brand logo

ජනපතිවරණයට එජාපයෙන් 'රයිගමයා හෝ ගම්පලයා' ඉදිරිපත් වුවත් සහය දෙනවා

18 June 2019

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ "රයිගමයා හෝ ගම්පලයා" වුවත් තමන් ඔහුට සහාය පළ කරන බව පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතා පැවසීය. හලාවත - දැදුරුඔය මාටින් වත්ත ගොවිපලේ ආරම්භ කරන ලද හෙළ බොජුන් හල විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. පශු සම්පත් සංවර්ධන මණ්ඩලය අයත් මාටින් වත්ත ගොවිපල තුළ ආරම්භ කරන ලද මෙම හෙළ බොජුන් හල පවත්වා ගෙන යාම සදහා වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා ඇත. තව දුරටත් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතා මෙසේද පැවසීය. හෙළ බොජුන් හල් ආරම්භ කරන්න තිබුනේ මීට වසර 30 කට 40 කට පෙරදීයි. මේ වන විට අපේ රටේ ජීවත් වන කුඩා දරුවන් ඇතුළු 70% කට වැඩි පිරිසක් දියවැඩියා රෝගය ඇතුළු බෝ නොවන රෝග වලට ගොදුරු වෙලා සිටිනවා. නමුත් එදා සිට හෙළ බොජුන් හල් තිබුනා නම් තත්ත්වය මීට වඩා වෙනස් වන්න තිබුණා.එහෙම වුනා නම් අපේ රෝහල් දියවැඩියා රෝගීන් ගෙන් පිරිලා යන්නේ නෑ.ඒ නිසා අපි රට පුරාම තව තවත් හෙළ බොජුන් හල් විවෘත කළ යුතුයි.ජනතාවට දේශීය ආහාර ලබා ගැනීමට අවස්ථාව ලබා දීමට කටයුතු කළ යුතුයි. මෙහිදී මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන්ඉදිරිපත් කරන්නේ කව්ද යන්න ගැටළුවක් නැහැ.එයා කව්රු වුනත් ජයග්‍රහණය කරන්න අවශ්‍ය කටයුතු අපි කරනවා. පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ රයිගමයා වුවත්,ගම්පලයා වුවත් ජයග්‍රහණය සදහා අපි අරගෙන යනවා.පොදු අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් තවම කථා බහක් ඇති වෙලා නැහැ.පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළත් එක්කෝ එයා එක්සත් ජාතික පාක්ෂිකයෙකු විය යුතුයි.එහෙම නැත්නම් පක්ෂයේ කැමැත්ත ඇතිව ඉදිරිපත් වන අයෙකු විය යුතුයි. අපිට තිබෙන්නේ විනයක් ඇති පක්ෂයක්.පක්ෂයේ බහුතරය ගන්නා ඕනෑම තීරණයකට අපි අවනත වෙන්න සුදානම්. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන් චන්ද්‍ර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද,හලාවත නගරාධිපති තුෂාන් අබේසේකර මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලකයින්ද සහභාගි වී සිටියේය. ජුඩ් සමන්ත
 

More News..