brand logo

ජනතාවගේ සෞභාග්‍යය වෙනුවෙන් ඕනෑම අභියෝගයක් භාරගන්නවා

19 November 2020

ජනතාවට සෞභාග්‍යය උදා කරදීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා හෘද සාක්ෂියට එකඟව අවශ්‍ය කරන ඕනෑම පියවරක් ගැනීමට පසුබට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති පදවි ප්‍රාප්තියට වසරක් පිරුණු ඊයේ (18 වැනිදා) ජනතාව අමතමිනි. තමා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවන බවත් නීතියේ ආධිපත්‍ය සැබවින්ම සුරකින හැටි වචනයෙන් නොව ආදර්ශයෙන් පෙන්වා ඇති බවත් ජනාධිපතිවරයා කීවේය. තමා කටයුතු කරන්නේ ජනාධිපති තනතුර වරප්‍රසාදයක් නොව වගකීමක් පමණක්ය යන හැඟීමෙන් යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා මෙසේද පැවසීය. මීට වසරකට පෙර මේ රටේ 69 ලක්ෂයකට අධික ඡන්ද දායකයන් ඔබේ නව ජනාධිපතිවරයා ලෙස මාව පත්කරගත්තා. මට එදා ඡන්දය ලබා දුන්නේ බහුතරයක් සිංහල ජනතාව බව රහසක් නොවේ. ඔවුන් ඒකරාශී වුණේ බෙදුම්වාදයට, අන්තවාදයට, ත්‍රස්තවාදයට සහාය දෙන විවිධ දේශීය මෙන්ම විදේශීය බලවේගයන් හා මතවාදයන් හමුවේ, සිංහල ජාතිය, අපේ ආගම, ජාතික සම්පත් හා පාරම්පරික උරුමයන් විනාශ වීමේ තර්ජනයකට ලක්වෙමින් පවතින බවට සාධාරණ බියක් ඔවුන් තුළ තිබුණ නිසයි. ජනතාව මගෙන් කළ ප්‍රධානතම ඉල්ලීම ' රට බේරාදෙන්න ' යන්නයි. ජනතාව ඉල්ලා සිටි ආකාරයට රට සුරක්ෂිත කරන්නට අවශ්‍ය පියවර අප මේ කෙටි කාලය තුළ ගෙන තිබෙනවා. තවදුරටත් ජනතාව මේ ගැන බිය සැක තබාගත යුතු නැහැ. සියලු පුරවැසියන්ට සාධාරණත්වය මගේ ධුර කාලය තුළ ජාති ආගම් භේදයකින් තොරව, සියලු පුරවැසියන්ට සාධාරණත්වය ඉටුවන, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන, පාලන තන්ත්‍රයක් රට තුළ ඇති කරන අතර, මේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව රටේ ඒකීය බව ආරක්ෂා කරන බවටත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත්, එදා රුවන්වැලි සෑ පුදබිමේදී දුන් ප්‍රතිඥාවට අනුව මා සෑම විටම ක්‍රියා කොට තිබෙනවා. සෑම මසක ත්‍රෛ නිකායික ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශන සභාවක් හමුවී රාජ්‍ය පාලනය පිළිබඳව උන්වහන්සේලාගේ අනුශාසනා ලබා ගන්නා වැඩපිළිවෙළකුත් මා අනුගමනය කරනවා. මා බලයට පත් වූ පසු රටේ ආරක්ෂක අංශවලට සුදුසු නිලධාරීන් පත්කොට ඔවුන්ගේ වගකීම් නොපිරිහෙළා ඉටුකරන්නට බලය ලබා දුන්නා. කඩාවැටී තිබූ බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කොට ඒවා යළි පණගන්වන්නට කටයුතු කළා. අන්තවාදයට යළි ඉඩ නෑ ඒ අනුව මොනම ආකාරයේ හෝ අන්තවාදයකට යළි හිස එසවීමට ඇති ඉඩකඩ අපි පාලනය කොට තිබෙනවා. මත් උවදුර පාලනය කිරීම සඳහා ඉතාමත්ම විධිමත් හා සක්‍රීය වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබෙනවා. අතීතයේ කළාක් මෙන් සිර ගෙවල් ඇතුළත සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නට, පාතාලය මෙහෙයවන්නට මින් මතු ඉඩක් නැහැ. රණවිරුවන් පාවාදෙන, ජාතික සම්පත් විකුණන, කෙටි කාලීන වාසි වෙනුවෙන් ඕනෑම ගිවිසුමක් පිළිගන්නට සූදානම්, විදේශ බලවේගවලට රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට ඉඩදෙන යුගය දැන් අවසන් වී තිබෙනවා. සියලු රටවල් සමග මිත්‍රශීලී සම්බන්ධතා පවත්වන්නට සූදානම්, කිසිදු රටකට ගැති නොවන, බලවත් ජාතීන් අතර ගැටුම්වලට පාර්ශ්වකරුවෙක් නොවන, අභිමානවත්, ස්වෛරී රටක් ලෙස අපි යළිත් අපේ ස්ථාවරය ලොවට පෙන්වා තිබෙනවා. කලාපීය බලවතුන්ගෙන් මෙන්ම ගෝලීය බලවතුන්ගෙන් අද අපට නිසි ගෞරවය ලැබෙන්නෙ ඒ නිසයි. සාම්ප්‍රදායික දේශපාලනයේ ආකල්පමය වෙනසක් ඉතාමත්ම කෙටි කාලයක් තුළ මේ රටේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතියේ ආකල්පමය වෙනස්කම් රැසක් කරන්නට අපට පුළුවන් වී තිබෙනවා. අපි එය පටන් ගත්තේ ජනාධිපතිවරණයෙන්මයි. එදා අපි ප්ලාස්ටික් පොලිතීන් හා පෝස්ටර්වලින් තොර, අපහාස උපහාස හා මඩ ගැසීම වලින් තොර, ප්‍රතිපත්ති මත පදනම් වූ, ආදර්ශමත් ඡන්ද ව්‍යාපාරයක් රටට හඳුන්වා දුන්නා. ඉන් පසු පැවැත්වුණ පාර්ලිමේන්තු මැතිවරණයත් මෑත ඉතිහාසයේ ආදර්ශමත්ම මැතිවරණ ව්‍යාපාරයක් ලෙස නම් කරන්නට පුළුවන්. බහුතරයක් අපේක්ෂකයන් පෝස්ටර්, බැනර්, කට්අවුට් ප්‍රදර්ශනයෙන් වැළකී සිටියා, මැතිවරණ නීති කඩකිරීම් ඉතා අවම මට්ටමක පැවතුණා. හිංසන ක්‍රියා, ප්‍රචණ්ඩත්වය හෝ මැතිවරණ දූෂණ ගැන අසන්නටවත් තිබුණේ නැහැ. මේ වෙනසත් සමග ජනතාව තරාතිරම නොතකා හිටපු දේශපාලනඥයන් බොහෝ දෙනෙකුට පාර්ලිමේන්තු වරම් අහිමි කරන්නට කටයුතු කොට තිබෙනවා. කලකට පෙර 225ම එපා කියන මතවාදයේ සිටි ජනතාවගේ ගෞරවය යළි දිනා ගැනීමේ අවස්ථාව ඒ නිසා නව පාර්ලිමේන්තුවට පත් වී සිටින මහජන නියෝජිතයන්ට ලැබී තිබෙනවා. බලයට පත් වීමෙන් පසුවත් මා කටයුතු කළේ ජනාධිපති තනතුර වරප්‍රසාදයක් නොව වගකීමක් පමණකි යන ප්‍රතිපත්තියේ සිටයි. ඒ අනුව අනවශ්‍ය වියදම්, නාස්තිය, හා පුහු ආටෝපය මුළුමනින්ම පිටු දකින්නට මා කටයුතු කොට තිබෙනවා. ගතවූ කාලය තුළ අපි කිසිදු ආකාරයකින් අධිකරණයට හෝ පොලිසියට බලපෑම් කළේ නැහැ. පත්වීම්, උසස්වීම් සියල්ල සිදුවුණේ දේශපාලන බලපෑම්වලින් තොරව සුදුසුකම් මතයි. නීතිය අවභාවිතයක් නෑ දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය සඳහා නීතිය අවභාවිත කිරීමේ ක්‍රමවේදය අපි මුළුමනින්ම ප්‍රතික්ෂේප කළා. නීතියේ ආධිපත්‍යය සැබවින්ම සුරකින හැටි අපි වචනයෙන් නොව ආදර්ශයෙන් පෙන්වූවා. මා ජනාධිපතිවරයා වශයෙන් පත්වන විට මේ රටේ ආර්ථික වර්ධන වේගය පසුගිය වසර 5 ක පාලන කාලය තුළ විශාල කඩා වැටීමකට ලක්වී 2.1% වැනි ඉතා දුර්වල මට්ටමක තිබුණා. 2014 වන විට 4.3%ක් දක්වා අඩු වී තිබුණ රැකියා වියුක්තිය 2019 වන විට 4.8% දක්වා යළි ඉහළ ගොස් තිබුණා. ඩොලරයට සාපේක්ෂව රුපියල සීග්‍රයෙන් කඩාවැටීම නිසා මූල්‍ය ඒකකය අස්ථාවර වී ආර්ථිකය විශාල අවිනිශ්චිත භාවයකට මුහුණ දී තිබුණා. සංචාරක ව්‍යාපාරය බිඳ වැටෙමින් තිබුණා. විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් වාර්ෂිකව එන ආදායම අඩු වෙමින් තිබුණා. රටේ ණය බර අතිශයින් ඉහළ ගොස් තිබුණා. ජනතාව මත රජය විසින් විශාල බදු බරක් පටවා තිබුණා. ඉහළ පොලී අනුපාතයන් නිසා දේශීය ව්‍යාපාරිකයන් විශාල අසීරුතාවන්ට මුහුණ දී සිටියා. මේ තත්ත්වය පාලනය කරන්නට කඩිනම් පියවර රාශියක් ගත්තා. ජනතාවට හා ව්‍යාපාරිකයන්ට ණය සහන පොලී අනුපාතයන් විශාල වශයෙන් අඩු කිරීම හරහා ණය මුදල් අවශ්‍ය ජනතාවට හා ව්‍යාපාරිකයන්ට සහන ලබා දුන්නා. වසර කිහිපයක් පුරා අඛණ්ඩව කඩා වැටෙමින් තිබුණු විදේශ විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්නට කටයුතු කළා. සීග්‍රයෙන් ඉහළ යමින් තිබූ විදේශ ණය ගැනීම් පාලනය කළා. ඒ වගේම අපේ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානියක් වන්නට ඉඩ නොදී ගෙවන්නට නියමිතව තිබූ සියලුම විදේශ ණය වාරික අපි ගෙවා දැමුවා. පසුගිය රජය විසින් දේශීය සැපයුම්කරුවන්ට නොගෙවා තිබූ හිඟ මුදල් විශාල ප්‍රමාණයක් ගෙවන්නට අපි කටයුතු කළා. පොහොර සඳහා රුපියල් බිලියන 24 කුත්, ඖෂධ සඳහා බිලියන 32 කුත්, ඉදිකිරීම් කටයුතු සඳහා බිලියන 119 කුත්, වැඩිහිටි සහනාධාර සඳහා බිලියන 20කුත්, විවිධ අමාත්‍යාංශ සඳහා සේවා සැපයීම් කළ අයට බිලියන 47 කුත් ගෙවා දැමුවා. පොහොර සහනාධාරය වී මිලදී ගැනීම සඳහා සහතික මිල රුපියල් 32 සිට රුපියල් 50 දක්වා වැඩිකළා. පොහොර සහනාධාරය නොමිලේ දුන්නා. දේශීය කෘෂි නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට ගම්මිරිස් වැනි භෝග ප්‍රති අපනයන තහනම් කළ අතර සමහර කෘෂි නිෂ්පාදන ආනයන කිරීම සම්පූර්ණයෙන් නතර කළා. වී, බඩ ඉරිඟු, ධාන්‍ය වර්ග, අල, ලූනු නිෂ්පාදනය දිරිමත් වන ලෙස ආනයන බදු කළමනාකරණය කළා. එතනෝල් පිටරටින් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කළා. රට