brand logo

ඡන්දයක් ළං වෙනකොට උණුවෙන හදවත්

16 October 2019

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගැන දිනපතා පැමිණිලි ලැබෙමින් පවතින බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත් මැතිවරණ නීති උල්ලංඝනයේ වර්ධනයක් මිස අඩුවීමක් නම් වාර්තා නොවේ. නමුත් ඒ සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. ඇත්ත වශයෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියන අන්දමට මේ සෑම එකක් ගැනම සොයා බලන්නට ගියහොත් කොමිසමට ජනාධිපතිවරණය පවත්වන්නට කාලයක් ඉතිරි නොවනු ඇත. ප්‍රසිද්ධ හා බහුල මැතිවරණ නීති උල්ලංඝනය වන්නේ රැකියා දීම්ය. මේ රැකියා දීමේදී දැන් නම් උස් - මිටි බවවත් සොයා බලන බවක් දැන ගන්නට නැත. ජනාධිපතිවරයා වූ පසු පැය 24 ම රාජකාරි කරන බව කියන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා යටතේ ඇති ආයතනවල වැඩිපුරම රැකියා දෙමින් සිටින්නේ රාත්‍රි කාලයේය. එහෙත් මැතිවරණ කොමිසම මේ පත්වීම් දීම ගැන කිසිවක් නොකියන්නේ ඔවුන් තවම පැය 24 ම රාජකාරියේ නිරත වීම අරඹා නැති නිසා විය යුතුය. මේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමෙන් නම් ‘කප්’ එක දිය යුත්තේ ආණ්ඩු පක්ෂයටය. තමන්ගේ වාසියට රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් ‘හිතේ හැටියට’ අවභාවිතාවේ යොදවන්නට වැඩිම අවකාශය ඇත්තේ ආණ්ඩුවටය. විපක්ෂය මැතිවරණ නීති උල්ලංඝනය නොකරන බවක් මින් ඇඟවෙන්නේ නැත. මෙහිදී විපක්ෂය හා ආණ්ඩුව අතර ඇති වෙනස නම් විපක්ෂයට රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් නොතිබීම පමණය. මැතිවරණ කොමිසම පමණක් නොව මැතිවරණ නිරීක්ෂකයෝද, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගැන කතා කරති. මාධ්‍ය එවැනි සිද්ධි සොය සොයා වාර්තා කරති. එහෙත් ඒවා නැවැත්වීමට ශක්‍රයාගේ මල්ලී වයිමාටවත් හැකිවනු ඇතිද යන්න සැක සහිතය. ඉන්දියාවේ සිට පේදුරුතුඩුවට කොටි සාමාජිකයන් පැමිණීම වැළැක්වීම ගැන කියන්නට හිටපු ගුවන් හමුදාපතිවරයකු වූ හැරී ගුණතිලක එදා ගෙන ආ මෙබඳු උදාහරණයක් මෙහිදී අපට සිහිපත් වේ. ඉන්දියාවේ සිට යාපනයට ත්‍රස්තවාදීන් ඒම නතර කිරීමට නාවික යාත්‍රා සිය ගණනක් යෙදවීම, ගාල්ල - මාතර අතර මාර්ගය හරහා බල්ලන් පැනීම වැළැක්වීමට පැයට සැතපුම් 100 ක වේගයකින් ධාවනය කෙරෙන වාහන 100 ක් යෙදවීමට සමාන බව එදා හැරී ගුණතිලක කීවේය. හැරී ගුණතිලක මහතා එහිදී පෙන්වා දී තිබුණේ සැතපුම් 100 ක වේගයෙන් ධාවනය වන වාහන යොදවමින් මාර්ගය හරහා බල්ලන් පැනීම වැළැක්විය නොහැකි බවය. ඒ අන්දමට කුමන නීති තිබුණත් කවුරු නිරීක්ෂණය