brand logo

චීන මව්වරුන්ට දරු තිදෙනෙකු සඳහා අවසර

02 June 2021

ජනගහණ වර්ධනය අඩුවීමේ ගැටළුවකට මුහුණ දී සිටින චීනය මෙතෙක් එරට ක්‍රියාත්මක කළ පවුල් සංවිධාන ප්‍රතිපත්ති ලිහිල් කිරීමට කටයුතු කරමින් සිටියි. මේ අනුව එක පවුලකට දරුවන් තිදෙනෙකු සඳහා අවසර ලබා දීමට පියවර ගෙන තිබේ.

කාලයක් චීනය තුළ අවසර තිබුණේ එක් පවුලකට එක දරුවකු සඳහා පමණි. 

වසර 40ක පමණ කාලයක් එම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගිණි. 2016 වසරේ එය තරමක් ලිහිල් කරන ලද අතර ඒ අනුව පවුලකට දරුවන් දෙදෙනකු සඳහා අවසර දෙනු ලැබිණි. දැන් එම ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කර තිබේ.

මේ වනවිට චීනයේ ජනගහණ වර්ධනය පහත වැටෙමින් ඇති අතර එරට ශ්‍රම බලකායෙන් වැඩි කොටසක් මහළු වියට ළඟා වෙමින් සිටියි. 

මෙය චීනයේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරන්නක් වීම බලධාරීන්ගේ දැඩි අවධානයට ලක් වෙමින් තිබේ. පසුගිය කාලය තුළ දරුවන් වැඩිපුර හැදීම සඳහා පවුල් දිරිමත් කිරීමට විවිධ පියවර ගන්නා ලද නමුත් තවමත් එරට උපත් ප්‍රමාණය පහත වැටෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. 2020 වසරේ එය වාර්තාගත ආකාරයෙන් පහත වැටී තිබිණි. මෙම තත්ත්වය තුළ 2050 පමණ වනවිට වැඩ කරන වයසේ පසුවන තරුණ ජනතාවට රැක බලා ගැනීම සඳහා ඉතා විශාල මහළු ජනගහණයක් සිටිනු ඇති බවට අනාවැකි පළ වෙයි. මෙය බරපතල සමාජ ආර්ථික ගැටළු ගණනාවක් මතු කරනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම තත්ත්වය තුළ පවුලකට දරුවන් තිදෙනෙකු සඳහා අවසර දීමට තීරණය කර ඇත්තේ ජනාධිපති ෂී ජින්පිං ද සහභාගි වූ එරට කොමියුනිස්ට් පක්‍ෂයේ ඉහළ පෙලේ සාකච්ඡාවකදීය. 2020 වසරේ කරන ලද සංගණනයකට අනුව 1960 වසරෙන් පසු එරට ජනගහණ වර්ධනය අඩුම අගයක් වාර්තා කර ඇත්තේ එම වසරේයි. මේ අතර චීන ජනතාව විශ්‍රාම ගන්නා වයස ඉහළ දැමීමටද තීරණය කර තිබේ. එමෙන්ම වියපත් ජනතාව වෙනුවෙන් වැඩි සෞඛ්‍ය පහසුකම් ඇති කිරීමටත්, විශ්‍රාම වැටුප් වැඩි කිරීමටත් තීරණය කර ඇත. සහන් වික්‍රමගේ  
 

More News..