brand logo

චොකා මල්ලිගේ මන්ත්‍රී පුටුවට කාසිය උඩ දාන්න වේවිද?

31 August 2020

අලුත් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරු 225 දෙනා දිවුරුම් දීමට තිබුණේ මංගල සැසිවාරය ඇරඹුණු ඉකුත් 20 වැනිදාය. එදින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ මන්ත්‍රීවරු දෙසිය විසි දෙදෙනෙක් පමණි. ඒ එජාපය හා අපේ ජාතික පෙරමුණෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කර තිබුණේ නැති බැවින් එම මන්ත්‍රී ධුර දෙක හිස්ව තිබුණේය. පාර්ලිමේන්තුවට නොපැමිණිය අනෙක් මන්ත්‍රීවරයා වූයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලීය. ඔහු ඉන්නේ හිරේය. හිරේ සිටින තවත් මන්ත්‍රීවරයෙක් එදා දිව්රුම් දීමට ආවේය. ඔහු මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ය. බන්ධනාගාර බස් රථයෙන් පිල්ලෙයාන් මැති සබයට ආවේය. චොකා මල්ලී නොආවේය. කෙසේ වෙතත් මීට පෙර නම් ශ්‍රී ලංකා පොදුජන පක්ෂ නියෝජිතයන් ඡන්ද කාලේ කීවේ චොකා මල්ලී හිරේ හිටියත් පාර්ලිමේන්තු එන බවය. නීතිවිශාරදයන් ද සපථ කළේ ඔහුට පාර්ලිමේන්තුවට පැමිණි හැකි බවය. නමුත්, ඊට දින කිහිපයකට පසුව උදා වූ නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී ඔහුගේ ඡායා මාත්‍රයක්වත් පාර්ලිමේන්තුවේදී දැක ගැනීමට ඔහුට ඡන්දය දුන් ලක්ෂයකට අධික රත්නපුර දිස්ත්‍රික්කයේ වැසියන්ටවත් නොහැකි විය. හරියටම කියනවා නම් ඔහු මෙවර රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද එක් ලක්ෂ හාරදහස් දෙසිය තිස් හතක් ලබාගෙන දිස්ත්‍රික්කයෙන්ම දෙවැනියා විය. එපමණක් නොව, ඔහු දෙවැනියා වූයේ කොරෝනා වසංගතය මැඬ පැවැත්වීමට සටන් කළ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිට පමණි. චොකා මල්ලීට කොළ නැති ගහේ යාමට සිද්ධ වූයේ මිනීමරාය. ඔහු මෙන්ම සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අරුණ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ, වජිර දර්ශන ද සිල්වා යන තිදෙනාට මරණ දඬුවම රත්නපුර මහාධිකරණය නියම කළේ ඉකුත් ජූලි තිස්එක් වැනිදාය. ඔවුන් තිදෙනාට එරෙහිව තිබූ චෝදනාව වන්නේ 2015 වසරේදී පැවැති ජනාධිපතිවරණය අතරතුර එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන සහභාගි වීමට සිටි කහවත්ත ප්‍රදේශයේ රැස්වීමකට වෙඩි තබා දෙමටගොඩගේ සුනිල් පෙරේරා හෙවත් ශාන්ත දෙමටගොඩ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමය. මෙම චෝදනාවට වරදකරු වූ චොකා මල්ලී ඇතුළු තිදෙනාටම රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මරණ දඬුවම නියමක කළේය. චොකා මල්ලීට දුන් මරණ දඬුවම පිළිබඳව සමාජයේ ආන්දෝලනයක් ඇති වූ‍යේ එතැන් පටන්ය. ඒ වන විටත් ඔහු මෙවර මහා මැතිවරණයේ අපේක්ෂකයකු ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමතිව තිබුණි. ඒත් මරණ දඬුවම හිමි වූ චොකා මල්ලී ඡන්දයට ඉදිරිපත් වීම ගැන මුලින්ම විරෝධය දැක් වූයේ සමගි ජන බලවේගයයි. මරණ දඬුවමට ලක්වූ ඔහුට පුරවැසිකම අහිමි වන නිසා ඡන්දය ඉල්ලිය නොහැකිය බවත් සමගි ජනබලවේගය නිවේදනය කළේය. නමුත් ඒ කතාවන් පසෙකට දමමින් ඔහු රත්නපුරෙන් දියවන්නාවට පැමිණීම සඳහා අවශ්‍ය ටිකට් පත ඔහුට ලබාදීමට රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව කටයුතු කළේය. කෙසේ නමුදු චොකා මල්ලී මෙදා සැරේ ඡන්දයට පමණක් නොව 2015 මහ මැතිවරණ කාලයේ පවා හුන්නේ රක්ෂිත බන්ධනාගාරයේය. නමුත්, එදා සහ අද අහසට පොළොව මෙන් බොහෝ වෙනස්කම් සහිත මහා මැතිවරණ බව එයට මුහුණ දුන් චොකා මල්ලී පවා නොදන්නා දෙයක් නොවේ. එනම් 2015 මෙම සිදුවීමට ඔහු බන්ධනාගාර ගතවුවත් එහිදී ඔහු සිටියේ සැකකරුවෙක් ලෙසය. එයත් අවුරුද්දකට අධික කාලයකි. නමුත්, එසේ අවුරුද්දක් සිරගත වීම පාර්ලිමේන්තුවට එකල ගැටලුවක් නොවූයේ ඔහු එදා සැකකරුවෙක් පමණක් වීම මතය. ඒත් මෙවර ඔහුට හිමිවූයේ රිමාන්ඩ් බන්ධනාගාරය නොව කොළ නැති ගසයි. ඒ නිසාම තත්ත්වය එදා තරම් ඔහුට මෙවර ලෙහෙසි පහසු නොවීය. නමුත්, මරණ දණ්ඩනය නියම වීමට පෙරම ඔහු නාමයෝජනා බාරදී සිටි නිසා මහා මැතිවණයට ඉදිරිපත් වීම එතරම් ගැටලුවක් වූයේ නැත. එමෙන්ම ප්‍රතිඵල ලැබීමට පෙර අභියාචනයක් ඉදිරිපත් කර තිබූ නිසා ඔහුට ලබාදී තිබූ මරණ දණ්ඩනයෙන් ඔහුව ඉවත් කොට රිමාන්ඩ් රැඳවුවකු මෙන් වෙනත් මැදිරියකට දැමූ බව ජනාධිපති නීතිඥ යූ.ආර්. සිල්වා කීවේය. නමුත්, එසේ වන්නේද ඔහුගේ නඩු විභාගය නැවත අසන තෙක් පමණි. කෙසේ හෝ, වෙනදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු බන්ධනාගාරගතව සිටියදී ඔහුව පාර්ලිමේන්තුවට රැගෙන එන්නේ බන්ධනාගාර නිලධාරීන් විසිනි. එතැන් සිට එම තැනැත්තාව නැවතත් බන්ධනාගාර නිලධාරීන්ට භාරදෙන තෙක් වගකීම ඇත්තේ පාර්ලිමේන්තු පොලිසිය වෙතය. එතැන් සිට සභා ගර්භයට හැර එම මන්ත්‍රීවරයා යන හැමතැනම පොලිස් නිලධාරීහුද පසුපසම යන්නෝය. එදා පාර්ලිමේන්තුවට දිවුරුම් දෙන්නට පැමිණි පිල්ලෙයාන් පසුපස පොලිසිය ආවේය. කෙසේ නමුදු මරණ දඬුවම නියමව සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර අභිනව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය සඳහා සහභාගි වීමට අවසර ඉල්ලා තිබුණි. ඒ සිය මරණ දඬුවමට එරෙහිව අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළ අභියාචනය පාර්ලිමේන්තුවට යොමු කරමිනි. ඉන් පසුව එය පාර්ලිමෙන්තු වේත්‍රධාරී විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත යොමු කර, පාර්ලිමේන්තු රැස්වීමට ඉඩකඩ සලසා දෙන ලෙස ඉල්ලා තිබුණු බවට වාර්තා පළ විය. නමුත්, පාර්ලිමේන්තුවට නම් චොකා මල්ලී පැමිණියේ නැත. එබැවින් අපි ඒ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙණියගෙන් විමසීමක් කළෙමු. ඔහු කීවේ, නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඒ සඳහා ඔවුන්ට අවසරය නොදුන් බවයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව යම් මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවට නොදන්වා මාස තුනකට අධික කාලයක් පාර්ලිමේන්තු නොපැමිණෙන්නේ නම් ඔහුගේ මන්ත්‍රී ධුරය අහිමි වන්නේය. එවැනි මන්ත්‍රී ධුර අහිමි වීම් පිළිබඳව ඉතිහාසය ද සාක්ෂි දරයි. ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටතදී කිසිම පුද්ගලයකු රට දෙකඩ කිරීමට කටයුතු කිරීම සඳහා ආධාර හෝ අනුබල දීම නොඑසේ නම් එවැනි ව්‍යාපාර සඳහා මුදල් යෙදවීම දඬුවම් ලැබිය යුතු වදරක් ලෙස නම් කරමින් 1983 අගෝස්තු පස් වැනිදා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනා 6 වැනි සංශෝධනය පාර්ලිමේන්තුව මගින් සම්මත කරනු ලැබීය. මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම 1983 අගෝස්තු මාසයේ යළිත් දිවරුම් දිය යුතු විය. ඒත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දාසය දෙනාම එම දිවුරුම් මග හරින්නට එතැන් සිට පාර්ලිමේන්තුව වර්ජනය කළහ. නිවාඩු නොලබා තුන් මසක් මැති සබයට නොපැමිණීම