brand logo

ජනපතිට රන් පොරොන්දුවක් දුන්  රත්නපුරේ තරුෂි

28 July 2019

‘‘දවසකට මේ රටේ ප්ලාස්ටික් බෝතල් ලක්ෂ ගණනක් අහකට විසි කරනවා. මේකට මොනව හරි විසඳුමක් දෙන්න පුළුවන්ද?’’ රටේ ජනාධිපතිවරයා පුංචි තරුෂිගෙන් ඇසුවේය. ‘‘මම ඒකටත් ඉක්මනින්ම විසඳුමක් හොයල දෙන්නම්’’ මඳ හෝ පසුබෑමකින් තොරව තරුෂි කීවාය. තමන් ගැනම වූ මහා විශ්වාසයෙන් යුතුව රටේ පළමුවැනි පුරවැසියාට එසේ පොරොන්දුවක් දුන් තරුෂි තවමත් දහඅට හැවිරිදිය. ඉගෙන ගන්නේ රත්නපුර සුමන බාලිකාවේ උසස් පෙළ පන්තියේය. මේ අගෝස්තුවේ උසස් පෙළ විභාගයට පෙනී සිටින්නීය. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් පවත්වන්නට යෙදුණ නව නිපැයුම් තරගාවලියට රත්නපුර සුමන බාලිකාවේ තරුෂි විදුෂිකා රාජපක්ෂද නව නිර්මාණ දෙකක් ඉදිරිපත් කළාය. පළමුවැන්න ‘රාහු කාලය සහිත ඔරලෝසුව’ යි. දෙවැන්න පරිසරයට බරක් වූ ලන්ච් ෂීට් වෙනුවට ආදේශකයක් වූ ‘පහසු ආහාර අසුරණය’ යි. මේ නිර්මාණ දෙක සඳහාම තරුෂි රන් පදක්කම් දෙකක් දිනා ගත්තාය. ප්‍රදර්ශනය හා තරගය පැවැත්වුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය. ජයග්‍රාහකයන්ට මුදල් හා ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැතියේ ඔක්තෝබර් 26 වැනිදාය. ඉවතලන ප්ලාස්ටික් බෝතල්වලට දිය හැකි විසඳුම කුමක්දැයි ජනාධිපතිවරයා තරුෂිගෙන් ඇසුවේය. ඒ සඳහා ළඟදීම නිසි විසඳුමක් දෙන්නම් යැයි තරුෂි ජනාධිපතිවරයාට පොරොන්දු වූයේ එදාය. එදා රාහු කාලය සහිත ඔරලෝසුවටත් පහසු ආහාර අසුරනයටත් රන් පදක්කම් දිනූ තරුෂි ඒ ජයග්‍රහණ නිසාම හෙට අනිද්දාට එළැඹෙන අගෝස්තු මාසයේදී කොරියාවේ පැවැත්වෙන ‘කොරියා ඉන්ටර්නැෂනල් ඔලිම්පියාඩ් 2019’ නව නිපැයුම් තරගාවලියට සහභාගි වීමටත් සුදුසුකම් ලැබුවාය. ‘‘ඒත් මම ඒ තරගාවලියට යන්නේ නෑ’’ තරුෂි අප සමග කියා සිටියේ දුකින් නොව, සිනාමුසුවය. නව නිපැයුමෙන් රට දිනූ තරුෂිගේ තොරතුරු දැන ගැනීම සඳහා පසුගිය දිනෙක අපි ඇගේ නිවසට ගියෙමු. ඒ යනවිටත් ඇය මේ අගෝස්තුවේ එළැඹෙන උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙමින් සිටියාය. තරුෂි කොරියා ඉන්ටර්නැෂනල් ඔලිම්පියාඩ් තරගාවලියට නොයන්නට තීරණය කර ඇත්තේද ඇගේ උසස් පෙළ විභාගයත්, කොරියානු තරගාවලියත් එකම දිනවලට යෙදී ඇති නිසාය. ‘‘කොහොම හරි විභාගෙ පාස් කරගන්නත් එපායැ’’ ඒ ගැන කතා කරන ඇය කියන්නීය. කොරියානු ඉන්ටර්නැෂනල් ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා ලංකාවෙන් නිර්මාණ දොළහක් ඉදිරිපත් කර තිබුණි. එම නිර්මාණ දොළහෙන් දෙකකටම අයිතිය කියන්නී තරුෂිය. එසේම ඒ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ එකම ගැහැනු දරුවාද තරුෂිය. උසස් පෙළ විභාගය නිසා කොරියානු ගමන පසෙක දැමූ නිසා දැන් එම තරගාවලියට ලංකාවෙන් සහභාගි වන්නේ පිරිමි දරුවන් තිදෙනකු පමණි. 2018 වසරේ නව නිපැයුම් දෙකක් සඳහා රන් සම්මාන ලබාගත් තරුෂි මීට පෙරද විවිධ නව නිපැයුම් තරගවලින් ජයග්‍රහණ රාශියක්ම ලබා තිබේ. මේ වන විට ඇගේ සුරතින් බිහි වූ නව නිර්මාණ ගණන දාහතකි. කුඩා අවධියේ තරුෂි අධ්‍යාපන කටයුතු කළේ රත්නපුර ගෝනකුඹුර විද්‍යාලයේය. පළමුවැනි ශ්‍රේණියේ සිට අපොස සාමාන්‍ය පෙළ දක්වා එහි අධ්‍යාපනය කරන අවධියේදීත් තරුෂි අලුත් අලුත් නිර්මාණ රාශියක්ම බිහි කළාය. එම නිර්මාණ අතර වතුර මෝටර් පාලනය, විෂබීජ නසන මිනීපෙට්ටිය, ආරක්ෂිත කුළු ගෙඩිය, පියවර මනින සපත්තුව, වැඩිදියුණු කළ යතුරුපැදිය, අලි සපත්තුව, පරිසර හිතකාමී බෑගය, පඩිපෙළක යා හැකි විල්බැරෝව, මී උගුල යන නිර්මාණ විශේෂත්වයක් උසුලයි. විවිධ විවිධ අලුත් නිර්මාණ සැලසුම් කිරීමේ උපන් හපන්කම් දක්වන තරුෂි සිය කොරියා ගමනද පසෙකට දමා මෙම දිනවල වෙහෙසෙන්නේ උසස් පෙළ විභාගයටය. තරුෂිගේ පියා නිහාල් රාජපක්ෂයි. කොතෙක් නව නිපැයුම් සඳහා සිය දියණියට අලුත් අලුත් අදහස් තිබුණත් ඒ සඳහා වැය කළ යුතු වන අධික වියදම හේතුවෙන් සිය දියණියට මේ වනතුරුත් කළ හැකිව ඇත්තේ සරල නිපැයුම් බවයි ඔහු කියන්නේ. ‘‘පහසු ආහාර අසුරණයක් ගැන එයා වැඩිපුර කල්පනා කරන්නේ ඒ නිසයි’’ ඔහු ඒ ගැන තවදුරටත් පැහැදිලි කරමින් කියන්නේය. තරුණ නව නිපැයුම්කරුවන් වෙනුවෙන් වූ සම්මාන ප්‍රදානයට එක් වූ ජනාධිපතිවරයා තරුෂිගේ නිපැයුම් ගැන පැහැදී ඇගේ නිර්මාණ අගය කළ අතර, ඇයට උදව් කිරීමටද එකඟ විය. එමෙන්ම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාද තරුෂි වෙනුවෙන් විශේෂ සහායක් ලබාදීමට පොරොන්දු වී ඇත්තේය. තරුෂිගේ ගෙදරට ගිය අපට දක්නට ලැබුණේ තැන තැන විසිරී තිබූ එක එක විදියේ ප්ලාස්ටික් කැබැලි, දැතිරෝද, වයර් කැබැලි ආදී අමුද්‍රව්‍ය කොටස්ය. එකට අමුණා අතරමග නතර කර දැමූ නිර්මාණය. ‘‘මේ මොනවාද?’’ යි අපි ඇසූ කල ඇය පැවසුවේ අගෝස්තු විභාගයෙන් පස්සේ තවත් අලුත් නිර්මාණ තුනක් එළිදක්වන බවයි. රංජිත් ඉලේපෙරුම
 

More News..