brand logo

ජනතාව කොකේන් ගහලා...

23 February 2019

කොකේන් තියා මම ජීවිතේට බීඩියක්වත් උරලා නෑ. ඒ නිසා මේ සභාවේ ඉන්න කොකේන් ගහන ඇමැතිවරු ගැන ප්‍රසිද්ධ කරන්න. නැතිනම් අපිටත් නරක නාමයක් එනවා. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මේ ආකාරයට ප්‍රකාශ කළේ රංජිත් සෝමවංශ මන්ත්‍රීවරයාය. ‘‘අපි දැන් වියපත්. අපේ වයසේ අය ඕවා පාවිච්චි කළොත් කෙළින් ඉන්න බැරිවෙයි.’’ මාධ්‍යවලට කතා කරන විට කෝපයේ අධි මාත්‍රාව යොදා ගන්නා සරත් ෆොන්සේකා කොකේන් ප්‍රශ්නය හමුවේ නම් පියවි ස්වභාවයක් පෙන්නමින් මේ ආකාරයට අදහස් පළ කළේ ය.. දැන් ආණ්ඩුවේ ඇමැතිවරු හමු වූ විට මාධ්‍යවේදීන් අසන්නේ ජාතික ආර්ථිකය හෝ අයවැය ගැන නොව, ඔබ කොකේන් පාවිච්චි කරනවාද කියාය. අපි අපේ උත්තරීතරම මහජන නියෝජිතයන් ඒ මට්ටමට ගෙන ආවෙමු. මැති ඇමැතින් 24 ක් කොකේන් ගහනවා යැයි රන්ජන් රාමනායක අමාත්‍යවරයා කළ ප්‍රකාශය නිසා ආණ්ඩුව ඒ ගැන සොයා බැලීමට කමිටුවක්ද පත් කර ඇත්තේය. දැන් කොකේන් ගහන මැති ඇමැත්තන් කව්දැයි සෙවීමේ භාරදූර කාර්යයේ උත්තරීතර පාර්ලිමේන්තුව යෙදී සිටින සැටියක් පෙනේ. අපේ පාර්ලිමේන්තුව කී වතාවක් නම් මෙබඳු දේ ගැන සොයා බලා ජනතාවට සත්‍ය පහදා දී තිබෙන්නේද? බැඳුම්කර ගනුදෙනුව කාලයේ බැඳුම්කර මගඩිකරුවන් සමග දුරකථනයෙන් කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 125ක් ඉන්න බව ප්‍රකාශ කළේ ය. මුළු රටක් සති දෙකක් ඒ මන්ත්‍රීන් කවුරුන්දැයි හඹා යන්නට වූහ. එහෙත් ටික දිනකින් ඒ සංඛ්‍යාව තමන් කීවේ කාට හෝ සොයා ගැනීමට බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා කීවේය. ඒ අත්දැකීම ඇති අපේ ජනතාව දැන් රන්ජන් රාමනායක කියන කොකේන් ගහන ඇමැත්තන් කවුරුන්දැයි හෙළිවනතුරු ඇඟිලි ගනිති. සර්වජන ඡන්ද බලය දීර්ඝම කාලයක් භුක්ති වින්ද, එයින් ජනතා නියෝජිතයන් තෝරා යවා දීර්ඝ පුහුණුවක් ලද අත්දැකීම් සපිරි ජනතාව මෙසේ බලා සිටීමෙන් පෙනෙන්නේ කුමක්ද? කොකේන් ගසා ඇත්තේ ජනතාව බවය. ලේ හෝ මූත්‍රා පරීක්ෂාවක් නොකරම කොකේන් ගසන මැති ඇමැතිවරුන් සොයාගත හැකි මානයක් ජනතාවට තිබේ. 