brand logo

ජනතාව පිටුපෑවොත් කළුතර අවදානමේ

03 December 2020

හුදකලා කර ඇති බණ්ඩාරගම - අටලුගම ප්‍රදේශයේ කොවිඩ් වයිරසය පාලනය සඳහා නිසි ක්‍රියාමාර්ග නොගතහොත් කොළඹ මහ නගර සභා සීමාවට එහා ගිය කොවිඩ් අවදානමක් කළුතර දිස්ත්‍රික්කයට ඇතිවිය හැකි බව බණ්ඩාරගම මැදගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. යූ. මධුෂාන් ‘අරුණ’ ට පැවැසීය. ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අංශ දැඩි පරිශ්‍රමයක් දැරුවද එම ප්‍රදේශයේ ජනතාව පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සහභාගි කරවා ගැනීම ඉතා අසීරු බවය. මෙම තත්ත්වය දිගින් දිගටම පැවැතියහොත් කළුතර දිස්ත්‍රික්කය දැඩි අවදානම් කලාපයක් විය හැකි බවත් එමනිසා එම ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය අංශවලට විශාල දායකත්වයක් ලබාදිය යුතු බවත් හෙතෙම කීය. එමෙන්ම හුදකලා කර ඇති අටලුගම ප්‍රදේශයේ පෙරේදා (1 වැනිදා) සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ 455 න් 96 දෙනකු ආසාදිතයන් ලෙස වාර්තා වී ඇත. ඊට අමතරව බණ්ඩාරගම නගරයේ පසුගිය 30 වැනිදා සිදු කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 211 න් දෙදෙනකු ආසාදිතයන් ලෙස වාර්තා වූ බවද එස්. යූ. මධුෂාන් සඳහන් කළේය. එම ප්‍රදේශයේ පවුල් 2000 ක පුද්ගලයන් විසිදහසක් ජීවත් වන අතර මෙතෙක් එම ප්‍රදේශයේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 325 කි. චාමර පල්ලේගෙදර
 

More News..