brand logo

ජනපතිගේ දේ බැසිල්ට ඇමැතිවරු දෙන්නාට ඇඩ්‍රස් නෑ

07 October 2020

සියල්ලෝ සතුටින් විසර යති සැප්තැම්බර් 30 වැනිදා සුප්‍රසිද්ධ කුරුඳු පොලු නඩුවේ තීන්දුව දුන්නා. විත්තිකරුවෝ නිදොස් කර නිදහස් වුණා. 2013 දී සජිත් ප්‍රේමදාසව එක්සත් ජාතික පක්ෂේ නායකත්වයට ගේන්න මාතර ඉඳලා කොළඹට පෙළපාළියක් ආවා. ඒ දවස්වල එජාප කැරලිකාර කණ්ඩායම ලෙස ප්‍රසිද්ධ වෙච්ච ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න ඇතුළු පිරිසක් තමයි මේ පෙළපාළිය ලීඩ් කෙරුවේ. පෙළපාළිය මාතර පහු කරනකොට එජාප නායක රනිල් වික්‍රමසිංහගේ අතිශය සමීපතමයෙක් වෙච්ච සුදත් චන්ද්‍රසේකරගේ සන්නිවේදන බලකායේ පිරිසක් මේ පෙළපාළිය නවත්තලා කුරුඳු පොලුවලින් පහර දුන්නා කියලා තමයි මේ නඩුව දාලා තිබුණේ. නඩුවේ පැමිණිලි පාර්ශ්වය වුණේ සජිත් ප්‍රේමදාසගේ කල්ලිය. විත්ති පාර්ශ්වය වුණේ රනිල් වික්‍රමසිංහගේ කල්ලිය. කොහොම වුණත් 2013 ඉඳලාම අධිකරණය සජිත්ගේ කල්ලියට කිව්වා මේ නඩුව ගෙනියන්න තරම් දෙයක් නෑ මේක අයින් කරගන්න කියලා. සජිත්ගේ පැත්තෙන් මේ නඩුව ඇදගෙන ගියේ මෛත්‍රී ගුණරත්න. නඩුවට පෙනී හිටියෙත් එයාම තමයි. එයාට අධිකරණයෙන් දෙපාරක්ම කිව්වා මේ පැමිණිල්ල ඉවත් කරගන්න කියලා. නමුත් එයා ඒක ගණනකට ගත්තේ නෑ, සමහර නඩු වාරවලට විත්තිකාරයෝ දෙතුන් දෙනෙක් එන්නේ නෑ. ඒ හැම වෙලේම මේ නඩුව ගෙනියන්න බැරි නිසා මේක සමථකයට පත් වෙන්න කියලා අධිකරණය දැනුම් දීලා තිබුණා. තිස්ස නිහඬ වෙයි මේ නඩුවේ විත්ති පාර්ශ්වය ඒ කියන්නේ රනිල්ගේ කල්ලිය නියෝජනය කළේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක. 2013 එජාප මහලේකම් විදිහට හිටියේ තිස්ස. තිස්ස මේ නඩුවට පහුගිය අවුරදු 7 ම හැමදාම ගියා. ගිහින් එජාපයට වාසි වෙන විදිහට මාධ්‍යයට වොයිස් කට් එකකුත් දීලා තමයි එන්නේ. නමුත් මේ පාර තිස්ස මාධ්‍යයට මුකුත් කිව්වේ නෑ. පැත්තකට වෙලා හිටියා. තිස්සගේ මේ නිහඬතාව ගැන දැන් දේශපාලන කරළියේ එක එක කතා ඇහෙනවා. එක්සත් ජාතික පක්ෂයත් සමගි ජනබලවේගයත් සමගි සමාදාන වෙන්න යන බව තමයි මේ හුඟක් කතා අතර ඇහනේනේ. එජාපයයි සජබ දෙගොල්ලෝගේම එකඟතාව මතලු මේ විත්ති කාරයෝ නිදොස් කොට නිදහස් වෙලා තියෙන්නේ.‍ රනිල් වික්‍රමසිංහ 2015 බලයට ආව වෙලාවේත් මේ නඩුව සමථ කරගන්න උත්සාහ කරලා තියෙනවා. රනිල් නීතිය හා සාමය ඇමැති විදිහට හිටිය සාගල රත්නායකට කිව්වාලු පොලිසියට කතා කරලා මේ නඩුව සමථයකට පත් කරගන්න කියලා. නමුත් සාගල ඒක කළේ නෑ. කුරුඳු පොලු නඩුව මේ විදිහට සමත වුණත් කුරුඳු පොලු සිද්ධිය හා සම්බන්ධ කතන්දර ගණනාවක් දැන් දැන් එළියට එන්න පටන් අරගෙන තියෙනවා. ඩලස්ගේ කතාව 2013 මේ සිදුවීම