brand logo

ජනපතිවරණයේ ගැසට්ටුව බලරහිත කරන ලෙස ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභ කරයි

04 October 2019

ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ. ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ‌ මෙම පෙත්සම අද අද(04) විජිත් මළල්ගොඩ ,ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම කරුණට අදාළව අලුතින් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය රඳවාගනිමින් වර්තමානයේ ගොනුකර තිබෙන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා පෙත්සම්කරුගේ නීතිඥවරයාට තරයේ අවධාරණය කර සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විහිළුවට නොගන්නා ලෙසයි. අධිකරණය හමුවට පැමිණ වගකීමකින් තොරව සිදුකරන මෙවැනි විහිළු ක්‍රියා කිසිසේත්ම අනුමත කළ නොහැකි බව මලල්ගොඩ විනිසුරුවරයා අවධාරණය කර සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.
 

More News..