, කිරිහොදි ආදී සියලුම උදේ කෑම ටික මිලටගෙන පැමිණියහ. එහෙයින් පුරා රැයක් මුළුල්ලේ පසුදාට පහන් වන තුරු නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ රැස්ව සිටි පිරිසේ බඩගින්න නිවුණු නමුත්, එදා ඉරිදා බත්තරමුල්ලේ එම අවන්හල විවෘත කිරීමට නොහැකි විය. ඒ එහි එකම එක බත් ඇටයක්වත් ඉතිරි වී නොතිබුණු නිසා ය. සුරේඛා සමරසේන
 

More News..