brand logo

ඡන්දෙ තියන්න කොරෝනා සීරෝ වෙනකම් ඉන්න බෑ

13 May 2020

කොරෝනා තර්ජනය මධ්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා මාර්ගෝපදේශ සකස් කිරීමේදී මැතිවරණ කොමිෂන් සභාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා මහජන ක්‍රියාකාරීත්වය (පැෆරල්) ප්‍රකාශ කරයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ මැතිවරණ පැවැත්වීම සඳහා කොවිඩ්-19 වෛරසය රටින් මුළුමනින්ම තුරන් කරන තුරු බලා සිටීම ප්‍රායෝගික නොවන බවයි. කොවිඩ්-19 වෛරස් අර්බුදය පාලනය කළ හැකි මට්ටමකට ගෙන ආ පසු සුදුසු අවස්ථාවක මැතිවරණය පැවැත්විය යුතු බව ඔහු පවසයි. ප්‍රධාන ඡන්ද විමසීමක් ලෙස තම සංවිධානය ඡන්ද කාඩ්පත් බෙදා හැරීමේ සිට ඡන්ද පත්‍රිකා ගණන් කිරීම දක්වා සමස්ත මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ සෑම පියවරක්ම හඳුනාගෙන ඇති බව හෙතෙම සඳහන් කරයි. "මෙම ක්‍රියාවලියේදී ආසාදිත පුද්ගලයෙකුගෙන් වෙනත් පුද්ගලයකුට රෝගය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා අප ක්‍රියා කළ යුතුයි. දේශපාලන පක්ෂයකට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත නියෝජිතයන් පස් දෙනෙකු යැවිය හැකියි" යනුවෙන් පවසන විධායක අධ්‍යක්ෂවරයා, ගණන් කිරීමේ මධ්‍යස්ථානවල විශාල පිරිසක් දක්නට ලැබෙන බැවින් ගණන් කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය සහතික කරමින් මෙම සංඛ්‍යාව අඩු කිරීම සඳහා යාන්ත්‍රණයක් සකස් කළ යුතු යයි සඳහන් කරයි. ගණන් කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා කැමරා භාවිත කරන ලෙස ඔහු යෝජනා කරයි.   නයන තරංග ගමගේ
 

More News..