brand logo

ජනපතිවරණ ප්‍රතිඵල එන්නත් කලින් ට්‍රම්ප් යුද ප්‍රකාශ කරයි

25 September 2020

නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුවහොත් සාමකාමීව සිය අනුප්‍රාප්තිකයාට බලය පැවරීමට තමන් සූදානම් නැතැයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. ‘‘එහිදී අපට සිදුවන්නේ කුමක්දැයි සලකා බැලීමට සිදුවනු ඇත’’ යනුවෙන් ජනාධිපතිවරයා සිය ආන්දෝලනාත්මක ප්‍රකාශයේ වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. මැතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පිළිබඳව පවතින සැකය හේතුවෙන් මෙවර මැතිවරණ ප්‍රතිඵලය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසන් විය හැකි යැයි තමා විශ්වාස කරන බවද ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. ට්‍රම්ප්ගේ මෙම තැපැල් ඡන්ද විරෝධයට හේතු වී ඇත්තේ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් විසින් කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ඇමරිකානුවන්ට තැපැල් ඡන්දය භාවිත කරන ලෙසට දිරිමත් කිරීමයි. ට්‍රම්ප් විශ්වාසය පළකර ඇති ආකාරයට තැපැල් ඡන්ද ප්‍රතිශතය ඉහළ ගියහොත් ඔහුට ලැබීමට නියමිත ඡන්ද ප්‍රතිශතය පහළ යනු ඇත. ඊයේ (24දා) සවස් වරුවේ ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී වාර්තාකරුවකු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ නොවැම්බරයේදී පරාජයට පත් වුවහොත් සාමකාමීව බලය පැවරීමට සූදානම්දැයි කියාය. ‘‘මම ඡන්ද පත්‍රිකා සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා. ඡන්ද පත්‍රිකා යනු ව්‍යසනයක්’’ යැයි ට්‍රම්ප් එහිදී දැඩි ස්වරයෙන් පවසා ඇත. (ඇමරිකානු පුරවැසියන් ඡන්ද මධ්‍යස්ථානයේදී ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය භාවිත කරන අතර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමකදී පමණක් මුද්‍රිත ඡන්ද පත්‍රිකා භාවිත කෙරේ.) ‘‘ඡන්ද පත්‍රිකා අහෝසි කරන්න. එවිට මැතිවරණ ප්‍රතිඵලය සාමකාමී වනු ඇත’’ යැයි ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබේ. නයන තරංග ගමගේ
 

More News..