වෙච්ච දවසේම මාතර ඩලස් අලහප්පෙරුමගේ රැස්වීමක් තිබ්බාලු. ඩලස් එදා ස්ටේජ් එකේ ඉඳන් කිව්වාලු ‘‘තව ටිකකින් මෙතැන දෙගොල්ලෙක් ගහගන්න යන්නේ ඔය ගොල්ලෝ සද්ද නැතුව ඉන්න’’ කියලා. ඩලස් මෙහෙම කිව්වා කියලා කියන්නේ මාතර එජාප සංවිධායක හා මාතර නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත. උපුල් එදා මාතර හිටපු නගාරාධිපති. එයා පොලිසියට දීපූ සාක්කියේ ඩලස්ගේ මේ කතාව තියෙනවා. බුද්ධිකගේ පළිගැනීම එ කාලේ දකුණේ හිටපු එස්. එස්. පී. තමයි දේශබන්දු තෙන්නකෝන්. එදා සැකකරුවන් හඳුනාගත්තේ වීඩියෝ දර්ශන වලින්. මාතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් මේ අනුව සැකකරුවෙක් විදිහට අඳුනා ගත්තා. නමුත් එයා මේ ගැටුමට කිසිම සම්බන්ධයක් තිබිලා නැතිලු. එයා කියන විදිහට එයා මේ පෙළපාළියටවත් සම්බන්ධ වෙලා නෑ. නමුත් මේ ගැටුම වෙන අවස්ථාවේ වෙන වැඩකට එයා මේ ස්ථානය පසු කරමින් ගමන් කරලා තියෙනවා. පස්සේ දේශබන්දුගෙන් මෙයා අහනවා ‘‘ඇයි සර් මාව මේකට ඇතුල් කරලා තියෙන්නේ’’ කියලා. එතකොට එතැන හිටි එස්. අයි. කෙනෙක් කියනවාලු බුද්ධික පතිරණ දීපු ලැයිස්තුවෙන් තමයි මේ ඔක්කොම හඳුනාගත්තේ කියලා. බුද්ධික පතිරණ මෙයත් එකක් තරහලු. ඒ නිසා එයාවත් බුද්ධික පෙන්නලා තියෙනවා කියලා තමයි මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කියන්නේ. ආසන සංවිධායක පත් නොකරයි මේ නඩු තීන්දුව දුන්න දවසේ ඒ කියන්නේ සැප්තැම්බර් 30 සමගි ජනබලවේගයේ මාතර ආසන සංවිධායක පත්කරන්න ඉඳලා තියෙනවා. නමුත් ඒ පත් කිරීම කරලා නෑ. එජාපය හා සජබ අතර ඇති කරගැනීමට යන සමගි සන්ධානය නිසා මේ සංවිධායක පත් කිරීම නතර කළා කියලා තමයි ආරංචි. යා දෙක නොවෙත රත...? සමගි ජනබලවේගෙන් ගියපාර ඡන්දේ ඉල්ලපු සුජීව සේනසිංහ වගේම ජගත් විතාන දේශපාලනෙන් සමුගන්නා බව කියනවා. මේ දෙන්නා කියන්නේ තමන් මීට පස්සේ ඡන්දේ ඉල්ලනවා නං ඉල්ලන්නේ එජාපය හා සජබ සමගි වුණොත් විතරයි කියලා. මේ හැම කාරණයකින්ම ඉඟි කරන්නේ හෙට අනිද්දා වෙනකොට මේ දේශපාලන ප්‍රතිමල්ලවයන් එකතු වෙන බවද? රනිල් කැමැති වෙයිද සජිත් පිළිගන්න. ඒ වගේම සජිත් රනිල් ගැන දරන මතය වෙනස් වෙයිද? අපි බලාගෙන ඉමු. රුවන් රැකගන්න මංගල එජාපේ හා සජබ සමගියක් ගැන කතා කරනකොට අභිනවයෙන් පත් වූ එජාප නියෝජ්‍ය නායකයා ගැන මංගල සමරවීර මාතර එජාප ආසන බලමණ්ඩලයේ දී කතා කරලා තියෙනවා. මංගල කියන්නේ රුවන් විජේවර්ධන කියන්නේ සුදු පාට කොලයක් වගේ සුපිරිසිදු චරිතයක් ලු. රුවන්ට කිසිම දූෂණයක් වංචාවක් ගැන මෙතෙක් කිසිම චෝදනාවක් නෑ. ඒ සුදුපාට කොලේ එක ඉරක් හරි අඳින්න දුන්නොත් රුවනුත් විනාශ වෙන නිසා රුවන්ව රැක ගන්න ඕන කියලා මංගල කියලා තියෙනවා. සාගලගේ එක ok- ආශුගේ එක වහයි එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතට ගැනීම සඳහා ක්‍රියා මාර්ග ගන්නත් මැතිවරණ පරාජයන් ගැන විශ්ලේෂණය කරන්නත් දේශපාලන ක්‍රමෝපායන හා පර්‌යේෂණ ඒකකය කියලා එකක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පිහිටුවලා තිබුණා. ඒකේ ප්‍රධානියා විදිහට හිටියේ රනිල්ගේ සමීපතමයෙක් වෙච්ච ආශු මාරසිංහ. රනිල් පහුගිය දවසක කියලා තියෙනවා මේ ඒකකය වහලා දාන්න කියලා. පහුගිය කාලේ පුරාම මේ ඒකකය මගින් මැතිවරණ පැරදුනු ඒවා ගැන කරපු විශ්ලේෂණ සාර්ථක නොවුණු නිසා රනිල් මේ තීන්දුව ගත්තාලු. මේ අතර එජාපය ප්‍රතිසංවිධානය කරන්න සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් හදපු කමිටුවේ වාර්තාව නායක රනිල් වික්‍රමසිංහට භාර දෙන්න සූදානම් කියලාත් සිරිකොත පැත්තෙන් එන ආරංචි කියනවා. ශ්‍රී ලනිපේ අලුත් තැන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන තීන්දුවක් ගන්න ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඇමැති නිමල් සිරිපාලගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ තීන්දු තීරණ ගැන අහපුවහාම ශ්‍රීලනිපේ ජ්‍යෙෂ්ඨයෙක් කිව්වේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් නොකර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ඕන කියන ස්ථාවරයේ දැන් ශ්‍රී ලනිපය ඉන්නවා කියලා. වාසුගේ බිය ශ්‍රී ලනිපේ එහෙම ස්ථාවරයක ඉන්නකොට ලංකා නව සමමාජ පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර පක්ෂයේ පැවැති සාකච්ඡාවකදී කියලා තියෙනවාලු ආණ්ඩුව බලන්නේ 20 ගෙනැල්ල ඒ අයව බිත්තියට හේත්තු කරන්න. ඒ නිසා 20 ට එකඟ වෙන්න බෑ කියලා. කොමියුනිස්ට් පක්ෂෙත් හරහාට ඒ වගේම කොමියුනිස්ට් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකදීත් 20 වැනි සංශෝධනය ගැන කතා කරලා තියෙනවා. 20 ගෙනාවෙත් රටට ලොකු හානියක් වෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේදී 20 ට විරෝධය පල කරන්න ඕන කියලා තීන්දුවක් අරගෙන තියෙනවා කියලා ආරංචියි. මේ සාකච්ඡාවට මාතර නියෝජනය කරන කොමියුනිස්ට් පක්ෂ මන්ත්‍රී වීරසුමන වීරසිංහ ඉඳලා නෑ. මේ සම්බන්ධයෙන් ඔහුව දැනුම්වත් කරන්න මධ්‍යම කාරක සභාව තීන්දු කළාලු. දාන්න කලින් බලන්න ඉල්ලයි 20 වැනි සංශෝධනේ ගැන පොදු ජන පෙරමුණේ පක්ෂ දැනුම්වත් කරන්න පක්ෂ නායකයින් අරලියගහ මන්දිරයට කැඳවලා තිබුණා. අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තමයි මේ හමුව වුණේ. හමුවට අධිකරණ ඇමැති අලි සබ්රිත් ඇවිත් හිටියා. මෙතැනදී මහින්ද පක්ෂ නායකයින්ට කියලා තියෙනවා 20 ගැන ඒ අයට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. මෙතැනදී පක්ෂ නායකයින් හැමෝම වගේ කියලා තියෙනවා 19න් ගෙනාව ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරනවාට තමන් විරුද්ධයි කියලා. 