කළත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් නම් නැවැත්වීම අර බල්ලන් පාර හරහා පැනීම නතර කිරීමක් බඳුය. බල්ලන්ට කොහොමත් චාරයක් නැත. රැකියා දීම්, විවෘත කිරීම්, පිළිගැනීම්, මුල්ගල් තැබීම් වැනි දේ නැවැත්විය හැකිය. එහෙත් ඡන්දදායකයාගේ විදුලි බිල්පත් ගෙවීම, උකස්කොට සින්න වන්නට යන රන් භාණ්ඩ බේරාදීම වැනි දේ නැවැත්විය හැක්කේ කාටද? කුමන නීතියෙන්ද? අනාගතයේදී මේ අන්දමේ තවත් උපක්‍රම නිර්මාණය කෙරෙනු ඇත. කෙසේ වෙතත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වළක්වාලීම සාධනීය පියවරක් වුවද ඒ නිසා ඇතිවන ප්‍රශ්නයක් තිබේ. එනම් මේ නිසා ආණ්ඩුව විසින් කරගෙන යනු ලබන සංවර්ධන කටයුතු අඩාළ වීමය. එසේම නව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ වීමද ප්‍රමාද වීමය. ආණ්ඩුවේ නිලධාරින් ඇතැම් තීන්දු තීරණ ගැනීම ප්‍රමාද කිරීමය. ජනාධිපතිවරණයක් වේවා, ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමක් වේවා පවතින කාලය තුළ මේ අන්දමට රජයේ කටයුතු ප්‍රමාදය දින දෙකක් නොව මාසයක් දෙකක් පමණ වේ. එවැනි ප්‍රමාද නිසා සිදුවන පාඩු පියවා ගන්නේ කෙසේද? කාගෙන්ද? ​ මේ නිසා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වැළැක්වීමෙන් පාඩුවක් සිදුවන්නේද ජනතාවටම යැයිද කිව හැකිය. බලයට පැමිණි දා සිට ජනතාව අමතකව සිටින දේශපාලකයන්ට යළි ජනතාව සිහිපත් වන්නේ ඡන්දයක් ආසන්න වූ විටය. බලයට පැමිණි දා සිට ජනතාව වෙනුවෙන් කරන්නට තිබූ සියලු දේ ඡන්දයක් පැවැත්වෙන මාසයට, දෙකට කරන්නට ඔවුන් උත්සාහ ගන්නේ ඒ නිසාය. ඡන්ද විමසීමක් ආසන්නයේ රැකියා දීම, උසස් වීම් දීමේ සිට සින්නවන්නට යන රන් භාණ්ඩ බේරාදීම දක්වා වූ සෑම ක්‍රියාවක්ම මැතිවරණ නීති උල්ලංඝනයක් සේ සැලකෙන්නේ, එමගින් ඡන්ද විමසීමට බලපෑමක් ඇතිවනු ඇතැයි යන උපකල්පනය මතය. ඡන්දදායකයාගේ තීරණයට කෘත්‍රිම පෙලඹවීමක් ඇතිවීම නිවැරදි ජනමතය ප්‍රකාශ වීමට බාධාවක් වනු ඇති බවට ඇති විශ්වාසය මතය. එහෙත් මෙරට මැතිවරණ ඉතිහාසය තුළ එවැනි කෘත්‍රිම පෙලඹවීම් මගින් ජනමතය වෙනස් වී තිබේද යන්න කිසිවකු මෙතෙක් සාධක සහිතව ඔප්පු කර නැත. අපගේ අදහස නම් අවසන් මොහොතේ කෙරෙන මෙවැනි කෘත්‍රිම පෙලඹවීම් මගින් ජනමතයේ වෙනසක් සිදු නොවන බවය. බලයේ සිටින කණ්ඩායමක් වැඩි වැඩියෙන් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ජනතා සුබසාධනයට පියවර ගන්නේ නම් ඉන් කියැවෙන්නේ ඒ කණ්ඩායම කෙරෙහි වන ජන ප්‍රසාදය ඉහළ බව සහ ඔවුන්ද ඒ බව තේරුම්ගෙන ඇති බවය. එවැනි අය ගැන ජනතාවගේ තීන්දුවක් අවසන් මොහොතේ දෙන අල්ලසකින් වෙනස් කළ නොහැකි නම් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වැළැක්විය යුතුද?
 

More News..