brand logo

චීන ආණ්ඩුව පාර නොහැදුවේ මහින්දට උදව් කරන්නයි

14 July 2019

ආණ්ඩුව ප්‍රශ්නවලින් පිරිලා. ඉස්සර ඒකට හේතුව විදියට කිව්වේ පක්ෂ 2 ක් ආණ්ඩු කිරීම කියලයි. දැන් තියෙන්නේ තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. ඒත් ඇයි මේ ප්‍රශ්න? අවංකවම කියනවා නම් මේ ප්‍රශ්නවලට මුල ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් අතර තිබෙන ගැටුම. අද ඇත්තටම මේ දෙන්නා අතර ගැටුමක් තියෙනවානේ. තවමත් ආණ්ඩු 2 ක් වගේ තමයි යන්නේ. එක පැත්තකින් ජනාධිපතිගේ ආණ්ඩුව තියෙනවා. අනිත් පැත්තෙන් අගමැතිගේ ආණ්ඩුව තියෙනවා. ඕක තමයි ඇත්තම තත්ත්වය. යහපාලන ආණ්ඩුව පටන් ගත් දා ඉඳලම තත්ත්වයත් ඕකම තමයි. මෛත්‍රීපාල ජනාධිපතිතුමා දින්නට පස්සේ වැඩ කරන්න තිබුණේ අපිත් එක්ක. ඒත් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වුණා. එතුමාට විරුද්ධව වැඩ කරපු කීප දෙනෙක් කැබිනට් එකට දාගත්තා. ඒ අය යහපාලන දර්ශනය ගැන නොදන්න, හැඟීමක් නැති අය. එදා ඉඳලම ඒ අය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කකුලෙන් ඇද්දා. දේශපාලන පළිගැනීම්වලට සාධාරණය ඉටුකිරීම, ආයෝජන හම්බන්තොට වරාය සංවර්ධනය වගේ ඒවා කරන්න දුන්නේ නැහැ. මේ කට්ටියට ජනාධිපතිගේ ජයග්‍රහණය ගැන හැඟීමක් තිබුණේ නැහැ. හැඟීමක් තිබුණේ අපිට. ඒ වගේම අද අපේ පක්ෂයෙන් ආසන දිනපු නැති, දිස්ත්‍රික්ක දිනපු නැති අය ජනාධිපතිට වැඳගෙන ඉන්නවා තනතුරු ආරක්ෂා කරගන්න. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයෝ කී දෙනෙක් ඉන්නවද? අපේ අපේක්ෂකයා තෝරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමයි, කෘත්‍යාධිකාරී මණ්ඩලයයි. පොහොට්ටුවේ අපේක්ෂකයා තෝරන්න ශිරාණියි, මහින්දයි. බැසිලුයි, . ගෝඨයි, නාමලුයි, චමලුයි, ශෂීන්ද්‍රයි සහභාගි වුණේ. ඒත් එක් එක් අය එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ගැන විවිධ නම් කියනවා? සමහරු අදහස් ප්‍රකාශ කරනවා ඇති. එක් එක් අයට එක එක න්‍යාය පත්‍ර තියෙනවානේ. සමහරුන්ට ඕනෙ වෙලා තියෙනවා ඒ අයට පාලනය කරන්න පුළුවන් අපේක්ෂකයෙක් දාන්න. ඕක තමයි යථාර්ථය. සාමාන්‍යයෙන් අගමැතිවරයා කාටවත් බටර් ගාන කෙනෙක් නෙවෙයි. හැබැයි ඔබට හොඳ බටර් පාරක් ගෑවා. දින 52 දී ඔහුට අවංකවම වැඩ කළේ කිරිඇල්ල ඇමැතිවරයා කියලා? ඉතිං ඒක ඇත්තනේ. ඇත්ත වශයෙන්ම අපිත් එක්ක හිටපු හුඟ දෙනෙක් ජනාධිපති එක්කත් ඩීල් දැම්මා. ඒක අගමැතිවරයා දන්නවා. නමුත් ඒක කියාගන්න බැරිව හිටියේ. පසුගිය සතියේ ඒ ගැන අගමැතිවරයා කිව්වා. මාත් එක්ක එකට හිටගන්නේ නැතිව ජනාධිපති එක්ක හිටගන්නවා. ඇමැතිවරුන්ට දිවුරුම් දෙන්න එපා කිව්වම ගිහිල්ලා දිවුරුම් දෙනවා කියලා. අනික ජනාධිපති කරන වැරදිවලටත් අගමැතිට කට්ටිය බණිනවා. මම පාර්ලිමේන්තුවේ කරන සේවයත් විශේෂයෙන්ම ඇගයීමට ලක් කළා. ඒ ඇගයීම ගැන මොන වගේ හැඟීමක්ද ඇති වුණේ? මම අවංකවම පුදුමයට පත් වුණා. අගමැතිතුමාගෙන් ඒ වගේ වචනයක් ගන්න එක ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ අමාරු වැඩක්. මධ්‍යම අධිවේගය හීනයක්ද? නැහැ. අධිවේගී මාර්ගයක් හදනකොට අමාරු දේ මුල පටන් ගන්න එක. පසුගිය ආණ්ඩුව මහනුවර අමතක කළා. කව්ද බෙලිඅත්තට අධිවේගී මාර්ග ඉල්ලුවේ. අධිවේගී මාර්ගය ඕන වුණේ මහනුවරට. 2005 දී මහින්ද රාජපක්ෂ මහනුවර පැරදුණු වෙලේ ඉඳලා නුවර එක්ක තිබුණේ තරහක්. අපේ ආණ්ඩුවෙන් මේ අධිවේගයේ කටයුතු පටන් ගත්තා. මේකෙ කොටස් 3 ක් තියෙනවා. කඩවත- මීරිගම, මීරිගම - කුරුණෑගල, කුරුණැගල - මහනුවර වශයෙන්. මේකේ මැද කොටස මීරිගම කුරුණෑගල මේ අවුරුද්දේ අවසන් කරනවා. මම මහාමාර්ග ඇමැති විදිහට මේ කොටස දේශීය සල්ලිවලින් අපේ කොන්ත්‍රාත්කරුවන්ට හදන්න දුන්නේ. කඩවත - මීරිගම මාර්ගයත් හදන්න දැන් චීන සමාගමක් ගිවිසුම් අත්සන් කළා. මට නම් හිතෙන්නේ චීන ආණ්ඩුව හිතාමතාම මේක හදන එක ප්‍රමාද කළා. මහින්ද රාජපක්ෂට උදව් කරන්න. අවුරුදු 4 ක් මේකේ වැඩ ආරම්භ කරලා. මේක හැදුවා නම් අපේ ආණ්ඩුවට විශාල ගෞරවයක් එනවනේ. චීන ආණ්ඩුව ඒක වැළැක්වූවා. ඉදිරි අවුරුදු 3 ක් තුළ සම්පූර්ණයෙන්ම අධිවේගය හදලා ඉවර කරන්න පුළුවන් වේවි. අධිවේගයක අපහසුම සහ වැදගත්ම දේ තමයි පටන් ගැනීම. ඒ කොටස මම කැපවීමෙන් කළා. ඉඩම් කැබලි 25,000 ක් විතර මැනලා පවරා ගන්න එක කොච්චර අමාරු වැඩක්ද? අනවශ්‍ය වියදම් වැඩිම ඔබේ අමාත්‍යාංශයේ බවට කියැවෙනවා. ඒ ඇයි? මේ ජනතා මුදල් නේද? දැන් මට තියෙන්නේ කන්ද උඩරට උරුමය, රාජ්‍ය ව්‍යවසාය. ඒ කියන්නේ පාඩු ලබන ආයතන සහ මහනුවර සංවර්ධනය විතරයි. ඉතිං කොහෙද අනවශ්‍ය වියදම් කරන්නේ. තවමත් උපදේශකයන්ට පඩි ගෙවනවද? ඒ මහාමාර්ග අමාත්‍යාංශයේදී සිදු වුණු දෙයක්. නමුත් පසුව කෝප් කමිටුවෙන් පවා එහි නිවැරදි බව ඔප්පු වුණා. ගම් පෙරළියෙන් ගොඩයන්න ද හදන්නේ? ගම්පෙරළියෙන් රට වටේම විශාල සංවර්ධනයක් සිද්ධවෙලා තියෙනවා. කවුරු මොනව කිව්වත් ගම්පෙරළිය අතිසාර්ථකයි. හැම මන්ත්‍රීවරයකුටම හැම ආසන සංවිධායකවරයකුටම මිලියන 300 බැගින් දීලා තියෙනවා සංවර්ධනය කරන්න. ගමේ අඩුපාඩු හදන්න.’’ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ කලකිරීම දිගින් දිගටම වැඩිවෙනවා. මේ තත්ත්වය තුළ කොහොමද පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා දිනන්නේ? අනිවාර්යයෙන්ම මේ පාර පොදු අපේක්ෂකයා අපේ පක්ෂයේ කෙනෙක්. කලින් වගේ වෙනත් පක්ෂවල පොදු අපේක්ෂකයෝ ගෙනල්ලා කාපු පරිප්පුව ආපහු කන්නේ නැහැ. ඒක අපි තීරණය කරලා ඉවරයි. අපිට ඒ පරිප්පුව එපාවෙලා. අපි හොඳ පාඩම් ඉගෙන ගත්ත. ජනාධිපති අපේක්ෂකයා ගැන තීරණයක් ගන්නේ කවදද? ඉදිරි මාසය ඇතුළත අපි ඒ තීරණය අරගන්නවා. නායකතුමාට ඉල්ලන්න කියලා කොටසක් කියනවා. සජිත් ගැනත්, කරු ජයසූරිය මහත්වරුන් ගැනත් එක එක කොටස්වල ඉල්ලීම් තියෙනවා. ඒත් නියම වෙලාවට අවශ්‍ය දේ සිදු වේවි. අගමැතිතුමාටත් පාස්කු ප්‍රහාරය ගැන චෝදනා එල්ල වෙනවා? ඒ මොකටද? අගමැතිතුමා නෙවෙයි ඇත්ත වශයෙන්ම පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගන්න ඕනේ, ආරක්ෂක අමාත්‍යවරයා. ජවිපෙ ආණ්ඩුවට ගෙනාපු විශ්වාසභංග යෝජනාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යවරයා ගැන වචනයකින්වත් කිසිම සඳහනක් නැහැ. පාර්ලිමේන්තු විවාදය ආරම්භයේ දීම මම ඒ ගැන කතා කළා. මේ ඔක්කොම දේවල් අගමැති ඇතුළු කණ්ඩායම විතරක් කොටුකරන්න සැලසුම් සහගතව එල්ල කරන බොරු චෝදනා. විශ්වාසභංගය පුරාම තියෙන්නේ අගමැති මෙහෙම කළා, කැබිනට් මණ්ඩලය මෙහෙම කළා, මන්ත්‍රීවරු මෙහෙම කළා කියලා. හැබැයි ආරක්ෂක ඇමැතිවරයා කරපු කිසිම දෙයක් නැහැ. ඒකනේ පුදුමේ. පොලිසිය, ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශ ඔක්කෝම තියෙන්නේ ආරක්ෂක ඇමැතිවරයා යටතේ. ආරක්ෂක කවුන්සලය පවත්වන්නේ ඔහුගේ ප්‍රධානත්වයෙන්. ඒත් ඒ විශ්වාසභංගයට ඉන්නේ රනිල් වික්‍රමසිංහයි, ආණ්ඩුවයි විතරයි. මේක කාගේ හරි කොන්ත්‍රාත් එකක් බව බැලූ බැල්මටම පේනවා. අනික බලන්න හේමසිරිටයි, පූජිතටයි දීපු නඩු තීන්දුව. ඒක කියවනකොට පේනවා ඇත්ත වශයෙන්ම වගකීම තියෙන්නේ කාටද කියලා. ඒ වගේම ඒකේ තියෙනවා බුද්ධි අංශ නිලධාරින් ප්‍රහාරය ගැන තොරතුරු ඇරලා තියෙන්නේ වට්ස්ඇප්වලින් කියලා. ඒකෙන්ම මේ ගැන ඔවුන් ගත් සැලකිල්ල හිතාගන්න පුළුවන්නේ. වට්ස්ඇප්වලින් අපි යවන්නේ ඕපාදූප. ආරක්ෂක ඇමැතිවරයා ගැන කතා කරන්නේ නැතිව විශ්වාසභංගයක් ගේන්න පුළුවන්ද? මම ජනාධිපතිට අපහාස කරනවා නෙවෙයි. නීතිඥවරයෙක් හැටියටත්, පාර්ලිමේන්තුවේ සභානායක හැටියටත් අපිට මේවා කියන්න සිදුවෙනවා. ඒ තීන්දුවේ කෙළින්ම ආරක්ෂක ඇමැතිවරයාට ඇඟිල්ල දික් කරලා තියෙන්නේ. මේ සිද්ධිය ගැන එක්සත් ජාතික පක්ෂය නිහඬ ඇයි? ඇමැතිකම් නැතිවෙයි කියලා කට අරින්නේ නැහැ. නමුත් වැරැද්ද තියෙන්නේ එතැන කියලා හොඳටම දන්නවා. ඕකයි වෙලා තියෙන්නේ. මේක තමයි ප්‍රශ්නෙ. පේන්නේ නැහැ වගේ ඉන්නවා, හොර නින්දේ. අමාත්‍යාංශයේ කටයුතු නිසා ඔබේ නිලධාරින්ට බන්ධනාගාරගත වෙන්න පවා සිද්ධ වුණා. ඇයි එහෙම වුණේ? මම මාධ්‍ය ඒකකයට කියලා තියෙනවා වැදගත් ගවේෂණාත්මක ලිපි පරිවර්තනය කරලා මහනුවර අයට යවන්න කියලා. ඒ අනුව තමයි කලම්බු ටෙලිග්‍රාෆ් එකේ පාස්කු ප්‍රහාරය ගැන තිබුණු ලිපියක් පරිවර්තනය කරලා තිබුණේ. ඒ ලිපියේ කිසිම වැරැද්දක් නැහැ. ඒ නිසයි කිව්වේ ලිපිය මුදාහරින්න කියලා. ඒත් ඒක අද වෙනතුරු මුදාහැරියේ නැහැ. විවිධ අයට චෝදනා එල්ල කරපු ගවේෂණාත්මක ලිපියක් ඒක. මේවා පොලිසිය ලකුණු දාගන්න කරන වැඩ.’’ මොකක්ද මේ හදිස්සියේ ගෙනෙන ඉඩම් පනත? නිදහස ලැබුණු දා ඉඳලාම ශ්‍රී ලංකාවේ බලපත්‍ර දීපු ඉඩම්වල මිනිසුන්ට කිසිම ඔප්පුවක් නැහැ. ඒ නිසා ඒ ඉඩම්වලටත් වටිනාකමක් නැහැ. අපි ඒ ඉඩම්වලට සින්නක්කර ඔප්පු ලබා දෙනවා. එතකොට ඒ අයට පුළුවන් ඉඩම බැංකුවට උකස් කරලා මුදල් ලබා ගන්න. එහෙමත් නැත්නම් තමන්ගේ ඥාතීන්ට පවරා දෙන්න. විකුණන්නත් පුළුවන් එතකොට. ඉඩමට වටිනාකමක් ලැබෙන්නේ එතකොට. ඒත් විපක්ෂය කියන්නේ වෙන කතාවක්? ඒ අයට විකාර. පොළොන්නරුව, අනුරාධපුරය, අම්පාර, ඉඟිනියාගල වගේ පැතිවල මිනිස්සු දැන් අවුරුදු 50 කටත් වඩා කාලයක් මේ වගේ ඉඩම්වල ඉන්නවනේ. මේ අයට තමයි අපි ඉඩම්වල සින්නක්කර අයිතිය දෙන්නේ. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගැන මොනවද දන්නේ? පසුගිය කාලයේ ශ්‍රී ලංකාව තුළ සාර්ථකව යම් යම් දේ කරලා පෙන්නුවානේ. අධිකරණයේ ස්වාධීනත්වය සහ මාධ්‍ය නිදහස තහවුරු කළා. මානව හිමිකම් හුඟක් දුරට ආරක්ෂා කළා. ඒ වගේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන රටවලට ලැබෙන ත්‍යාගයක් වශයෙන් තමයි ඔය වැඩපිළිවෙළ හැඳින්වෙන්නේ. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළාම ලැබෙන ත්‍යාග. ප්‍රජාතන්ත්‍රවාදී මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන රටවල් ඇගයීමට ලක් කිරීමත් මුදල් ප්‍රදානයක් ලබා දීලා. ඊළඟ ආණ්ඩුවක අගමැති වෙන්න කැමැත්තක් නැද්ද? උඩරටින් බහුතරයක් එක්සත් ජාතික පක්ෂයට අරගෙන දෙන නිසා යම්කිසි සැලකීමක් අපටත් අවශ්‍යයි. මහානායක හිමිවරුන් පවා මහනුවරට දැනට වඩා සැලකිල්ලක් අවශ්‍ය බවට මතයක් දරනවා. අපි වැඩි ඡන්ද අරගෙන දුන්නට හැමදාම සිදුවන්නේ පොළොන්නරුවෙන්, දකුණෙන්, කොළඹින් නායකයෝ බිහිවෙන එක. නමුත් අපේ පළාතට අත දිගඇරලා වියදම් කරගන්න පුළුවන් රාජ්‍ය නායකයෙක් බිහිවෙලා නැහැ. ජනාධිපති වෙන්න දඟලන සමහර අයට තමන්ගේ ආසනය දිනාගන්නත් බැහැ. දිස්ත්‍රික්කය දිනාගන්නත් බැහැ. මට හරි ආඩම්බරයක් තියෙනවා අපි වසර 15 ක් පැරදුණු මහනුවර මගේ නායකත්වයෙන් දිනාගන්න පුළුවන් වීම. ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයක් දිනන්නේ අපි. ලබාගන්න බහුතරයට යම් සැලකිල්ලක් අවශ්‍ය බවට ජනතාව තුළත් මතයක් තියෙනවා. මුස්ලිම්වරුන් ගැන ජනසමාජයේ තියෙන්නේ විරෝධාකල්ප. කොහොමද මේ තත්ත්වය එක්සත් ජාතික පක්ෂය කළමනාකරණය කරගන්නේ.? අපට ඔවුන්ගේ විරෝධයක් නැහැ. විපක්ෂය මුස්ලිම් ඡන්දවලට ජනමතයක් ඇතිකරන්න හදනවා. අපේ සිංහල බෞද්ධයන් අන්තවාදී නැහැ. විපක්ෂයේ ඉන්න එක්තරා පිරිසක් තමයි මේ ජාතිවාදය අවුස්සන්නේ. ඉතිහාසය දන්නේ නැතිකම තමයි මේකට මුල. මුස්ලිම් ජනතාව නැගෙනහිර පදිංචි කෙරුවේ මහනුවර සෙනරත් රජතුමා. අපේ රජවරු පවා එහෙම ආදර්ශ දීලා තියෙනවා. මේවා නොදන්නකම තමා මේ හැම දේකටම මුල. 16 වැනි සියවසේ මුහුදුබඩ පළාත්වලට