brand logo

චීන බඩු නැතිව ලංකාව නැතිවෙයිද

25 May 2020

ලංකාවේ එවුන්ට හරියට අල්පෙනෙත්තක්වත් හදාගන්න පුළුවන් දැයි, මෙරට දේශීය කර්මාන්තය ‘ලෝකල් බඩු’ ලෙස අවඥාවට ලක් කරන පුද්ගලයන්ගේ මතයයි. ඒත් ඉතිං දේශීය කර්මාන්තකරුවන්ගේ ඉලක්ක දැන් වසර 50 ක් තිස්සේ එස්කිමෝවෙක්ට ෆ්‍රිජ් එකක් විකිණීමයි. ඒත් තාම අපේ රටේ එස්කිමෝවන්ට තියා ‘ඉතියෝපියන්ස්ට’ වත් ෆ්‍රිජ් එකක් අපනයනය කරන්නේ නැත. 77 ට පෙර මෙරට බොහෝ කර්මාන්තශාලා හැඳින්වූයේ අග්නිදිග ආසියාවේ විශාලතම කර්මාන්ත ශාලා ලෙසය. ඒ නිසා ලංකාවේ ගහපු ඉරිදා පත්තරයක ‘ස්ලෝගන්’ එක වුණෙත් ‘අග්නිදිග ආසියාවේ වැඩියෙන්ම විකිණෙන පුවත්පත’ ලෙසය. මේ සියලු කරුණු පැත්තක තියෙද්දී අපට නොදැනුවත්වම දැන් වෙළෙඳපොළ ‘චීන ආක්‍රමණයකට’ හසු වී ඇති බව පෙනී ගියේ කොරෝනා වසංගතයත් සමග චීන ආනයනවලට තහංචි පැනවෙන නිසාය. ආර්ථික විද්‍යාවේදී විග්‍රහ කෙරෙන ආනයන ආදේශන හා අපනයනාභිමුඛ කර්මාන්ත සියල්ල දැන් දැවැන්ත චීන බූවල්ලා විසින් ආක්‍රමණය කොට අතික්‍රමණය කොට හමාර බව අපට ප්‍රායෝගිකව ඒත්තු ගන්වා හමාරය. ලංකාවට ‘සෙල්ෆෝන්’ නොහොත් ජංගම දුරකථන ආනයනය වූයේ 90 දශකයේය. මෝටරෝලා නම් එම නිෂ්පාදනය ඇමෙරිකන් එකක් විය. හඳුන්වා දීමේ මිල රු. 175,000 කි. එදා අපට ජංගම දුරකථනයක් නොහොත් සෙල්ටෙල් එකක් ගැනීම සිහිනයක් පමණක් විය. මේ සිහිනය මුළු ලෝකයටම සැබෑ කළේ දෙදහස වසරින් පසු චීන ජංගම දුරකථන වෙළෙඳපොළට පිවිසීමත් සමගය. ඒවා බොහෝමයක් ලෝක ප්‍රකට ජංගම දුරකථනවල ‘ඩුප්ලිකේට්’ ඒවා විය. එදා ලංකාවට රුපියල් 175,000 ට හඳුන්වා දී තිබූ ජංගම දුරකථනය අන්තිමට චීනා රු. 1000 ට බැස්සුවේය. සුපිරි භාණ්ඩයක් වූ සෙල්ටෙල් එක අන්තිමට පොල්ගහට නැග කඩන්නට අවශ්‍ය පොල් ගණන අහන තත්ත්වයට පත් විය. මෙරට ජංගම දුරකථන තොග වෙළෙඳපොළ ඇත්තේ දැන් චීන ඒකාධිකාරියකි. මේ තොග වෙළෙඳුන් පවසන්නේ මේ බොහෝ කර්මාන්ත ශාලා වෛරසය හේතුවෙන් වසා දැමීම හා ආනයනය සීමා, විදේශ විනිමය ප්‍රශ්න, නැව්ගත හා ගුවන්ගත කිරීමේ බාදා නිසා දැන් තිබෙන තොගය අවසන් වූ විට ලංකාවට එන ‌මොබයිල් ෆෝන් කලක් යනතුරු දක්නට නොලැබෙනු ඇති බවය. ඒ සමගම ෆෝන් චාජර්, ෆවර් බෑන්ක්, හෑන්ඩ් ෆ්‍රී, බ්ලූටූත්, ආදී අමතර උපාංග දැනට ඇති තොග ඉවර වූ විට මෙරට වෙළෙඳපොළ තුළ ඇතිවන