brand logo

ජනපතිට ආචාර වෙඩි මුර නැහැ

03 January 2020

නව පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමට පැමිණෙන ජනාධිපතිවරයා වෙනුවෙන් සූදානම් කර තිබූ ත්‍රිවිධ හමුදා උත්තමාචාරය සහ ආචාර වෙඩිමුර විසිඑක සිදුකිරීම අවලංගු කර ඇත. ඒ අනූව පොලිස් අශ්වාරෝහකයන් පෙරටු කර ගත් රිය පෙරහරකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත කැඳවාගෙන ඒමේ අවස්ථාවද සිදු නොකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ‘ අරුණට’ ප්‍රකාශ කළේය. ජනාධිතිවරයාගේ ඉල්ලීම මත හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර අවලංගු කළ බවද වේත්‍රධාරිවරයා කියයි. පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය අද (03 වැනිදා) ආරාධිතයන්ට පමණක් සීමා කිරීමට තීරණය කර තිබේ. පෙරවරු 10.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සභා ගැබෙහි මුලසුනේ සිට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කිරීමට නියමිතය. පෙරවරු 9.00 ට සියලු මන්ත්‍රීවරුන් සභා ගැබ තුළ හෝ මන්ත්‍රී ආලින්දයට පැමිණ සිටිය යුතුය. පෙරවරු 9.30 ට කථානායක කරු ජයසූරිය සහ එම මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන පියගැට පෙළ අසලදී මහ ලේකම් ධම්මික දසනායක විසින් පිළිගනු ලබති. පෙරවරු 9.35 ට අගමැති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැමිණෙන අතර කතානායකවරයා සහ මහ ලේකම්වරයා විසින් ඔවුන් දෙපළ පිළිගනු ලබයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන පියගැට පෙළ වෙත පිවිසීම සිදුවන්නේ පෙරවරු 9.40 ටය. ඉන් පසුව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු, නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න සහ සහකාර වේත්‍රධාරී අචින්ත කුරේ යන තිදෙනා පෙරටුකර ගනිමින් ජනාධිපතිවරයා රතු පලස මතින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත පිවිසේ. සභා ගැබට පිවිසෙන ප්‍රධාන දොරටුව අබියසදී කෝට්ටේ ආනන්ද බාලිකා විදුහලේ සිසුවියන් විසින් ජය මංගල ගාථා ගායනා කළ පසුව පාර්ලිමේන්තුව කැඳවන සීනුව පෙරවරු 10.00 ට නාද කිරීම සිදු වේ. අගමැති ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සභා ගැබෙහි අසුන්ගත් පසුව පළමුව සෙංකෝලය රැගත් වේත්‍රධාරිවරයාද දෙවනුව කථානායකවරයාද ඉන්පසුව ජනාධිපතිවරයාද ප්‍රධාන දොරටුවේ සිට සභා ගැබට පිවිසෙති. ජනාධිපතිවරයා පැමිණ අසුන් ගන්නේ වෙනදාට කතානායකවරයා අසුන් ගන්නා ප්‍රධාන අසුනේය. කතානායක අසුන වෙනුවට ජනාධිපතිවරයාගේ නිල ලාංඡනය සහිත ආසනය මුලසුන ලෙස සකසා ඇති අතර කථානායකවරයා අසුන් ගන්නේ වෙනත් දිනවල මහලේකම්වරයා අසුන් ගෙන සිටින ස්ථානයේය. අනතුරුව ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සභාවට ඉදිරිපත් කරනු ලබයි. ඉන් පසුව ජනාධිපතිවරයා විසින්ම පාර්ලිමේන්තුව පස්වරු 1.00 දක්වා කල් තැබීම සිදු කරනු ලබයි. සැසිවාරය විවෘත කරන අද පාර්ලිමේන්තු මහජන ගැලරිය වසා තැබෙන අතර ආරාධනා ලැබ ඇත්තේ විදෙස් තානාපතිවරුන්, විනිශ්චයකාරවරුන්, නිතීපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන්, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසකට පමණි. නව සැසිවාරය ඇරඹීම නිසා පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂාව දැඩි කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ‘අරුණට’ පැවැසීය. චමින්ද සේනාරත්න අජිත් අලහකෝන්
 

More News..