brand logo

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් 2ක් ඇතුළු 13කට කොරෝනා

31 August 2020

ඩුබායි හි පැවැත්වීමට නියමිත ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා සුදානමින් සිටි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් 2ක් ඇතුළු 13 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් මාස ගණනක විරාමයෙන් පසුව ඇරැඹෙන ක්‍රිකට් ක්‍රීඩා දින දර්ශනය නැවත අවුල් ජාලයකට ඇද වැටී ඇති අතර අයි.පී.එල්. තරගාවලිය පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට ඩුබායි වෛද්‍ය අංශ ද උභතෝකෝටික ප්‍රශ්නයක පසුවන බව සඳහන් වේ. ඉකුත් සිකුරාදා(28 වැනිදා) චෙන්නායි කණ්ඩායමේ ක්‍රීඩකයකු වූ දීපක් චහාර්ට කොරෝනා වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර ඉන් පැය කිහිපයක් ගතවන්නටත් මත්තෙන් තවත් චෙන්නායි සුපර් කිංග්ස් නිලධාරීන් 10 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව සඳහන් විය. මේ වනවිට එම සංඛ්‍යාව 13 දෙනකු දක්වා ඉහළ ගොස් ඇති අතර අදාළ ආසාදිතයන් අතර චෙන්නායි ක්‍රීඩක පියුෂ් චව්ලාද සිටින බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පිරිස හැර අවම වශයෙන් තවත් ආසාදිතයන් 10 දෙනකු හෝ වාර්තා විය හැකි බවට එරට සෞඛ්‍ය අංශ සැක පළ කරයි. මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් හි ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු සහ ඉකුත්දා ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් සුරේෂ් රයිනා ඩුබායි සිට ආපසු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. පෞද්ගලික හේතුවක් මත මෙලෙස තමා පිටව යන බව සුරේෂ් පවසා ඇත. ඉන්දියානු මාධ්‍ය වාර්තාවලට අනුව පන්දු යවන්නන් කිහිප දෙනකු, චෙන්නායි කණ්ඩායමේ සමාජ ජාලා මාධ්‍ය කණ්ඩායමේ සාමාජිකයන් සහ කණ්ඩායම් නිලධාරින් කිහිපදෙනකු අදාළ ආසාදිතයන් අතර සිටින බවට සඳහන් වේ. අගෝස්තු 20 සිට 28 දක්වා කාලය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙම තරගාවලිය සඳහා සහභාගී වී සිටි සියලුම කණ්ඩායම්වල පී.සීආර්. පරීක්ෂණ 1,988 ක් සිදු කර ඇති බවත් චෙන්නායි කොවිඩ්පොකුර අදාළ පරීක්ෂණ අතුරින් වාර්තා වූ පළමු අවදානම් පොකුර බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විදෙස් මාධ්‍ය වෙත පැවසීය.
 

More News..