වෙළෙඳාමට ආපු මුස්ලිම්වරු කසාද බැන්දේ අපේ සිංහල කාන්තාවෝ. මේ ජාතිවාදය ඇතිකරන්නේ මැතිවරණ දිනන්න. නරේන්ද්‍රසිංහ සිංහලේ අන්තිම රජු මැරුණට පස්සේ රජකමට සිංහල කුමාරයෙකුයි, ද්‍රවිඩ කුමාරයෙකුයි අතර තරගයක් තිබ්බා. එතැනදී ආගමට ලැදිවුණු ද්‍රවිඩ කුමාරයා තමයි රජකමට පවා තෝරා ගත්තේ. ජාතිය ගැන ඒ වෙලාවෙවත් බැලුවේ නැහැ. ඉතිහාසය නොදන්න අය තමයි මේ ප්‍රශ්න ඇති කරන්නේ. මඩුපල්ලිය හදන්න කතෝලික අයට ඉඩම් පවා දුන්නේ මහනුවර රජතුමා. උඩරට රාජධානිය කියන්නේ ඉතාම පුළුල් ප්‍රදේශයක්. මහනුවර රජවරු හොඳ ආදර්ශයක් දීලා තියෙනවා සියලුම ජාතීන් එකමුතුව ඉන්නේ කොහොමද කියලා? දැන් ඒ ඉතිහාසය වෙනුවට ඉස්සරහට එන්නේ මැදමුලන ඉතිහාසයනේ. දෙමළ එපා, ක්‍රිස්තියානි එපා, මුස්ලිම් එපා කියලා. එහෙම රටක් ගෙනියන්න පුළුවන්ද? කුරුණෑගල සිද්ධියේදී කැමරාවල දැක්කා නේද විපක්ෂයේ මන්ත්‍රීවරු ගිහිල්ලා කරපු දේවල්. අපි ඔක්කෝම නෑදෑයෝ. අපිත් ආවේ ඉන්දියාවෙන්. දෙමළ අයත්, මුස්ලිම් අයත් ආවේ ඉන්දියාවෙන්. මේ මුස්ලිම් අය අරාබිකරයෙන් ආව අය නෙවෙයි. සමහර ඇමැතිකමුත් නැතිවෙලා ඉන්න මේ වගේ වෙලාවක ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් විදිහට මොනවද හිතන්නේ? ඇමැතිකම්වලට විතරක් මේ රටේ මිනිස්සු ඡන්දය දෙන කාලය ඉවරයි. උගත්කමට, කීර්තියට, පෞරුෂයට සහ විශ්වසනීයත්වයට තමයි ඉදිරියේදී ජනතාව ඡන්දය පාවිච්චි කරන්නේ. අගමැතිවරු මට දෙන්න ඕනේ විෂයන් ලියලා යැව්වා. නමුත් ජනාධිපති ඒවා දුන්නේ නැහැ. දින 52 කාලයේ මම එතුමාට විරුද්ධව කෙළින්ම වැඩ කළ නිසා විෂයයන් තේරීමේ අයිතිය තියෙන්නේ ජනාධිපතිට. පළවෙනි කැබිනට් රැස්වීමේදීම ඔහු කිව්වා එය නිවැරදි කරනවා කියලා. නමුත් තවම කෙරුවේ නැහැ. ඒ ගැන මට කිසිම කලකිරීමක් නැහැ. අපි බෞද්ධයෝ විදියට අත්හැරීම ඉගෙන ගන්නත් ඕනේ. ඔබ සමාජ මාධ්‍ය ජාල පරිහරණය කරන කෙනෙක්. රටේ ඉදිරි ගමනට මේ මාධ්‍ය ජාලවල බලපෑම කොහොම වෙයි කියලද හිතන්නේ? වෙබ් අඩවි ගැන හැම දෙනාම සීරුවෙන් ඉන්නේ. ඒක රටකට හොඳයි. හැබැයි සමහර වෙලාවට බොරු ගොඩක් දාලා එක ඇත්තක් දාන වෙබ් අඩවි මම දැකලා තියෙනවා. රටේ තොටේ වෙන දේවල් ගැන හොඳ දැනීමක් ලබාගන්න පුළුවන්. වෙබ් අඩවි තහනම් කරන්න නරකයි. හැබැයි ඒවායේ පාලනයකුත් අවශ්‍යයි. ඒ පාලනය පිටස්තර අය නෙවෙයි, තමන්ම කරගන්නවා නම් තමයි වඩාත් හොඳ? ඔබ අඛණ්ඩවම වසර 30 ක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඔබට යම් ඓතිහාසික කර්යභාරයක් පැවරුණොත් රට දියුණු කරන්න වැඩපිළිවෙළක් තියෙනවද? රට දියුණු කරන්න තියෙන එකම මාර්ගය අපනයනය දියුණු කිරීම විතරයි. අපනයනය නැතිව අපේ රටට අනාගතයක් නැහැ. ආයෝජකයෝ රටට එන්න ඕනේ. ලංකාවේ හැකිතරම් භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඕනේ. සිංගප්පූරුව, මැලේසියාව වගේ රටවල් දියුණු වුණේ කොහොමද? ඒ අයගේ අපනයනවලින්. නිදහස ලැබෙනකොට ආසියාව තුළ අප හිටියේ ජපානයට පස්සේ ආර්ථිකය අතින්. සිංගප්පූරුව එදා තිබුණේ නැහැ. අගමැති හම්බන්තොට කරන්න හදන්නෙත් ඒක. චීන අයගේ බලාපොරොත්තුවක් තියෙනවා හම්බන්තොටට ඇවිල්ලා කර්මාන්තශාලා දාලා ඒවායේ භාණ්ඩ ඉන්දියාවට අපනයනය කරන්න.ඉ න්දීය ජනගහනය බිලියන 1.3 ක්. ඒ අයට බොහෝ දේවල් අපට දෙන්න පුළුවන්. ඒක අපට හොඳ වෙළෙඳපොළක්. චීන සමාගම් ලංකාවට අැවිත් කර්මාන්තශාලා ආරම්භ කරන එක අපි වාසියට හරවා ගන්න ඕනේ. හම්බන්තොට දියුණු කරන එක කකුලෙන් ඇද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු. ඒකත් වසර 2 ක් තිස්සේ කරන්නට දුන්නේ නැහැ. 19 වැනි සංශෝධනය ගැන ආපහු කතා කරනවා. ඔබට මොකද හිතෙන්නේ? 19 වැනි සංශෝධනය කිසිම වරදක් නැහැ. 19 වැනි සංශෝධනය තුළ ඉන්න මිනිසුන්ගේ වරද තියෙන්නේ. මොනවා හැදුවත් මේවා ක්‍රියාවට නංවන්නේ මිනිසුන්නේ. ජනාධිපති දැනගන්න ඕනේ තමන්ගේ සීමාවත්, අගමැති දැනගන්න ඕනේ තමන්ගේ සීමාවත්. මේ සීමාවන් දැනගෙන කටයුතු කරනවා නම් ප්‍රශ්න නැහැ. පාර්ලිමේන්තුවේ නායකයා අගමැතිවරයා. බහුතරය තියෙන්නේ එතුමාට. නමුත් විධායකය හිතුමතේ ඔහුව අස් කළා. අලුත් අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න බැරි වුණා. මහින්ද රාජපක්ෂ අවුරුදු 2 කට ඉස්සෙල්ලා ආණ්ඩුව දාලා ගියේ ආර්ථික සම්බාධක පැනවෙනවා කියලා දැනගත්ත නිසා. දැන් ජනාධිපති තව අවුරුද්දක් ඉන්න ඉල්ලන්නේ ඇයි? මේ විදියට තව ඉස්සරහට යන්න පුළුවන් කියලා දන්න නිසා. ආණ්ඩුව දාලා ගිය මිනිස්සු ආපහු ආණ්ඩුව ඉල්ලනවා. සැබෑ තත්ත්වය ඕකයි. දීප්ති ප්‍රමිතා අධිකාරි
 

More News..