brand logo

ජනතාව වෙනුවෙන් මැරෙන නායකයෙක් නෙමේ ජනතාව වෙනුවෙන් ජීවත්වන නායකයකුයි ඕන

16 September 2019

ෂැංග්‍රිලා හෝටලයේ පැවැති වියත්මග සමුළුව ද ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවති අතර වෘත්තීයවේදීන්, බුද්ධිමතුන් ඇතුළු සමාජ ක්‍රියාකාරිකයින් මෙන් ම ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින් ද බොහෝ පිරිසක් ඊට සහභාගි වීම විශේෂත්වයක් විය. මෙහිදී අති දක්ෂ මෙන් ම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් වූ මුත්තයියා මුරලිදරන් මෙන් ම අරවින්ද ද සිල්වා ද ඊට එක්වී සිටීම ‘පුවත් මැවූ සිදුවීමක්’ වූ අතර විශේෂයෙන් ම මුත්තයියා මුරලිදරන් විසින් සිදු කළ ‘කෙටි අදහස් දැක්වීම’ ද සමාජ මාධ්‍යවල අතිශයින් ම ජනප්‍රිය විය. “රටක් වුණාම ජාතික ආරක්ෂාව ඉතාම වැදගත්... මගේ සහයෝගය හිමිවෙන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් කෙනාටයි... සමහරු කියනවා ජනතාව වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම් කියලා... හැබැයි එහෙම කරලා වැඩක් නැහැ... මට කඩුල්ලක් දවා ගැනීම වෙනුවෙන් මැරෙන්න පුළුවන්... හැබැයි මම මැරුණම කවුද කඩුලු ගන්නේ..? ඒ නිසා ජනතාව වෙනුවෙන් මැරෙන නායකයෙක් නෙමේ ජනතාව වෙනුවෙන් ජීවත්වන නායකයකුයි අපිට ඕනේ...’’ මුරලි කීවේය. මෙවර ෂැංග්‍රිලා හෝටලයේ පැවැති වියත්මග සමුළුවේ තවත් විශේෂත්වයක් වූයේ, එවැනි දේශපාලනික වැඩසටහනකට සහභාගි වේ යැයි කිසිසේත් ම සිතිය නොහැකි ප්‍රධාන ධාරාවේ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් ද ඊට සහභාගි වී සිටීම ය. ඒ අතර සිටි එක් ප්‍රබල ව්‍යාපාරිකයකුගෙන් අනුර යාපා මෙසේ ඇසුවේය. “ඔබතුමාලා අපිට මේ පාර ලොකු සපෝට් එකක් දෙනවා නේද...?’’ අනුර යාපා ඇසුවේය. “එහෙම නැතුව කොහොමද...? රට වෙනුවෙන් අපි ඕනේ උදව්වක් දෙනවා... යහපාලන ආණ්ඩුව හින්දා අපි නන්නත්තාර වෙලා ඉන්නේ...’’ ව්‍යාපාරිකයා පැවසීය. “ඒ මොකද...?’’ අනුර යාපා ඇසුවේය. “මේ ආණ්ඩුව අපිට බදු ගහනවා... ව්‍යාපාරයක් කරගෙන යන්න දෙන්නේ නැහැ... අපේ ව්‍යාපාර සේරම කඩා වැටිලා. ව්‍යාපාර විතරක් නෙමෙයි රටම කඩා වැටිලා. මේ තත්ත්වයෙන් ගොඩ එන්න ඕනේ...’’ ව්‍යාපාරිකයා පැවසීය. කෙසේ වෙතත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වියත්මග සමුළුව අවසන් වූ වහාම මැදමුලන බලා ගියේය. ඒ වැඩිමහල් පුත් නාමල් ගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් පැවැත්වෙන උත්සවයේ වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීමටය. 12 වෙනිදා වීරකැටියේත් 14 වෙනිදා තංගල්ලේ කාල්ටන් නිවසේත් පැවැත්වෙන උත්සව පිළිබඳ සොයා බැලූ මහින්ද සඳුදා සවස මාතර බලා ගියේ ය. ඒ අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීරගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සඳහාය. ගජධීරට අවසන් ගෞරව දැක්වූ මහින්ද කීවේ, කොටි ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු ඊට සම්බන්ධව සිටි තරුණයන් පුනරුත්ථාපනය කිරීම සඳහා ගජධීර දැක්වූ සහයෝගය අගය කළ යුතු බවයි. ‘‘ගජධීර හැමදාමත් හිටගත්තේ නිවැරදි පැත්තේ... 2015 ආණ්ඩුව පෙරළුනාට පස්සෙත් එයා අප වෙනුවෙන් හිටියා...’’ මහින්ද පැමිණ සිටි පිරිස අමතමින් කීවේය.
 

More News..