brand logo

ජනතාවට පුළුවන් තමන් කැමැති ආණ්ඩුවක් ආයේ පත් කරගන්න - මහින්ද

20 June 2019

අඟහරුවාදා කැබිනට් මණ්ඩලය රැස්නොවීම සම්බන්ධයෙන් ‘පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්’ අතර ද සාකචඡා විය. ඒ ප්‍රසන්න, පියල්, ලන්සා, සනත් ඇතුළු පිරිසක් බදාදා දිනයේ විජේරාම පෙදෙසේ පිහිටි විපක්ෂනායක මහින්දගේ නිල නිවසේදී හමුවූ අවස්ථාවේ දී ය. ‘‘කිව්ව විදියට ම ජනාධිපතිවරයා මේ සතියේ කැබිනට් මීටින් එක තිබ්බෙ නෑනෙ... මට පේන හැටියට අගමැති-ජනපති ගැටුම දැන් බරපතළ තැනකට ඇවිත් තියෙන්නේ...’’ ප්‍රසන්න රණතුංග කීවේ ය. ‘‘මේ විදියට ගියොත් රට අවුලෙන් අවුලට යනවා...’’ නිමල් ලන්සා ද කීවේය. ‘‘දෙගොල‍්ලෝ දෙපැත්තට ඇද ඇද ඉන්නවා... ජනතාව තමයි මේකෙන් අමාරුවේ වැටෙන්නේ... මේක දැන් කප්පිත්තෙක් නැති නැවක් වගේ... පාලකයෙක් නැහැ... ආණ්ඩුවක් නැහැ...’’ යැයි කීවේ සනත් නිශාන්ත ය. ‘‘මේ විදියට රටකට ඉස්සරහට යන්න බැහැ... හොඳම වැඩේ තමයි වහාම මැතිවරණයකට යන එක... එහෙම වුණොත් ජනතාවට පුළුවන් තමන් කැමැති ආණ්ඩුවක් ආයේ පත් කරගන්න...’’ මහින්ද පෙන්වා දුන්නේය. ‘‘අපි මුල ඉඳලම ඔය තේරීම් කාරක සභාවට විරුද්ධ වුණේ ඔය හින්දා... අපි එදා ඉල්ලපු දවසේ රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගත්තා නම් ‍මේවා මෙහෙම වෙන්නේ නැහැ... අන්තිමට බොරු තේරීම් කාරක සභාවක් දාලා රටම අවුල් කළා...’’ ප්‍රසන්න කීවේ ය. ‘‘අගමැතිවරයා නම් කරපු අය වැඩ බලන ඇමැතිවරුන් විදියට පත් කළේ නැහැ කියලා කචල් එකකුත් යනවා... අගමැතිවරයා ජනාධිපතිවරයට දෙහි කපලා ලියුමක් යවලයි කියලත් ආරංචියි...’’ ලන්සා කීවේ ය. ‘‘එක පැත්තකින් ජනාධිපතියි අගමැතියි රණ්ඩු වෙනවා... අනෙක් පැත්තෙන් ජනාධිපතියි කථානායකයි රණ්ඩු වෙනවා... පොඩි ළමයි වගේ... 2015දි කරට අතදාගෙන එක පතේ කාපු අය දැන් නයි මුගටි වගේ...’’ පියල් නිශාන්ත ද කීවේය. ‘‘2015 එකට හිටියේ මහින්ද මහත්තයා එළව ගන්නනේ... මහින්ද මහත්තයා බලයෙන් පහ කිරීම හැර වෙන කිසිම අරමුණක් ඔය යහපාලන නඩයට තිබුණේ නැහැ... රටක් ජාතියක් ගැන කිසිම කැක්කුමක් නැති පිරිසක් තමයි යහපාලනේට සෙට් වුණේ... දැන් හරියට ගලේ පහරපු බළල්ලු වගේ...’’ ප්‍රසන්න කීවේ ය. ‘‘බලලෝභය හින්දා රටම අවුල් කරපු මේ යහපාලන නඩය හරිනම් රටෙනුත් පන්නලා දාන්න ඕන... 2015 වෙනකොට හරි මාවතට වැටිලා තිබ්බ රට විනාශ කරලා දැම්ම සාපෙන් නං ගැලවෙන්න පුළුවන් වෙන එකක් නැහැ...’’ පියල් පැවසුවේ කේන්තියෙනි. ‘‘මේ තත්වෙන් රට ගොඩනැගීමේ වගකීම පැවරිලා තියෙන්නේ අපට... මුළු රටම දන්නවා ආණ්ඩුවේ අයට රට ගොඩනැගීමේ හැකියාවක් නැති බව... ඒ හින්දා ඊළඟ වතාවේ ඒ කාටවත් බලය ලැබෙන්නේ නැහැ... ජනතාව දැන් මැතිවරණයක් එනකම් බලාගෙන ඉන්නේ... ඒ හින්දා අපි ඒකට සූදානමින් ඉන්න ඕනේ...’’ මහින්ද පැවසුවේ ය. ‘‘ඒ කතාව හරි... මොකද මිනිස්සුන්ට අපිට බලය දෙන්න ඕනේ වුණාට මේ ආණ්ඩුව පෝෂණය කරන බටහිර ජාතීන්ට ඕනේ වෙලා තියෙන්නේ ඒක නෙමෙයි... ඒ හින්දා මැතිවරණ ළංවෙද්දි නොයෙකුත් බලවේග, මඩ ප්‍රචාර යයි... අපි ඒවාට සූදානමින් ඉන්න ඕනේ...’’ ප්‍රසන්න ද කීවේය. බදාදා දහවලේ විපක්ෂ නායක නිල නිවසේ මේ සාකච්ඡා මේ අයුරින් පැවතෙමින් තිබියදී, අගමැති රනිල් සිංගප්පූරුව බලා පිටත්ව ගියේ ය. ඒ වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයට බඳුන්වීම සඳහාය. මෙම ගමනේදී සුළු සැත්කමකට බඳුන්ව සිංගප්පූරුවේම රෝහලක නැවතී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය බලන්නට ද බලාපොරොත්තුවක් ඇති බව රනිල් සිය සමීපතමයින් කිහිප දෙනෙකුට ම කියා තිබුණි.
 

More News..