2010 සැප්තැම්බර් 08 දා මේ රටේ දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආවේ දෙවතාවකට වඩා ජනාධිපතිවරණයට කෙනකුට ඉදිරිපත් වීමට හැකියාව ලබා දීමටය. එයට එදා 2/3 ක මන්ත්‍රී සංඛ්‍යාවක් අත උස්සා අනුමත කළේ ය. එසේ ඒ අත් ඔසවා වසර හතරකට වඩා ගත වූයේ නැත. 2015 අප්‍රේල් 28 වැනිදා ජනාධිපතිවරයකුට දෙවතාවකට වඩා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට 2/3 ක් එම අත්ම ඔසවා 19 වැනි සංශෝධනය පිළිගත්තේය. පාර්ලිමේන්තු මන්ත්‍රීන් කොකේන් ගසා සිටියේ 2010 දීද, 2015 දී දැයි තීරණය කර ගැනීම පමණි ඉතිරිව අැත්තේ. එසේම හම්බන්තොට චීන සමාගමකට වසර 99 කට බදු දීමට තීන්දුව 2017 දෙසැම්බර් 09 වැනිදා ගන්නා විට කැබිනට්ටුවේ වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප ඇමැතිවරුද සිටියෝය. එදා ඒ කැබිනට්ටුව හම්බන්තොට වරාය චීනයට දීමට අනුමත කළෝය. එහෙත් 2018 ඔක්තෝබර් 26 වෙනි දින ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඒ කැබිනට්ටුවෙන්ද, රජයෙන්ද සපුරා ඉවත් වූහ. එයින් පසු හම්බන්තොට චීනයට දී මත්තල ඉන්දියාවට දීම මහා අපරාධයකැයි කියති. ජනතාව විසඳාගත යුතු ප්‍රශ්නය වන්නේ කොකේන් ගසා අැත්තේ අදද, එදාද යන ප්‍රශ්නයය. දහනව වන ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනාවේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනැයි කියමිනි. එහෙත් එය නිසා දැන් පාර්ලිමේන්තුව විසිරුවා හැර ජනතාවට ඡන්දයක් ලබා දීමට නුපුළුවන. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගෙනා ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභා ඡන්දයවත් පැවැත්විය නොහැකිය. අතීත ලංකාවේ මත්ද්‍රව්‍යයකට තිබුණේ ගංජාය. ගංජාවලට සංස්කෘත බසින් කියන්නේ ත්‍රෛලෝක විජය පත්‍ර කියාය. ගංජා පානය කළ විට යථා ලොව වෙනස්ව පෙනෙයි. යථා ලොව නැති සුව දැනෙයි. තුන්ලොවටම විජයග්‍රහණය කර ඇති බව හැඟෙයි. එම නිසාය ඒවාට තුන්ලොව ජයගත් ත්‍රෛලෝක විජයපත්‍ර කියන්නේ. අපට මේ ත්‍රෛලෝක විජයපත්‍ර පාවිච්චි කිරීම නිසා හිතෙන, කියැවෙන කතා කොතරම් ඇසී තිබේද? ‘දැන් එදාට වඩා ජනතාවට, රටට ප්‍රජාතන්ත්‍රවාදය තිබෙයි. කවුරු පිළි නොගත්තත් නොපෙනුණත් රටේ දැවැන්ත සංවර්ධනයක් සිදු කෙරී ඇත්තේය. මේ කතා දෙස ජනතාව අවධානය යොමු කළ යුත්තේ ත්‍රෛලෝක විජයපත්‍රවල ආස්වාදය නිසා කියැවෙන කතා ගණනටය. තමන් සමග වනයේ කම් සුව විඳිමින් සිටි ගණිකාවක් පලා ගිය පැත්ත දුටුවේදැයි බුදුන්ගෙන් විමසූ බද්ධවග්ගිය කුමාරවරුන්ට බුදුන් වහන්සේ මෙසේ දෙසූහ. ‘‘අනුන් ගැන සොයනවාට වඩා තමන් ගැන සෙවීම උතුම්ය.’’ කොකේන් ගැසූ මන්ත්‍රීන් ගැන සොයන ජනතාවටද කිව යුත්තේ එයය. තමන් කොකේන් මතෙන් මිදී වෙන්නට යන දේ ගැන සිතීම වැදගත්ය.
 

More News..