19න් පාර්ලිමේන්තුවට තිබ්බ බලයත් අහෝසි කරන්න එපා කියලා ඉල්ලලා තියෙනවා. අගමැති මහින්ද මේ හැම දෙයක් ගැනම සාවදානව අහගෙන ඉඳලා ඇමැති සබ්රිට කියලා තියෙනවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන්න මේ සාක්ච්ඡාවේදී මතුවුණු අදහස් ගැන විශේෂ වාර්තාවක් හදන්න කියලා. එතැනදී පක්ෂ නායකයෝ අගමැතිගෙන් ඉල්ලුවාලු ඒ හදන විශේෂ වාර්තාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කරන්න කලින් ඔවුන්ටත් බලන්න දෙන්න කියලා. බැසිල්ගේ අළුත් වගකීම එලැඹෙන නොවැම්බර 17 අලුත් ආණ්ඩුවේ අය වැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සූදානම්. අය වැය සම්පූර්ණ සැලසුම් හදන්න බලය දීලා තියෙන්නේ බැසිල් රාජපක්ෂට කියලා තමයි දේශපාලන ආරංචි මාර්ග කියන්නේ. කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීමේදී ප්‍රචාරයක් ගියානේ ටෙලිකොම්, වරාය නගරය, විදුලි සංදේශ නියාමන කොමිසම ආයෝජන මණ්ඩලය වගේ ඒවා කිසිම අමාත්‍යංශයකට බාර දීලා නෑ. නමුත් මේ ආයතනවලට ඇමැතිවරු දෙන්නෙක් පත් කරනවා කියලා. නමුත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ආවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේවා ජනාධිපතිගේ විෂය පතයට පත් කරන්න කියලා. ඒ අනුව මේ ආයතන ඔක්කොම එකතු කරලා ජනාධිපති කාර්ය සාධක බලකායක් හදලා තියෙනවා. දැන් ඒ කාර්ය සාධක බලකාය 5 කට බෙදලා බැසිල්ගේ ආර්ථික කාර්ය සාධක බලකාය යටතට පත් කරන්න කියලා ජනාධිපති උපදෙස් දීලා තියෙනවා කියලා ආරංචියි. එතකොට අර කිව්ව අලුත් ඇමැති තනතුරු කිසි දෙයක් නෑ. ලාල්ගේ දෙහි කැපිල්ල කාලෙකට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනේ ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවා. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්තගෙන් මාධ්‍යවේදියෙක් අහලා තියෙනවා. ජවිපේ රට පුරා 20 ට විරුද්ධව උද්ඝෝෂණ මාලාවක් කරන්න යනවාලු. 20 කියන්නේ බූ වල්ලෙක් කියලාත් ලාල්කාන්ත කියනවා. ජනාධිපති කටින් කියන එක චක්‍ර ලේඛයක් විදිහට පිළිගන්න කියලා රාජ්‍ය නිලාධාරීන්ට කියන කතාව රාජාණ්ඩු කතාවක්ලු. ඒ නිසා මේ ආණ්ඩුව හදන්න යන්නේ රාජාණ්ඩුවක් කියලාත් ලාල්කාන්ත කියනවා. 19 වැනි සංශෝධනයේ තියෙන රටට හිතවත් යහපත් කාරනා යහපාලන ආණ්ඩුවෙන් ඉෂ්ට කළේ නෑ කියලා යහපාලනේට දෙහි කපන්නත් මෙතැනදී ලාල්කාන්ත අමතක කරලා නෑ. සමන් සමරක්කොඩි
 

More News..