අර්බුදය මහ බැංකුවවත් ගණන් හිලව් බලා නැත. පසුගියදා මත්පැන්හල් තහනමත් සමග කරලියට ආවේ ගෘහ කර්මාන්තයක් ලෙස හා මහා පරිමාණයෙන් කසිප්පු නිෂ්පාදනයයි. කසිප්පු හදන්නට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ යීට්ස්ය. චීන ආක්‍රමණයට පෙර ලංකාවේ වෙළෙඳපොළේ තිබුණේ බ්‍රිතාන්‍යයෙන්, ඔස්ට්‍රේලියාවෙන් හා ප්‍රංශයෙන් ගෙනා ලොව නොම්මර 1 දිනූ යීස්ට්ය. චීන යීස්ට් වෙළෙඳපොළ ආක්‍රමණය කළේ පැවති මිලෙන් භාගයකටය. ඒ කියන්නේ යීස්ට් හදන කප් කහපු රටවල යීස්ට් ග්‍රෑම් 500 පැකැට්ටුවක් ගන්න විට චීන යීස්ට් කිලෝවක් ගත හැකි විය. අන්තිමට ලංකාවේ කේක් හදන්නට ප්‍රචලිත පරණ මාළු මාකට්ටුව අසල තොග කඩ ‘චීන යීස්ට්වලින්’ පිරී ඉතිරී යන්නට විය. දැනුත් රාත්‍රියේ දැක ගත හැකි දසුනක් නම් මෙ‌​ෙතක් චීනයෙන් තොග ඇනවුම් කොට ගෙනා යීස්ට් කන්ටේනර් බානු දැකගත හැකි අතර ඒවා ඉවර වූ පසු කසිප්පු නිෂ්පාදකයන්ට සිදුවන්නේ රාමන්ඩිවලින් හදන ස්වභාවික යීස්ට්වල පිහිට පැතීමටයි. වෙළෙඳපොළේ ඇති සෝනි, සැම්සුන්, සැනයෝ, පැනසොනික් වෙළෙඳ නාමයන් පමණක් නොව සිංගර් වැනි විදුලි උපකරණද නිෂ්පාදනය කරන්නේ චීනයයි. ඒ අතර කැති, මිටි, රේඩියෝ, බ්ලෙන්ඩර්, මයික්‍රොවේව් අවන්, වොෂින් මැෂින් ආදී එකී මෙකී භාණ්ඩ ඇත. චීන නිෂ්පාදන ලංකාවට ආනයනය තහංචි වැටීම ඩොලරයේ අගය ඉහළ යාම හා චීන නිෂ්පාදන අඩපණ වීම ආදී කරුණු නිසා අවසන් ප්‍රතිඵලය ලංකාවේ විදුලි උපකරණ දැවැන්ත හිඟයකට මුහුණ පෑම නොවේද? අනූව දශකයේ ලංකාවේ වෙළෙඳපොළට පරිගණක පිවිසුන විට එය සුඛෝපභෝගී භාණ්ඩයක් විය. එදා වෙළෙඳපොළේ තිබුණේ අයිබීඑම්, ඇපල් පරිගණක පමණි. එදා ඇපල් පරිගණකයක් රුපියල් ලක්ෂ 3 කට ආසන්න විය. ඔය කියන සන්දියේ බම්බලපිටිය යුනිටි ප්ලාස් එක තිබුණේ බිස්නස් නැතුව වේළි වේළීය. එහි තිබුණ එකම රාජ්‍ය ආයතනය ප්‍රේමදාස ජනපතිගේ ‘ජනසවිය’ කාර්යාලයයි. ඒත් ඉතින් චීනා කොම්පියුටර් ඇක්සසරි බිස්නස් එකට බැස්සට පසු මෙරට කුඩා දරුවකුට වුවත් යුනිටි ප්ලාසා ගොස් කොම්පියුටරයකට අවශ්‍ය උපාංග මිලදී ගෙන කොම්පියුටරයක් එකලස් කර ගැනීම සුළු දෙයක් විය. එය රුපියල් 50,000 කටත් අඩු විය. ඉන්ඩිසයින්, කොරල්ඩ්‍රෝ, ප්‍රිමියර්, යූලිස්, ඉලස්ට්‍රේටර්, ෆෝටෝෂොප් ආදී මෘදුකාංගවල චීන ඩුප්ලිකේට් නොඑන්නට අපට තාමත් එවා