brand logo

ඡන්ද ඔට්ටුවෙන් මට්ටු වූ හැටි

23 November 2019

ඡන්දෙ කාලයට රත්නපුරයේ තරම් ඔට්ටු අල්ලන සූරයෝ ලංකාවේ හතර දිග්බාගයේම නැත. 1977 එවකට පැවති රජය පරාජය වීමෙන් පසුව නිවිතිගල ශ්‍රීලනිපයට ලැදි ප්‍රභූවරයකු නැවත කවදා හෝ තමා ඡන්දය දුන් පක්ෂය බලයට පත්වන තුරුම තමාගේ රැවුල නොකපන බවට තනිවම ඔට්ටුවක් ඇල්ලුවේය. අන්තිමේදී ඔහු රැවුල කැපුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නායකත්වය යටතේ පොදු පෙරමුණු රජයක් බිහි වීමෙන් පසුවය. හරි අපූරු ඡන්ද ඔට්ටු පිළිබඳ රස කතා ඉතිහාසයේ සිටම අපට අසන්නට ලැබුණි. මෙවර ජනාධිපතිවරණය අන් කවදාටත් වඩා විශේෂ වන්නේ දුගී පැලේ සිට රජමැදුර දක්වාම ඈයෝ තම සිත කැමති ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් තම තම හැකි පමණින් ඔට්ටු දැමීම නිසාය. අලව්ව ප්‍රදේශයේ පදිංචි එක්තරා ස්වාමි පුරුෂයකුට ඡන්ද ඔට්ටුවක් නිසා වූයේ ගහෙන් වැටුණු මිනිහට ගොනා දෙපාරක් නොව තුන්පාරක්ම ඇන්නා වගේ අපූරු වැඩකි. හෙතෙම ගෙදර ඇඹේනිය සමගින් ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කරන්නට පෙර දිනය තෙක්ම යස අපූරුවට ජීවත් වූවේය. ගමේ කොයි කවුරුත් පවා මේ දෙපළට ‘කුරුල්ලයි කිරිල්ලියි’ කිව්වේ ඉතාමත් ආදරයෙන් සහයෝගයෙන් ජීවත් වූ බැවින්ය. ඒ හැම ආලවට්ටමක්ම නැති වෙන්න පටන් ගන්නේ ඔහුගේ බිරිඳ පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂට තම සහයෝගය දෙන බව පැවසූ දිනයේ පටන්ය. මොහුත් එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කරන්නට පටන් ගත් දා සිට ගෙදර ඇරඹුණේ එකම ගාලගෝට්ටියක්ය. පොහොට්ටුව වෙනුවෙනුත් හංසයා වෙනුවෙනුත් දෙපිල බෙදී මරාගත් අඹු සැමියෝ දෙදෙනා නොවැම්බර් 17 වැනිදා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලැබෙන තුරුම සිටියේ නයාට අඳුකොළ වගේ තරහින් පුපුරමින්ය. ‘‘තමුසෙ ගෙදරින් යන්න ඕන ගෝඨාභය රාජපක්ෂ දින්නොත් නම්, මම කියන එකකට ඡන්දෙ දුන්නෙ නෑනෙ, තමුසෙට බෑ මගේ ගෙදර ඉන්න’’ සැමියා තම බිරිඳ සමග උරණ වී ඉවසා බැරිම තැන එසේ කීවේය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් විය. ‘‘තමුසෙට මට වඩා ලොකු වුණේ ඡන්දෙ. මම යනවා යන්න ඕනෙ විදියකට ඉන්නවා.’’ ඇය යන්නට ගියාය. අවසානයේ ඔහුට සිදුවූයේ ඔට්ටු දැමූ හංසයකු නිසා ගෙදර ඇඹේනිව නැති කරගන්නටය. ජනාධිපතිවරණය වෙනුවෙන් රැවුල ඔට්ටුවක තැබූ එක්තරා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පිළිබඳව ද ගාල්ල හබරාදූව ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. හබරාදූව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී බී. ඒ. කපිල පුෂ්පකුමාර රැවුලට ආදරය කළේ ගෙදර බිරිඳට වාගේය. ඔහු ඒ තරමටම රැවුල බලා කියා ගන්නේය. ඔහු රැවුල වවන්නට පටන් ගන්නේ මීට අවුරුදු හතරකට පමණ පෙර සිටය. ඒ රාජකීය රැවුල ඔට්ටුවම තැබුවේ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළහොත් අවුරුදු හතරක් මුළුල්ලේ වැවූ රුවුල කපන බවටය. එසේ නොවුණහොත් ජීවිත කාලයටම රැවුලට අත නොතබන බව ද ඔහු පැවසුවේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ජනාධිපතිවරණය ඔහු කිව්වාක් වගේම ජය ගත්තේය. ඊළඟට එළඹුණේ කපිලගේ රැවුල කැපීමේ අවස්ථාවය. ඔහු ඔට්ටු තැබුවා වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ හබරාදූවේ සියල්ලන්ම ඉදිරියේ ඉතා උත්සවශ්‍රීයෙන් මන්ත්‍රීවරයා තම රැවුල කැපුවේය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට අවුරුදු හතරක් තිස්සේ ළමයකු සේ බලා කියාගත් රැවුල අහිමි වූවේය. රැවුලට වඩා වටිනා කියන දෙයක් පදවිය කුඹුක්වැව ප්‍රදේශයේ ගොවියකුට ඡන්ද ඔට්ටුවක් නිසා අහිමි වී ගියේය. ඒ ඔහුගේ ගෙදර ඈයෝ කිසිදිනක බඩගින්නේ නොතැබූ කුඹුරය. ඔහු තවත් දුක් මහන්සියෙන් වගා කළ අක්කරයක පමණ වූ කුඹුර ඔට්ටුවට දැම්මේ සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය වෙනුවෙන්ය. ඔහුගේ පරාජය හමුවේ මොහුට වූයේ තම ​ කුඹුර අතහරින්නටය. ඔහුත් සමගින් ඔට්ටුව දැමූ අනෙකාට අක්කරයක කුඹුරක් හරි අපූරුවට ලැබුණේ එලෙසය. ජනාධිපතිවරණයට ඔට්ටු තැබීමට කැමති පිරිස් වේ නම් කියන්න මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන්ම ඔට්ටු තැබීමට ෆේස්බුක් පිටු පවා අලුතින් නිර්මාණය වූවේය. එම පිටුවල ඔට්ටු මුදල් සහ සම්බන්ධ කර ගැනීමට හැකි දුරකථන අංකයන් ද ඉදිරිපත් කර තිබුණේය. ප්‍රධාන අපේක්ෂකයන් යුගලය ලබාගන්නා ආසන්න ප්‍රතිශතවලටත් ඔට්ටු තැබූ පිරිස් ෆේස්බුකියේ ඕනෑ තරම් සිටියහ. ‘‘ගිගා බයිට් දහයක ඩේටා ඔට්ටුවක්’’ යනුවෙන් ඩේටා ඔට්ටු තැබූ පිරිසක් ද මෙවර ඕනෑ තරම් ෆේස්බුකියේ සිටියහ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික කටයුතුවල නිරත ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක්ම රුපියල් මිලියනයකට වඩා වැඩි මුදල් ඔට්ටු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයන් වෙනුවෙන් ඇල්ලූහ. ජනාධිපතිවරණය වෙනුවෙන් පිල් දෙකකට බෙදී තමන්ගේ පක්ෂ ජයග්‍රහණය කරවීමට කටයුතු කරන්නට අනුරාධපුර නීතිඥ සංගමයේ ප්‍රසිද්ධ නීතිඥවරුන් කිහිපදෙනෙක් ද මෙවර මැතිවරණය වෙනුවෙන් ‘සුඛෝපභෝගී ඔට්ටු’ ඇල්ලූහ. ඒ අතරින් එක් නීතිඥවරයකු පවසා ඇත්තේ ‘‘සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන් මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන බවය’’ යම් හෙයකින් ඔහු පරාද වුවහොත් තමන්ගේ අති සුඛෝපභෝගී මෝටර් රථ දෙකම දෙන බවට ඔහු ඔට්ටුවක් ඇල්ලුවේය. අවසානයේ ඒ නීතිඥවරයාට ඔහු සතුව තිබූ වටිනාම මෝටර් රථ දෙකම අහිමි වී ගියේය. බස්නාහිර පළාතේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී ඉන්දික බණ්ඩාරට උපන් දා සිට තිබූ කොණ්ඩය බූ ගාන්නට සිදුවූවේද ඡන්ද ඔට්ටුවෙන් පැරදීමෙන්ය. දකුණු පළාත් සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා පසුගිය 10 වැනිදා සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයගන්නා බවත් එසේ නොමැති වුණොත් හිස බූ ගාන බවට පැවසීය. හැකි නම් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අයෙක් ඔට්ටුවක් අල්ලන ලෙස විවෘත ආරාධනාවක් කර ඇත. ඔහු සමග ඇල්ලූ ඔට්ටුවෙන් පැරදුණු ඉන්දික හිස බූ ගා ගත්තේය. තවත් අපූරු ඡන්ද ඔට්ටුවක් පිළිබඳව අපට වාර්තා වූයේ අම්බලන්ගොඩිනි. අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වන පී. ඩී. ලක්සරු සහ එම ප්‍රා‌දේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වන කිංස්ලි වීරසිංහ පසුගිය දා ඔට්ටුවක් ඇල්ලුවේ තම මන්ත්‍රීවරුන් අභියෝගයට ලක් කරමිනි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා පැවසුවේ සජිත් ප්‍රේමදාස මෙවර ජනාධිපතිවරණයෙන් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවය. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මෙවර ජයග්‍රහණය කරන බවය. දෙදෙනාගෙන් අයකු පැරදුණොත් තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට ඔවුන් එකඟත්වයට එළඹුණහ. අවසානයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයා ඔට්ටුවෙන් පැරදුණු නිසා ඔහු තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියකින් පක්ෂ මහ ලේකම්ට දන්වා ඇත. නමුත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා ඔහුට මන්ත්‍රී ධුරය අත නොහරින ලෙස පවසා ඇත. වෛරී දේශපාලනයට වඩා සහෝදර දේශපාලනය වටිනා බැවින් එලෙස කටයුතු තුළ බවට මන්ත්‍රීවරයා අපට පැවසුවේය. අශිකා ජයවීර
 

More News..