පුරා පුරන් කුඹුරු යළි අස්වද්දන, තරුණ පරපුර වගාවට ආකර්ෂණය වන, ජනතාව ගෙවතු වගාවලට යොමුවන ආකාරයේ නව ප්‍රබෝධයක් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඇතිකරන්නට අපට පුළුවන් වුණා. අපේ රටේ අතිශයින්ම දුප්පත් පවුල් ඉලක්ක කරගෙන රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහනක් දියත් කළා. මේ සෑම රැකියා අවස්ථාවක් හරහාම අතිශයින් දිළිඳු පවුලක අනාගතය ශක්තිමත් කිරීම සඳහා අඩිතාලමක් වැටෙනවා. ඒ අනුව මේ වන විට සුදුසුතම පුද්ගලයන් සොයා රැකියා 35,000 ක් ලබා දී අවසන්. ඉතුරු අයටත් ඉතා කෙටි කලක් තුළ රැකියා ලබා දෙනවා. රටේ ධනය වැයකොට අධ්‍යාපනය ලබාදුන් උපාධිධාරීන් විශාල පිරිසක් කාලාන්තරයක් පුරා රැකියා නැතුව සිටිනවා නම් එය අධ්‍යාපන ක්‍රමයේ වරදක්. විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඒ වරද ඉදිරියේදී නිවැරැදි කරන අතරම, මෙතෙක් රැකියා නැතිව සිටි උපාධිධාරීන් 60 දහසකට රැකියා ලබා දෙන්නටත්, රටට ඵලදායි සේවයක් කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය කරන පුහුණුව ලබා දෙන්නටත් අපි කටයුතු කළා. ග්‍රාමීය ජනතාව තුළ දිළිඳුකම පිටු දැකීමේ තවත් පියවරක් ලෙස සින්නක්කර ඉඩම් අහිමි පවුල් 20,000කට අක්කරය බැගින් ඉඩම් ලබා දීමට ක්‍රියාකරමින් තිබෙනවා. අඩු ආදායම්ලාභීන්ට නිවාස 20,000 ක් සෑම පවුලකටම පානීය ජලය ලබා දීමේ අපේ සැලැස්ම යටතේ දිවයින පුරා 429,000 කට ජල සැපයුම් ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු අවසන්වී තිබෙනවා. මාර්ග ලක්ෂයේ වැඩසටහන යටතේ මේ වන විටත් කිලෝමීටර් 10,000 ව්‍යාපෘති 3 ක් ආරම්භ වී තිබෙනවා. පාලම් 10,000 ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ පාලම් 5000 ක පමණ වැඩ අවසන් අදියරට පැමිණ තිබෙනවා. නාගරික අඩු ආදායම්ලාභීන් හා මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් මේ වසර තුළ පමණක් නිවාස 20,000 කට වැඩි ප්‍රමාණයක වැඩ ආරම්භ වී තිබෙනවා. එක ගමකට එක නිවසක් වැඩපිළිවෙළ යටතේ ග්‍රාමීය නිවාස 14,000 ක් ඉදි කෙරෙමින් පවතිනවා. වතු නිවාස 4000 ක් ඉදි කිරීමේ වැඩ ආරම්භ කොට තිබෙනවා. රට පුරා පාසල් 1000 ක් ජාතික මට්ටමට වැඩිදියුණු කරනු ලබනවා. විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය දැනටමත් 10,000 කින් ඉහළ නංවා තිබෙනවා. නිදහසින් පසු එක් වසරක් තුළ සරසවි වරම් ලබන සිසුන් ප්‍රමාණය මෙතරම් ඉහළ ගිය අන් වසරක් නැහැ. ඉදිරියටත් මේ ආකාරයටම වසරක් පාසා විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරන්නට සැලසුම් කොට