නිසා ඔවුන් සියලු දෙනාගේම මන්ත්‍රී ආසන අහිමි විය. එබැවින් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරටත් ඒ සන්තෑසියම සිද්ධ වෙතැයි අනාවැකි පළ වී තිබේ. එබැවින් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ හිටපු මහා ලේකම් ප්‍රියානි විජේසේකරගෙන් විමසීමක් කළාය. ඇය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන පොතක්ද ලියා ඇත්තීය. ඇය කීවේ මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පුද්ගලයකුට පාර්ලි​මේන්තුවට සහභාගි වීම සඳහා අයිතියක් ඇති බවයි. ‘‘අපිට ලැබිලා තියෙන්නේ බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායයි. ඒකේ අවුල් වියවුල් තැන් බොහෝමයක් තියෙනවා. මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් හට පාර්ලිමේන්තුවට පැමිණීමේ අයිතිය තියෙනවා. එය නැවත්වීමට කිසිවකුට අයිතියක් නැහැ. යමෙක් බන්ධනාගාරගතව සිටිනවා නම් ඔහුට පාර්ලිමේන්තු පැමිණීමට කථානායක අවසර දෙන්න ඕනේ. එය අනිවාර්ය සම්ප්‍රදායක්. ඒ මග ගිහිල්ලා තමයි එදා සරත් ​ෆොන්සේකා හිරේ ඉඳලා පාර්ලිමේන්තුවට ආවේ. ඒ නිසා අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙන ප්‍රේමලාල් ජයසේකරට පවා පාර්ලිමේන්තුවට පැමිණීමට අයිතියක් සහ අවස්ථාවක් තියෙනවා.’’ එපමණක් නොව, ඇය සඳහන් කළේ ප්‍රේමලාල් ජයසේකර හට පාර්ලිමේන්තු පැමිණීම සඳහා නීතිපතිගේ අවසරයක් හෝ ඔහුගෙන් මත විමසීමට හෝ අවශ්‍යතාවක් නොමැති බවයි. එය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සතු වගකීමක් බවත් ඇය සඳහන් කළාය. කෙසේ හෝ, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හට පාර්ලිමේන්තු පැමිණීමට අවසර නොලැබුණහොත් සිදුවන්නේ කුමක්දැයි කියා බොහෝ දෙනා සිටින්නේ විමසිල්ලෙනි. චොකා මල්ලීගේ අවාසනාව තවත් අයකුට වාසනාවේ දොරටු විවර කරන්නේය. වාසනාව හිමිවන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ පරාජිත ලැයිස්තුවේ පළමු තැන සිටින අපේක්ෂකයාටය. නමුත්, මෙවර එයටද ගැටලුවක් මතු වී ඇත. එනම්, වෙනදා පරාජිත ලැයිස්තුවේ පළමු තැන සිටියේ එක් අපේක්ෂකයෙක් පමණි. ඒත් මෙවර සමාන මනාප සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයෝ දෙදෙනෙක්ම සිටිති. ඔවුන් එක් අයෙක් වන්නේ රංජිත් බණ්ඩාරය. අනෙක් අපේක්ෂකයා වන්නේ සනි රෝහණ කොඩිතුවක්කුය. ඔවුන් දෙදෙනාම රත්නපුර දිස්ත්‍රික්කයෙන් ගෙන තිබුණේ ඡන්ද පනස් තුන් දහස් දෙසිය හැට එකකි. කෙසේ වෙතත්, සනි රෝහණ කොඩිතුවක්කු විසින් තමන්ගේ මනාපවල අඩුවක් දක්නට ලැබුණු බැවින් නැවතත් ඡන්දය ගණන් කරන ලෙස ඉල්ලීමක් කර තිබුණි. ඒ කොළොන්න ඡන්ද බල ප්‍රදේශයේ එක් ඡන්ද ගණන් කිරීමේ ශාලාවක පමණක් මනාප අංක නැවතත් ගණන් කරන ලෙසය. යම්කිසි මොහොතක ප්‍රේමලාල් ජයසේකර හට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වුවහොත් ඊළඟ අවස්ථාව හිමිවන්නේ කාටදැයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් අපි විමසීමක් කළෙමු. එහිදී ඔහු කීවේ කාසියේ වාසිය මත තේරීම් භාර නිලධාරියා විසින් පාර්ලිමේන්තුවට යා යුතු අපේක්ෂකයාව තෝරා ගන්නා බවය. කෙසේ හෝ චොකා මල්ලීගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වුවහොත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කාසියේ වාසිය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තෝරා පත් කර ගත් පළමු අවස්ථාව වන්නේද මෙයයි. හර්ෂණී දිසානායක
 

More News..