brand logo

ජනතා ගැටළු වලට ජනපතිගෙන් විසඳුම්

18 December 2020

ගම සමග පිළිසදර 03 වන අදියර අද (18) බලංගොඩ ඉඹුල්පේ රාවණාකන්ද ග්‍රාම නිලධාරී වසමේ තෝරවෙල්කන්ද විද්‍යාලයේදී පැවැත් වුණි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවේදී ජනතාව ඉදිරිපත් කළ ගැටළුවලට ජනාධිපතිවරයා කඩිනමින් විසදුම් ලබාදීමට කටයුතු කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ප්‍රධාන වශයෙන් ග්‍රාමීය පානීය ජල, මහා මාර්ග හා සෞඛ්‍ය අංශවල ගැටළු කඩිනමින් විසදීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත. දිවයිනේ අති දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාව මුණ ගැසී ඔවුන්ගේ ගැටළු නිවැරදිව හදුනා ගැනීම මෙම වැඩසටහනේ තවත් අරමුණකි. රාවණාකන්ද ග්‍රාමයට ආසන්න කට්ටඩිකන්ද, ගල්ලෙනකන්ද සහ තෝරවෙල් කන්ද ඇතුලු අවට ප්‍රදේශ ගණනාවක ගම්මු ජනාධිපතිතුමා හමුවී දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට තෝරවෙල් කන්ද විද්‍යාලයට පැමිණ සිටියහ. බලංගොඩ, හැටන් මාර්ගයට පිවිසෙන පුදුකාඩුව හන්දියේ සිට කි.මී 6ක් වූ වලේගොඩ මාර්ගය, රාවණාකන්ද සිට ගල්ලෙන්කන්ද මාර්ගය, තෝරවෙල්කන්ද - වතුකාරකන්ද මාර්ගය සහ එගොඩවලේබොඩ - වතුකාරකන්ද යන මාර්ග ඇතුළු ගම්මාන රැසකට පිවිසෙන අතුරු මාර්ග හදුනාගෙන කඩිනමින් සංවර්ධනය කරන ලෙස ජනාධිපතිතුමා මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මේ මාර්ගවල හමුවන ඌරාඔය සහ ඉමෝඔය හරහා පාලම් ඉදිකිරීම ද ඊට සමගාමීව සිදු කෙරේ. මාර්ග ඉදිකිරීම් සමග කුඩා තේ වතු කර්මාන්තකරුවන් රැසකට තේ දළු ප්‍රවාහනය කිරීමට පහසුකම් සැලසේ. කිතුල් මැදීමේදී බලපාන ගැටළු පිළිබද ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ. කිතුල් මැදීම බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන්නැයි ජනාධිපතිතුමා පොලීසියට, වන සංරක්ෂන සහ වනජීවී නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කිතුල් මැදීම, තේ දළු නෙළීම ඇතුළු එදිනෙදා ජීවනෝපාය සදහා වන සංරක්ෂණ හා වනජීවී භූමිවලට ඇතුල්වන ගම්මුන්ට අත්තනෝමතික ලෙස නඩු පැවරීම නතර කරන්නැයි ද ජනාධිපතිතුමා නියෝග කළේය. ඔවුන්ගේ පාරම්පරික ජීවන රටාවන්ගෙන් පරිසරයට හානියක් නොවන බව අවස්ථා ගණනාවකදීම පැහැදිළි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එම කටයුතුවලට සහය වන ලෙස ද නිලධාරීන්ට පැවසීය. ප්‍රදේශයේ තේ වගාකරුවන්ට අඩුවක්ව පවතින තේ සැකසුම් මධ්‍යස්ථානයක් ඉදි කර දීම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. තේ දළු ප්‍රවාහනයේදී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට පහසුකම් සැලසීමට මැදිහත්වැන්නැයි පළාත් දේශපාලනඥයින්ට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. දීර්ඝ කාලයක සිට ප්‍රදේශයේ ගම්මාන රැසක ජනාතාවට මුහුණදීමට සිදුව තිබෙන ඉඩම් ගැටළු හදුනාගෙන කඩිනම් විසදුම් දෙන්නැයි ජනාධිපතිතුමා අදාළ අමාත්‍යංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය. කරගස්තලාව විද්‍යාලය, සුමන විද්‍යාලය, බලංගොඩ කනගනායගම් දෙමළ විද්‍යාලය, වලේබොඩ දෙමළ විද්‍යාලය, උඩගම විද්‍යාලය, පින්නවල දෙමළ මහා විද්‍යාලය, බලංගොඩ බුද්ධ ජයන්ති විද්‍යාලය, තෝරවෙල් කන්ද විද්‍යාලය ඇතුළු පාසල් රැසක ගුරු හිගයට සහ යටිතල පහසුකම් සංවර්ධනයට කඩිනම් විසදුම් දීමට ද තීරණය කෙරිණ. සබරගමුව පළාතේ උසස් පෙළ විද්‍යා, ගණිත, වාණිජ හා තාක්ෂණ විෂයන් ඉගැන්වීමේදී පවතින දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ හිගය පියවීමට කඩිනම් සැලසුම් සකස් කරන ලෙස ද ජනාධිපති‌ ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙනු ලැබීය. ප්‍රදේශ‌යේ තරුණ තරුණියන් උදෙසා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹීමට ද තීරණය කෙරිණ. පින්නවල ග්‍රාමීය රෝහල, මනතුංගකන්ද ඇතුළු ග්‍රාමීය රෝහල් කිහිපයක වෛද්‍ය, හෙද සහ යටිතල පහසුකම් සංවර්ධනයට කඩිනම් පියවර ගැනීමට ද උපදෙස් දෙනු ලැබිණ. බැංකියවත්ත කසග මුදා හැරීමේ මධ්‍යස්ථානය ප්‍රදේශයේ ජනතාවගේ සෙ$ඛ්‍යයට අහිතකර නොවන ලෙස සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියට පවරනු ලැබීය. ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට විශාල අඩුවක්ව ඇති සුසාන භූමියක් ඉදි කිරීමට සුදුසු භූමියක් වෙන් කර පළාත් පාලන ආයතනයට පැවරීමට ද තීරණය කෙරිණ. තෝරවෙල්කන්ද විද්‍යාලයට ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරනු පිණිස ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතන අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක පද්ධතියකින් සමන්විත "සුහුරු පන්ති කාමරයක්" ප්‍රදානය කළේය. බලංගොඩ ආනන්ද මෛත්‍රී පාසලේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සදෙව් දිනිරුද් ප්‍රනාන්දු සිසුවා කළ "නව නිර්මාණ" ජනාධිපතිතුමාගේ පැසසුමට සහ ඇගයීමට ලක්විය. සිය ශරීර උෂ්ණත්වය තමාම පරීක්ෂාකර, විෂ බීජ හරණය ද එම යන්ත්‍රය මගින්ම සිදු වන ද්විත්ව හැකියාවක් යන්ත්‍රය සතුය. එය සවිකර ඇති ස්ථානය පසුකර යාමේදී උෂ්ණත්වය පරීක්ෂා නොකළහොත් සංඥා නාදයක් ඉන් නිකුත්වීම ද විශේෂත්වයකි. තෝරවෙල්කන්ද විද්‍යාලයේ 02 වසරේ ඉගෙනුම ලබන ඕෂධී චමුදිකා ජයවික්‍රම විසින් රචිත ග්‍රන්ථ 02ක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය. මෙම අවස්ථාවට අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති උපදේශක, අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.  
 

More News..