තිබෙනවා. කොරෝනා ප්‍රතිකාර වියදම රුපියල් මිලියන 70,000 ක් අපි මේ සියල්ල කළේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ නොවේ. අභියෝග රැසක් මැද්දේයි. ජනාධිපති ධුරයේ වැඩ බාරගත් දා සිට පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු මට වැඩ කරන්නට වුණේ සුළුතර ආණ්ඩුවක් සමගයි. පාර්ලිමේන්තුව තුළ බහුතරය තිබුණේ විපක්ෂය සතුව නිසා කිසිදු පනතක් හෝ අයවැයක් සම්මත කර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ලංකාව තුළ පළමු කොවිඩ් රෝගියා වාර්තා වන විටත් අප විසින් ඉදිරියේ ඇතිවිය හැකි කොවිඩ් රැල්ලක් පාලනය කරන්නට කාර්ය සාධක බළකායක් පිහිටුවා සැලසුම් සකස් කිරීම ආරම්භ කොට තිබුණා. ඒ නිසා අපට ඉතා ඉක්මනින් කොරෝනා පළමු රැල්ල පාලනය කරන්නට හැකි වුණා. මේ කාලය තුළ ජන ජීවිතයට වූ ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා රජය ක්‍රියා කළා. අත්‍යවශ්‍ය ආහාර ජනතාවට ලබා ගැනීම සඳහා ක්‍රමවේදයන් සකස් කළා. ආදායම අහිමි වූ පවුල් ලක්ෂ 59ක් වෙනුවෙන් රුපියල් 5000 දීමනාව දෙවරක්ම ලබා දුන්නා. අසීරු කාලය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකම මිල අඩුකිරීම සඳහා බදු සහන ලබා දුන්නා. කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම, ආශ්‍රිතයන් නිරෝධායන‍යට ලක් කිරීම, PCR පරීක්ෂණ හා සුබසාධන කටයුතු සඳහා මේ වන විට රජය රුපියල් මිලියන 70,000 කට වඩා වියදම් කොට තිබෙනවා. මා බලයට පත් වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේයි. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණේ ඉන් මාස 9 කට පසු මේ වසරේ අගෝස්තු මාසයේයි. මේ කාලය තුළ මා ක්‍රියාකළ ආකාරය ඉතා ඉහළින්ම ජනතාව අනුමත කළ නිසා තමයි ඔවුන් අපට පාර්ලිමේන්තු මැතිවරණයේදී 2/3 ක බලයක් ලබා දුන්නේ. මා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවෙයි. කලින් වතාවේ මෙන්ම මෙවරත් අපි ක්‍රියාකරන්නේ සැලැස්මක් ඇතුවයි. රෝගය පැතිරීම සාර්ථකව පාලනය කරනවාට අමතරව රෝගය වැලඳුන බවට හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුකළ අයගේ මරණ සංඛ්‍යාව 0.05 % කට වඩා අඩු අගයක පවත්වාගැනීමට අපේ සෞඛ්‍ය අංශ සමත් වෙලා තිබෙනවා. ඖෂධ මෙරටදීම නිෂ්පාදනයට පියවර විශාල විදේශ විනිමයක් වැයකොට ඖෂධ ආනයනය කරනවා වෙනුවට බොහෝ ඖෂධ වර්ග මෙරට තුළම නිෂ්පාදනය අපි ආරම්භ කොට තිබෙනවා. ඖෂධ ආනයනය තුළ සිදුවන අතිමහත් දූෂණ ක්‍රියා තුරන් කිරීමට අපි කටයුතු කරනවා. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කළේ ඒ සඳහායි. උසස් අධ්‍යාපන ආයතන නොමැති දිස්ත්‍රික්ක 10ක් තෝරාගෙන ඒවායේ නගරාශ්‍රිත විශ්වවිද්‍යාල පද්ධතියක් “CITY UNIVERSITIES” ගොඩනැගීමට සැලසුම් සකස් වෙමින් පවතිනවා. දැනට හෙදියන්ට ලබා දෙන ඩිප්ලෝමා සහතිකය වෙනුවට උපාධියක් දක්වා ඉගෙන ගන්නට අවස්ථාව සැලසෙන පරිදි සියලුම හෙද පුහුණු පාසල් එක් විශ්වවිද්‍යාලයක් යටතට ගන්නට සැලසුම් සූදානම් කොට අවසන්. මේ හරහා විදේශ රැකියා වෙළඳපොළ සඳහා අපේ හෙදියන්ටත් දොරටු විවෘත වෙනවා ඇති. ඉතිහාසයේ ප්‍රථම වතාවට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සෑම දරුවකුටම ඉංග්‍රීසි භාෂාව, පරිගණක තොරතුරු තාක්ෂණය අනිවාර්ය විෂයයන් ලෙස ඉගැන්වීමටත් ඒ සඳහා අන්තර්ජාතිකව පිළිගන්නා සහතිකයක් ලබාදීමටත් අපි කටයුතු කරනවා. විශ්වවිද්‍යාලවලට අලුතින් සිසුන් 10,000 ක් මා පොරොන්දු වූ ආකාරයට උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයකට අවස්ථාව ලබාගැනීම සඳහා, විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවාට අමතරව විවෘත විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කිරීමටත්, දුරස්ථ අධ්‍යාපනය දියුණු කිරීමටත් අවශ්‍ය කටයුතු ආරම්භ කොට තිබෙනවා. ලබන වසරේ විවෘත විශ්වවිද්‍යාලවලට තාක්ෂණික උපාධි සඳහා අලුතින් සිසුන් 10,000 බඳවා ගන්නටත් ඔවුන්ට පළමු වසරේ සිටම රැකියා කරන ගමන් අධ්‍යාපනය ලබාදීමටත් අපි සැලසුම් කොට තිබෙනවා. රටක ප්‍රගමනය සඳහා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඉතා වැදගත්. ඒ නිසා නීති පොතට මුවාවී තම වගකීම් ඉටුකිරීම පැහැරහරින්නේ නැතුව ජනතාවගේ සාධාරණ අවශ්‍යතාවන් කඩිනමින් ඉටුකරදෙන ලෙස මම සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මා විටින් විට රාජ්‍ය දෙපාර්තමේන්තු හා ආයතනවලට යන්නේ මෙය නිසියාකාරව සිදුවනවාද යන්න සොයාබැලීමටයි. ඉදිරියටත් මා මෙය දිගටම කරන්නට බලාපොරොත්තු වෙනවා. අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන්ද නිරන්තරයෙන්ම තම තමන්ගේ ආයතනවල කටයුතු සිදුවන ආකාරය අධික්ෂණය කළ යුතුයි. 20 වන ව්‍යවස්ථා සංශෝධනය රාජ්‍ය පාලනය තුළ නාස්තිය හා දූෂණය පිටුදකින බවට අපි ජනතාවට පොරොන්දු වී තිබෙනවා. ඒ නිසා සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන තුළ නාස්තිය සහ දූෂණය සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගත යුතු අතර මේවාට සම්බන්ධ වන පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා ඇති වී තිබූ ව්‍යාකූල තත්ත්වය 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉවත් කර ගැනීමට අපිට