සිහිනයක් පමණක් විය හැකිව තිබුණු බව කිව යුත්තේ කෘතඥතාව​ෙයනි. දැන් යුනිටි ප්ලාසා වෙළෙඳුන් කියන්නේ කොම්පියුටර් ගන්නවා නම් දැන් ඉතිං ඉක්මනින් අරන් තියන ලෙසය. ආයි ඉතින් චීනයට ගොස් පෞද්ගලිකව ගුවන් යානයකින් ගෙනාවොත් මිස ලංකාවේ චීන කොම්පියුටර් ඇක්සසරීස් දැකගත නොහැකි බවය. ලංකාවේ ඒ සන්දියේ ඇණ ගහන මිටියක මිටක් කැඩුණු විට, සවලක මිටක් කැඩුණු විට ලී මිටක් සොයා ගැනීම සිරිතය. චීනා ඉදිකිරීම් ක්ෂේත්‍රයට කළ වෙනස ලී මිට ගහන එක කුණු බක්කියට විසිකොට ලී මිට ගගන මිලට අඩුවෙන් චීනෙන් මිටි, සවල් ලංකාවට එවීමය. දැන් ඉතින් කියත්, නියං, පවර් ටූල් නොහොත් ඩ්‍රිල්, ග්‍රයින්ඩර්,වයිබ්‍රේටර්, කොම්ප්‍රෙෂර්, ඇතුළු සියලු ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ චීනයෙන් ගෙන එන නිෂ්පාදන නිසා චීනය අපට අමතක කළ නොහැකිම රටකි. ඒ නිසා කොණ්ඩ කටු, ආයකටු, අල්පෙනිති, ඉඳිකටු අපට හදන්නේ චීනාය. ඒ තියා අපේ මේ හදන කුකුලකු, ඌරකු, හරකකු මස් සේ උයා කෑමෙන් පසු දත් අතර රැඳුන මස් කැබලි ඉවත් කරන්නට ගත්න ‘ටූත් පික්’ කූරු එන්නෙ චීනයෙනි. කොරෝනා වෛරසය ලංකාවේ පැතිරීමත් සමග ජනාධිපතිතුමා රු. 100ට අපේ මිල නියම කළ සැමන් ආවේ චීනයෙනි. අප එය රස කර කන සුදු ලූනු වෙළෙඳපොළේ දැන් ඇත්තේ චීන ආක්‍රමණයකි. අප දේශීය නිෂ්පාදන ලෙස හඳුන්වා කන බොහෝ දේ චීනයෙන් ගෙනවිත් ලංකාවේ පැකට් කරන ලද ඒවාය. ජපන්, ඉන්දියන් නිෂ්පාදන අබිබවමින් හෙයාඩයි වෙළෙඳපොළ ‘බ්ලැක් ෂැම්පු හෙයා’ ලෙස ආක්‍රමණය කළේ චීන නිෂ්පාදනයන්ය. මූණේ උලන, ඉන්දියන් ආලේප හැර , සියලු සුවඳ විලවුන්, බොඩි ස්ප්‍රේ, හෙයා ජෙල් ආදියද නිෂ්පාදිත රට බැලුවොත් චීනයයි. ඒ කාලේ අප පාන් කැපුවේ ලංකාවේ කම්හලක හදපු පිහියකිනි. කිසිදු නිමාවක් නැති කිණිහිරය මත තබා තළා ලී මිටක් ගැසූ එම පිහිය දැන් බොහෝ ගෙවල්වල ඇත්තේ අනවශ්‍ය බඩු දාන කාමරයේය. ඒ වෙනුවට දැන් ලංකාවේ ඇත්තේ ලෝක ප්‍රකට පිහි හදන ‘කිවි’ වැනි වෙළෙඳ නාම ඇති චීන පිහි වර්ගයි. ලංකාවේ වානේවලින් හැදූ පාන් කපන පිහියක් රුපියල් පන්සියකට මිල වෙද්දී පිටකොටුවේදී පාන් කපන්න, බටර් ගාන්න පුළුවන්. පිහි දෙකක් රුපියල් සියයකට මිලදී ගත හැකිය. ඒ සමග රු. 20 පමණ කුඩා පිහියක් වෙළෙන්දා නොමිලේ දෙන්නේ විනෝදයට මෙන් ‘ලූනු’ කපා ගන්නට විය යුතුය. කොරෝනාවත් සමග දැන් ලංකාවේ පාසල් සිසු සිසදුවියන් මාස 2කට ආසන්න කාලයක් නිවසේ කාලය ගත කරයි ඔවුන් මේ නිවාඩු කාලයේ සෙල්ලම් කළ සෙල්ලම් බඩුවලින් බහුතරයක් චීන නිෂ්පාදනයන්ය. චීන සෙල්ලම් බඩුවලට ඇති ප්‍රධාන චෝදනාව ඒවා දරුවන්ට නුසුදුසු විස සහිත. ප්ලාස්ටික් වර්ගවලින් නිෂ්පාදනය කරන බවකි. ආයේ දරු දැරියන්ට පාසල් යාමට අවශ්‍ය පැන්සල්, ඉරේසර්, කවකටු පෙට්ටි, බ්‍රවුන්පේපර්, පාට පෙට්ටි, පාට පැන්සල්, පෙන්සිල් කේස්, ස්කූල් බෑග් ඔක්කොම චීන නිෂ්පාදනයි. සිරිලක නිෂ්පාදන ලෙස කයිවාරු ගහන එක්සයිස් පොත්වලට යොදා ගන්නා 60GSM වයිට් බෑන්ක් මෙන්ම කවරය මුද්‍රණය කරන 210GSM ආර්ට් බෝඩ් හෝ වයිට් බැක් බොක්ස් බෝඩ්ද චීනයේ නිෂ්පාදිතයේ ඒවා බව ඉස්කෝලේ නම් උගන්වන්නේ නැත. ඔබ අද මේ කියවන පුවත්පත මුද්‍රණය කරන යාන්ත්‍රික අංගය කෙරෙහි චීන ආක්‍රමණය වෙනම ලිපියක් ලිවිය හැකිය. ලංකාවේ වෙබ් ඕෆ්සෙට් නොහොත් පත්තර මුද්‍රණය කරන්න ගත් දා ඒ යුගයේ ඒ සඳහා ඕෆ්සෙට් ප්ලේට් ආනයනය කරන ලද්දේ බටහිර ජර්මනියෙන් සහ ඉතාලියෙනි. ඉන්පසු එය ඉන්දියාව ආක්‍රමණය කළේ ‘මිල සාධකය’ පදනම් කරගෙනය. ඒත් දැන් සීටීපී (computer to Plate) ක්‍රමවේදයේ යොදාගන්නා ප්ලේට් වෙළෙඳපොළ ආක්‍රමණය කොට ඇත්තේ චීනයයි. ඊටත් වඩා ඔබ පාරේ දකින ෆ්ලෙක්ස් බැනර්, ඒවා මුද්‍රණය කරන දැවැන්ත ප්‍රින්ටර්, ෆ්ලෙක්ස් ඉන්ක්, ස්ටිකර් ඔක්කෝම එන්නේ චීනෙන්ය. මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ චීනය යනු අපට අත්‍යවශ්‍ය මෙන්ම තරහ කරගත යුතු නැති, මිත්‍රශීලී කාටත් වඩා අපේ රටට අවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදන අපේ රටටත් වඩා අඩු මිලට හදා එවන රටක් බවය. මේ ලිපියට අදාළ වූ චීන නිෂ්පාදනවලට වඩා වැඩි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමාණයක් දැන් චීනය ආක්‍රමණය කොට හමාරය. චීන ආක්‍රමණයෙන් බේරුණේ බුලත් විට, බිස්කට්, සැමන් හා කසිප්පු වාගේ දේශීය නිෂ්පාදන කීපයක් පමණි. වෙළෙඳපොළේ ගෝල්ඩ්ලිෆ් සිගරැට්ටුව යැයි රවටා දෙන ගෝල්ඩ් සීල් සිගැරැට්ටුවද චීන නිෂ්පාදනයකි. අවසන් වශයෙන් පැවසිය හැක්කේ චීන නිෂ්පාදන නැවත එනතුරු දැනට ලංකාවේ ඇති චීන නිෂ්පාදන භාවිතයෙන් පසු ඇතිවන්නේ නියම ‘ලොක් ඩවුන්’ එක බව නොවේද? වජිර ලියනගේ
 

More News..