brand logo

ජංගම දුරකථනයක්වත් නොතිබුණූ පිච්චයි ගූගල් පාලනයට

10 December 2019

සුන්දර් පිච්චයි ඉන්දියානුවෙකි. ඔහු ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාය. ඔබ අද භාවිතා කරන ගූගල් සමාගමේ ජනප්‍රියතම යෙදුම් වන "chrome" වෙබ් බ්‍රවුසරය හා Android Mobile Operating System නිපදවුණේ ඔහුගේ අධීක්ෂණය යටතේය. "Android" යනු මෙතෙක් ලෝකයේ වඩාත්ම ප්‍රචලිත වූ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියයි. ලෝකයේ ජනප්‍රියතම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරන්නට නායකත්වය සැපයූ මේ අපූරු මිනිසාගේ ළමා කාලය ගෙවී යන තෙක්ම ඔහුට ජංගම දුරකථනයක් තබා සාමාන්‍ය ස්ථාවර දුරකථනයක්වත් පාවිච්චි කරන්නට ලැබී නැති බව කිවහොත් ඔබ විශ්වාස කරනවාද ? ඔව්. එය ඇත්තකි. ඔහුගේ කතාව අපූරු එකකි. සුන්දර් පිච්චයි, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ, මදුරෙයි හි මධයම පාන්තික පවුලක උපන් අයෙකි. සුන්දර්ගේ තාත්තා රැකියාවෙන් පෞද්ගලික විදුලි ආයතනයක කාර්මිකයෙකු වූයේය. ඉතින් පිච්චයි පවුලට අගහිගකම් නම් නොඅඩුව තිබිණ. ඔහුගේ පවුලම ජීවත් වුණු මුළු නිවසටම තිබුණේ කාමර දෙකක් පමණකි. ඒ කාමර දෙකෙන් එකක් නිවසේ සාලයට වෙන්වූ අතර, අනෙක් කාමරය ඉතිරි සියලුම කටයුතුවලට පොදු කාමරය වූයේය. ඒ නිසා සුන්දර්ටත්, ඔහුගේ මල්ලීටත් කවදාවත් තමන්ගේ කියන්නට වෙනම කාමරයක් තිබුණේ නැත. ඔවුන් දෙදෙනා නිදාගත්තේත් සාලයේ බිමය. සුන්දර්ට වයස අවුරුදු දොළහක් පමණ වන තුරුම පිච්චෙයි පවුලටම ජංගම දුරකථනයක් තබා නිවෙසට ස්ථාවර දුරකථන පහසුකමක්වත් තිබුණේ නැත. දුරකථනයක් තියා ඒ නිවසේ රූපවාහිනියක්වත් තිබුණේ නැත. සුන්දර්ලාට ඒවා සුඛෝපභෝගී භාණ්ඩ විය. දුරකථනයක්වත්, රූපවාහිනියක්වත් නොතිබුණත් තාක්ෂණය ගැන සුන්දර්ගේ සිතේ තිබුණේ ලොකු උනන්දුවකි. ඒ උනන්දුවේ මූල බීජය ඔහුගේ සිතේ රෝපණය කළේ ඔහුගේ පියා රගුනාත් පිච්චයි විසිනි. විදුලි සැපයුම් ආයතනයක කාර්මිකයෙකු ලෙසින් රැකියාව කළ රගුනාත් හැමදාමත් හැන්දෑවේ වැඩ ඇරී නිවසට පැමිණි විට තම රාජකාරියේ ඇති අභියෝග ගැන තම පුතුන්ට කියා දුන්නේය. බුද්ධිමත් දරුවෙකු වූ සුන්දර් පිච්චයි ඒ සියල්ල හොදින් අසා සිට ගත යුතු දේ ධාරණය කරගත්තේය. සුන්දර් පිච්චයි බුද්ධිමත් දරුවෙකු වූවා සේම, දක්ෂ ශිෂ්‍යයෙකු ද වූයේය. ඕනෑම දුරකථන අංකයක් සැණෙකින් මතක තබා ගන්නට හැකි තරමේ අපූරු මතක ශක්තියක්ද තිබුණු සුන්දර් පිච්චයි පාසැලේ දක්ෂතම ශිෂ්‍යයාද වූයේය. පාසැල් අධ්‍යාපනයෙන් පසුව කාරාග්පූර්හි IIT ආයතනයෙන් උපාධිය ලබාගත් ඔහුගේ විශිෂ්ට තාක්ෂණික හැකියාවන් සලකා බලමින් එම ආයතනය විසින් ඔහුට ඇමරිකාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලබා දෙන ලදී පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබුණද, ඇමරිකාවට යාම පවා සුන්දර්ට ලේසියෙන් කරගන්නට හැකි දෙයක් නොවීය. ඇමරිකා ගමන ගුවන් ටිකට්පතක් ගන්නට තරම්වත් ඔහුට වත්කමක් තිබුණේ නැත. ගුවන් ටිකට්පතකට වැය වෙන මුදල පමණක් ඔහුගේ පියාගේ අවුරුද්දක වැටුපට වඩා වැඩිය. අසීරුවෙන් මුදල් සපයාගෙන ඇමරිකාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයට ගිය සුන්දර් පිච්චයි එතැන් සිට ඉදිරියට ගියේ වේගවත් ගමනකිනි. ඔහුට ගූගල් සමාගමේ රැකියාව ලැබෙන්නේ 2004 අප්‍රේල් 01වනදාය. හරියටම එම සමාගම විසින් Gmail ආරම්භ කළ දිනයේදීය. මහත් කැපවීමෙන් ගූගල් සමාගමේ රැකියාව කළ ඔහු, තම දායකත්වය ලබන ආයතනයේ සියලුම නිෂ්පාදනයන් වල සාර්ථකත්වය හා අලෙවිය ප්‍රබල ලෙසින් ඉහළ නංවන්නට සමත් වූ  හෙයින් ඔහු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා (CEO) බවට පත් වන්නේ 2015 ඔක්තෝබර් දෙවැනිදාය. එපමණක් නොව ගූගල්හි මව් සමාගම වූ "Alphabet" සමාගමේ කොටස් 273,328ක් ඔහු වෙත පවරා දෙනු ලැබිණ. මෙම කොටස් වටිනාකම පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 199ක් වන අතර, එය ඔහුගේ වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 650ක් දක්වා ඉහළ නංවන ලදී. එපමණක් නොව ඔහු අද ගෝලීය තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉන්දියානු සළකුණ බවට පත්ව සිටී. BBC නිම්මි මුදිතා හේරත්
 

More News..