හැකිවුණත් විවාදාත්මක අංශ කිහිපයක් තවමත් ඉතුරුව තිබෙනවා. මේ නිසා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමටත් ඒ සඳහා මහජන අදහස් ලබාගැනීමටත් අපි මේ වන විටත් කමිටුවක් පත්කොට තිබෙනවා. ජනතාව, මට හා අපේ රජයට විශාල බලයක් ලබා දුන්නේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය වෙනස් කොට රට සෞභාග්‍ය කරා ගෙනයාමටයි. ඒ බලාපොරොත්තු ඉටුකිරීමට මාත් මගේ රජයත් කැප වී සිටිනවා. ආර්ථික අභියෝග ජය ගන්නවා මගේ බලාපොරොත්තුව වන්නේ හිතවත්කම්වලට වඩා දක්ෂතාවයට සලකන, පෞද්ගලික අවශ්‍යතාවන්ට වඩා පොදු අවශ්‍යතාවන්ට තැන දෙන, ණයවලට වඩා ආයෝජන දිරි ගන්වන, කතාවට වඩා ක්‍රියාවට ගරු කරන, පුහු ආටෝපයට වඩා සැබෑ ජනතා සේවය අගයන රාජ්‍ය පාලනයක් ඇතිකිරීමයි. දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද මේ සඳහා වගකීමෙන් කටයුතු කළ යුතුයි. අපේ රටට මහා උවදුරක්ව පැවති එල් ටී ටී ඊ ත්‍රස්තවාදය අපට පරාජය කරන්නට පුළුවන් වුණේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසයි. එදා අපේ රටේ බහුතරයක් එක් අරමුණක් වෙනුවෙන් කැපවුණා. කණ්ඩායම් හැඟීමෙන්, විනය ගරුකව අභියෝගයන්ට මුහුණ දුන්නා. අවසන් කළ නොහැකියැයි බොහෝ දෙනෙකු කී යුද්ධය අපට ජයගන්නට පුළුවන් වුණා නම් අනාගතයේ රට මුහුණ දෙන ආර්ථික අභියෝගත් ජයගන්නට පුළුවන් විය යුතුයි. නමුත් ඒ සඳහා අප සියලු දෙනාටම පොදු වගකීමක් තිබෙන බව තේරුම් ගත යුතුයි. රටේ නිෂ්පාදනය ඉහළ නැංවීමට, සේවාවන් කාර්යක්ෂම කිරීමට, දූෂණය පිටුදැකීමට, නාස්තිය අඩු කිරීමට සක්‍රියව දායක වීම මේ අවස්ථාවේදී දේශපාලනඥයන් හා නිලධාරීන්ගේ පමණක් නොව ජනතාවගේද යුතුකම වෙනවා. මා නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දී ජයගත් කෙනෙක්. මා පුහු තර්ජන ගර්ජනවලට බිය වන කෙනෙක් නොවේ. ප්‍රශ්නවලට මුහුණ දී ඒවා විසඳනවා මිස ඒවායින් මිදී පලා යන පුරුද්දක් මට නැහැ. ජනතාවට සෞභාග්‍යය හුදෙක් ඡන්ද අපේක්ෂාවෙන් පමණක් යමෙක් සතුටු කරන්නට මට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය පොරොන්දු වූ පරිදි මේ රටේ ජනතාවට සෞභාග්‍යය උදාකරදීමටයි. ඒ අරමුණ ඉටුකරගැනීම සඳහා හෘද සාක්ෂියට එකඟව, අවශ්‍ය කරන ඕනෑම පියවරක් ගැනීමට මා පසුබට වන්නේ නැහැ. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. ඵලදායී පුරවැසියකු ලෙස, සාමූහික හැඟීමෙන්, විනය ගරුකව කටයුතු කරමින්, ඔබේත් මගේත් මව්බිම සෞභාග්‍යය කරා ගෙනයාමට දායක වන ලෙස මා ඔබ සියලු දෙනාගෙන්ම ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිනවා.
 

More News..