brand logo

ජනපතිගේ පළමු ව්‍යාපෘතියෙන් කිලෝමීටර් ලක්ෂයකට කාපට්

17 February 2020

මෙරට අබලන්ව ඇති ග්‍රාමීය අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කර සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය 19 වැනි දින පෙරවරුවේ ගම්පොළ ගලහා ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ. රජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති මෙම වැඩපිළිවෙළ ජනාධිපතිවරයා සහභාගි වන පළමු සංවර්ධන වැඩසටහනද වේ. ​මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අනුරාධ ජයරත්න මන්ත්‍රීවරයා විසින් ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබූ සාකච්ඡාවකට එක්වෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ පසුගිය ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වූ ‘රන් මාවත්’ වැඩසටහන සම්පූර්ණ නොකළ අතර ඒ වෙනුවෙන් ලබාගෙන ඇති බිලියන 49 ක් ගෙවීමට තම ආණ්ඩුවට සිදුව ඇති බවයි. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ලංකා ජයරත්න ගම්පොළ ආසනය සඳහා සංවර්ධනය කළ යුතු මාර්ග 17 ක් පිළිබඳව අවධානයට යොමු කොට තිබේ. ඉන්පසු ජනාධිපතිවරයා මෙහි සමාරම්භක උත්සවය ගම්පොළදී පැවැත්වීම සඳහා උපදෙස් ලබාදී ඇත. හිටපු අගමැති අභාවප්‍රාප්ත දි. මු. ජයරත්න මහතාගේ තෙමස් පූර්ණ දානමය පින්කම මෙම 19 වැනි දින පැවැත්වෙන අතර ඒ සඳහා ගම්පොළ දොළුව නිවසට පැමිණෙන ජනාධිපතිවරයා හා අගමැතිවරයා ගම්පොළදී මෙම උත්සවයට සහභාගිවීමට සැලසුම් කොට ඇත.   සුරංග දිල්හාන්
 

More News..