brand logo

ඡන්දය දීම වර්ජනය කරන ගම්මානය

21 January 2019

මීළඟ පැවැත්වෙන කිසිදු මැතිවරණයකට තමන්ගේ ඡන්දය ලබා නොදී සිටීමට ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීවලපත හා ගම්මානය ඇතුළු ගම්මාන ගණනාවක ඡන්දදායකයෝ තීරණය කොට තිබේ. පැවති කිසිදු රජයකින් තම ගම්මානයේ පොදු පහසුකම් කිසිවක් සංවර්ධනය නොකිරීම වසර දහයකට පමණ කාලයක සිට ගම්මාන හතකට පිවිසුම් ප්‍රධාන මාර්ගය සංවර්ධනය නොකිරීම නිසා මෙම තීරණය ගත් බව ගලේවෙල මීවලපතහා ප්‍රදේශවාසීහු පවසති. රජයන් වලින් සහ රාජ්‍ය නිලධාරීන් තම ගම්මානයේ මාර්ගය සකසා නොදීම හේතුවෙන් ඔවුහු ගම්මානයේ ට්‍රැක්ටර් රථ යොදාගෙන ‍ මාර්ගය ශ්‍රමදාන මගින් වළවල් වසා ගැනීම 20 පුන් පොහෝ දින සිදු කළහ. ශ්‍රම දායකත්වය ලබාදී මාර්ගය වලවල් වැසීම සඳහා අඩුම තරමේ ප්‍රදේශයේ දේශපාලන අධිකාරියෙන් බොරලු ඇටයක් හෝ ලබා ගැනීමට නොහැකි වූ බව ඔවුහු පවසති. එම නිසා තම ගමේ පදිංචි අයෙකුගේ ළිඳක් කැපීම එම පස් ටැක්ටර් රථවලින් සහ ලොරි රථවලින් ප්‍රවාහණය කරමින් මාර්ගයේ ඇති වළවල් මකා ගැනීම සිදුකරන බව ප්‍රදේශවාසීහු කියති. ගම් දහසයි වැව් දහසයි වැඩසටහන යටතේ මිවලපතහා ගම්මානය යලි පුබුදුන බව ප්‍රකාශ කෙරෙන දැන්වීම් පුවරුවක් තම ගම්මානයේ සවි කොට ඇතැයි ඔවුහු පෙන්වා දෙති. 2018 අගෝස්තු 5 දින පස්වරු තුනට මීවලපතහා වැව ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළ බව සටහන් වෙන විශාල දැන්විම් පුවරුවක් එහි සවිකොට තිබේ. ප්‍රදේශවාසීන් කියා සිටියේ ඇමතිවරු ප්‍රදේශයේ දේශපාලනඥයෝ පැමිණ වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා උදලු වලින් වලවල් දෙකක් හාරා උත්සවය නිමකොට ගිය බවය. පිබිදෙන මීවලපතහා ගම්මානයේ සමාරම්භක උත්සවය නමින් සටහන් කොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරයේ යන මහත්වරුන් ගේ ඡායාරූප සහිත විශාල බැනරය තවමත් එම ස්ථානයේ පවතී. ප්‍රදේශවාසීහු කියා සිටියේ මෙම බැනරය කඩා විනාශ කිරීමට සිත් දුන්නද එහෙත් එසේ නොකරන්නේ තවමත් රජය කෙරෙහි බලාපොරොත්තු තබා ගෙන සිටින නිසාවෙන් බව කියති. කෙසේවෙතත් ඉදිරියේදී කිසිදු දේශපාලන පක්ෂයකට පවතින මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට තම ගම්මානයේ සියලු ජනතාව ඒකමතිකව තීන්දුවකට තීරණයකට පැමිණි බව ඔවුහු පවසති. දඹුල්ල කාංචන කුමාර ආරියදාස
 

More News..